Saturday, November 16, 2013

2013 නොවැම්බර් 01 තේරුම්ගන්න In Time බලන්න.



පසුගිය නොවැම්බර් පළමු දා සුවිශේෂී දිනයක් බවට පත්වුයේ එකම ක්‍රියාවලියක පියවරයන් දෙකකට උදාහරණයන් ලෙස ගෙනහැර දැක්විය හැකි සිදුවීම් දෙකක් එම දිනයෙදී සිදුවීමයි. එම සිදුවීම් දෙක නම් පෞද්ගලික බස් රථ වල ගාස්තු වැඩි කිරීම සහ පරිපූරක-අතුරු වෛද්‍ය -හෙද සේවක වැඩ වර්ජනයයි. මෙම අවස්ථාවන් දෙක කුමන ක්‍රියාවලියක කුමන පියවරයන් නියෝජනය කරයිද යන්න සහ එම පියවරයන්හී ඇති චක්‍රිය සම්බන්ධය තේරුම් ගැනීම සමාජයක් ලෙසට සැබෑ විමුක්තිය දෙසට යොමුවුනු සැබෑ අරගලය තෝරා ගැනීමෙහිලා මහඟු පිටිවහලක් බවට පත්වේ. අපි මේ කරුණු තේරුම් ගැනීමට පරිපූරක-අතුරු වෛද්‍ය-හෙද සේවක වැඩ වර්ජනයෙන් අරඹමු.

පරිපූරක-අතුරු වෛද්‍ය-හෙද සේවක වැඩ වර්ජනය ක්‍රියාත්මක වුයේ ප්‍රධාන ඉල්ලීම් 6ක් මුල් කරගෙනය. රාජකාරි බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා ලෙස මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබාදීම, වෛද්‍යය සේවාවට දැනට ගෙවන අතිකාල දීමනාවට සමානුපාතිකව ආරම්භක ශ්‍රේණියේ දීමනාව රුපියල් 200ක් වන ලෙස අතිකාල දීමනා වැඩිකිරීම, පළමු හා විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ට රුපියල් 4000ක සන්නිවේදන දීමනාවක් ලබාදීම, පළමු හා විශේෂ ශ්‍රේණි නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම, වැටුප් විෂමතා වහා නිවැරැදි කිරීම එම ඉල්ලීම් ලෙස දැක්විණි. ඕනෑම සේවක පිරිසක් වැඩි වැටුප් ඉල්ලන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට මහා ආර්ථික විද්‍යා දැනුමක් අවශ්‍යය නැත. මිනිසුන් වැටුප් වැඩි වීමක් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ක්‍රය ශක්තිය, එනම් මිලදී ගැනීමේ හැකියාව අඩු වූ විටය. මේ කරුණ තව දුරටත් පැහැදිලි කළහොත් මීට අවුරුදු දහයකට පමණ පෙර පාන් ගෙඩිය රුපියල් 8 -9 අතර මිලකට ගත හැකි යුගයක් තිබුණි. නමුත් දැන් එය අලෙවි වන්නේ රුපියල් 55-60 අතර මුදලකටය. යම් කිසි සේවකයෙකුට පාන් ගෙඩිය 8-9 අතර තිබු යුගයේ ලැබුණු පඩිය හේතුවෙන් ලැබුණු මිලදී ගැනීමේ හැකියාව මේ වන විට අහිමි වී ඇත. එබැවින් ඔහුට වැටුප් වැඩි වීමක් අවශ්‍ය වෙයි. 

සේවකයන්ට වැඩි වැටුපක් ඉල්ලීමට බල කෙරෙන භාණ්ඩ හා සේවා මිල ඉහල යෑමේ ක්‍රියාවලිය ආර්ථික විද්‍යාවේ හැදින්වෙන්නේ උද්ධමනය නමිනි. මෙය අපේ එදිනෙද ජීවිතය තුල ඉතා සුලභව හමුවන ආර්ථික විද්‍යාවේ පාරිභාෂික වචනයකි. පෞද්ගලික බස් රථ වල ගාස්තු වැඩිවීම අපි ඉහතින් සඳහන් කල චක්‍රීය සම්බන්ධ වන්නේ මෙතනටය. දැන් අපි මීට හේතු සොයා බලමු. සාමාන්‍යයෙන් ධනපති නිෂ්පාදකයන් සිය නිෂ්පාදන ක්‍රියාවලිය තුල දැවැන්ත වෙළඳ තරගයකට මුහුනදීමට සිදුවේ. එහිදී ඔහුට සිය පැවැත්ම ස්ථාවර කර ගත හැක්කේ හැකිතාක් අඩු මිලට සිය නිෂ්පාදන අලෙවි කිරීම තුලය. මේ සඳහා නිෂ්පාදන වියදම අඩු කර ගත යුතු වේ. ඒ සඳහා කාර්යක්ෂම උපකරණ භාවිතය, නව තාක්ෂනය සිය කර්මාන්තශාලාවට හදුන්වා දීමට සිදුවීම වැනි පියවරයන් ගැනීමට සිදුවේ. ඒ සඳහා ඔහුට සිය ව්‍යාපාරයට ආයෝජනය කිරීමට සිදුවේ. එහිදී ආයෝජන රැස් කර ගැනීම සඳහා ගත හැකි එක පියවරක් ලෙස ඔවුන් උද්ධමනය ප්‍රයෝජනයට ගනී(භාණ්ඩ සැඟවීම, වැඩි තොග විනාශ කිරීම ආදියෙන් සැපයුමට වඩා ඉල්ලුම වැඩි කිරීම වැනි පියවර භාවිතයෙන්). සේවකයන් වැටුප් ඉල්ලා අරගල කිරීම සහ උද්ධමනය චක්‍රීය ආකාරයට සම්බන්ධ වන්නේ මෙතනදීය. උද්ධමනය වැඩි වීම දරාගත නොහැකි සීමාවට පැමිණි විට සේවකයෝ නැවතත් වැඩි වැටුප් ඉල්ලා අරගල කරති. එවිට නැවතත් ධනපතියන් ලබන ලාභය අඩුවී වෙළද තරගයේ රැදී සිටීමට ඔවුනට අවැසි අඛණ්ඩ ආයෝජන ප්‍රවාහය අඩුවේ. එවිට ඔවුන් තව දුරටත් උද්ධමනය පවත්වාගෙන යයි. මේ හැරුන විට උද්ධමනයට වෙළඳ ඒකාධිකාර පැවතීමද හේතුවක් වෙයි. ඔවුහු වැඩි ලාභ අපේක්ෂාවෙන් භාණ්ඩ හා සේවා මිල ඉහල දැමීමක් සිදු කරයි. මෙවර බස් රථ ගාස්තු ඉහල යාමට හේතු වන්නේ මෙම තත්වයය. ධනවාදයේ වර්ධනයත් සමග සිදුවන ප්‍රාග්ධනය කිහිප දෙනෙකු ත සංකේන්ද්‍රණය වීම නිසා ඉල්ලුම සැපයුම මත මිල තීරණය වීමට ඉඩ නොලැබීම මෙම තත්වයට හේතුවයි. මේ ක්‍රමය උද්ධමනයට හේතු වුවද ප්‍රතිඵල පෙර ලෙසමය. සේවකයෝ වැඩි පඩි ඉල්ලති. පඩි වැඩි වූ විට ධනපතියන් වැඩි ලාභ සඳහා උද්ධමනය පවත්වා ගනිති. 

දැන් බොහෝදුරට ඔබට මෙම අවස්ථාවන්හී සම්බන්ධයන් පිලිබඳ සම්පූර්ණ චිත්‍රයක් දකින්නට හැකියාව ලැබෙන්නට ඇති. උද්ධමනය වැඩි වැටුප් ඉල්ලා කරන අරගලය හේතුවීම, එම අරගලය ජයග්‍රරණය නැවතත් උද්ධමනයට හේතු වීම යන මේ අවස්ථාවන් විශාල චක්‍රීය ක්‍රියාවලියක කුඩා කොටස් දෙකක් පමණි. එම ක්‍රියාවලිය “ධානවාදී ආර්ථික ක්‍රියාවලියයි” මේ අවස්ථාවෙහි එම සමස්ත ක්‍රියාවලියම පැහැදිලි කිරීමා අපගේ අරමුණ නොවේ. අපේ අරමුණ වන්නේ මෙම ක්‍රියාවලිය නිසා ඔබ මුහුණ දෙන ගැටළු වලට ස්ථිර විසඳුම චක්‍රය බිදීම බව පෙන්වීමයි. මෙහිදී මෙම තත්වය තවත් හොදින් තේරුම් ගැනීමට උපයෝගී කර ගත හැකි චිත්‍රපටයක් ලෙසට In Time නරඹන ලෙස අපි ආරාධනා කරමු. සටන් මගින් කම්කරු පන්තිය දිනා ගන්නා දේ නැවත උද්ධමනය භාවිතාකර ඊනියා නීත්‍යානුකූල විදිහට ධනපතින් උදුරා ගන්නා ආකාරය එවිට ඔබට වැටහේවි. එපමණක් නොව ධනපති ආර්ථික යාන්ත්‍රණයේ බොහෝ තැන් ඒ හරහා ඔබට අවබෝධ කරගත හැකි වනු ඇත. එලෙසම මේ වන විටත් චිත්‍රපටය නැරඹා ඇති අය චිත්‍රපටය ඉදිරිපත් කරන ආකෘතිය තුල ධනවාදී යාන්ත්‍රනය තේරුම් ගැනීමට උත්සහයක් ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිමු. 

-ප්‍රගාමී ව්‍යාපාරය.

Tuesday, October 22, 2013

මාක්ස්වාදය මත පදනම්ව ගොඩනැගුනු විචාරකලාවක් කෙසේ විය යුතුද?



මාක්ස්වාදයට අනුව සත්‍යයේ මිනුම බවට පත් වන්නේ ව්‍යවහාරයයි. එබැවින් මාක්ස්වාදී චින්තනය මත පදනම්ව කලා නිර්මාණ විචාරයෙහිදී(එය වලංගු විචාරයක් බවට පත්වීමටනම්), කලා නිර්මාණයෙහි මූලික වශයෙන් අවධානය යොමු කල යුතු කොටස බවට පත් විය යුත්තේ කලා නිර්මානයෙහි කාර්යභාරයයි. එමෙන්ම කලා විචාරය තුල නිර්මාණයෙහි ගුණාත්මක බව ඇගයුමෙහිදී යොදා ගත යුතු නිර්ණායකය බවට, එම කාර්යභාරය මාක්ස්වාදී චින්තනයම මත පදනම් කෙරෙමින් අර්ථදැක්වෙන “උසස් කලා නිර්මාණයක කාර්යභාරයෙන්” සිදුකරන අපගමනය කොතෙක් වේද යන්න පත්විය යුතුය.

මෙහිදී මතුවන ක්ෂණික ගැටලුව බවට පත්වන්නේ, මාක්ස්වාදී චින්තනය පදනම් කෙරෙමින් අර්ථදැක්වෙන, “උසස් කලා නිර්මාණයක කාර්යභාරය” කවරේද යන්නයි. මාක්ස්වාදී චින්තනය පදනම් කෙරෙමින් අර්ථදැක්වෙන, “උසස් කලා නිර්මාණයක කාර්යභාරය” විය යුත්තේ, සමාජ සංවර්ධනයේ නියාම අනුව යතාර්ථය වෙනස් කිරීම හෙවත් මිනිස් සංහතියේ ප්‍රගතිශීලී සංවර්ධනය පිලිබඳ ඓතිහාසික අවශ්‍යතාව ක්‍රියාවට නැංවීම සඳහා වූ මිනිසාගේ සවිඥානික මැදිහත්වීමට  (මෙම "ඓතිහාසික අවශ්‍යතාව ක්‍රියාවට නැංවීම සඳහා වූ මිනිසාගේ සවිඥානික මැදිහත්වීම" යන්න තව දුරටත් සරල උදාහරණයක් මගින් පැහැදිලි කලහොත්, මනුෂ්‍යවර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා වූ වාස්තවික නියාමයක් වන්නේ මිනිසුන් ගැහැනුන් ලිංගිකව එකතු වීමය. නමුත් මෙය ඔහේ බලාගෙන සිටියාට ඉබේ සිදු නොවේ. එයට මිනිසාගේ සවිඥානික මැදිහත්වීමක් සිදුවිය යුතුය. ගැලපෙන සහකරුවෙකු සහකාරියක තෝරා ගැනීම, ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීම, ගැබ් ගන්නා ආකාරයට නිවැරදිව ලිංගිකව එක වීම ආදී දහසකුත් ඒකක සවිඥානික මැදිහත් වීමක් ඊට අවශ්‍යය.)අවශ්‍ය වන, වාස්තවිකත්වය, වාස්තවිකත්වයේ නියාම,  නිවැරදිව ප්‍රජානනය කරගැනීමේ අවශ්‍යතාව සපුරනු වස්, වාස්තවික යතාර්ථය විශ්ලේෂණාත්මකව, සංශ්ලේෂණාත්මකව සහ නිවැරදිව පිළිබිඹු කිරීම හරහා දායක වීමයි. මෙහි විලෝමය මගින් උසස් කලා නිර්මාණයක් අර්ථ නිරූපණය කිරීම සිදුවේ. ඓතිහාසික භෞතිකවාදයෙන් අනාවරණය කරන සමාජ සත්තාව මගින් සමාජ විඥානය තීරණය කරයි යන නියාමයට උසස් කලා නිර්මානයක් පිලිබඳ එම අර්ථනිරූපනය අනුකූල වන්නේ කලා නිර්මාණය ගෙන එන වාස්තවිකත්වයේ පිළිබිඹුව වාස්තවික වන බැවිනි.  

මෙම අර්ථ නිරූපනයට ප්‍රතිපක්ෂව මූලිකවම පැන නගින ගැටළුවක් බවට පත් වන්නේ වින්දනය ස්ථානගත වී ඇත්තේ කලා නිර්මාණයක කාර්යභාරයේ සීමාවෙන් එපිටද යන්නයි. ඊට පිළිතුරු දීමට ප්‍රථම අප අසන ප්‍රශ්නය වන්නේ කලා නිර්මාණයන් විසින්, යතාර්ථය විකෘති කරමින් නිර්මිත මනකල්පිත පිළිබිඹු තුල වාස්තවිකත්වය සංජානනය වන ස්වරූපය වෙනස් කිරීම හරහා ලබා දෙන වින්දනය තුල වින්දනය හැරෙන්නේට අන් කිසිවක් ලැබේද යන්නයි. ඒ සඳහා කලා නිර්මාණම අවැසි නැත. මත් ද්‍රව්‍ය හරහාද සිදු කෙරෙන්නේ වාස්තවිකත්වය සංජානනය වන ස්වරූපය වෙනස් කිරීමය. කලාවේ සීමාව එපමණ පටු විය යුතුද? එයට ඇත්තේ මුලාව මත පදනම් වූ තාවකාලික වින්දනයක් සපයන ධාරිතාවක් පමණද? ඒ හැරෙන්නට වාස්තවික යථාර්තය මත සක්‍රීය ලෙස එයට බලපෑ නොහැකිද? නමුත් මේ සමග පැන නගින තවත් ගැටළුවක් වන්නේ යථාර්තය නිවැරදිව පිළිබිඹු කිරීම වින්දනාත්මක නොවේද යන්නයි.

කලා නිර්මාණයක් සැලකීමේදී වින්දනය කිසිවිටක කලා නිර්මාණයේ කාර්යභාරයන්හී සීමාව තුල ස්ථානගත නොවිය යුතු අතර එසේ නොවිය යුත්තේ එහි(වින්දනයේ) සීමාව මනකල්පිත ලෝකයක් මැවීම සඳහා යථාර්තය විකෘති කිරීමක් දක්වා දිවෙන බැවිනි. එම නිසා සිදු විය යුත්තේ, ඇමෙරිකානු ජාතික කවියෙකු වු රොබට් ෆ්රොස්ට් කවිය සම්බන්ධයෙන් ඉදිරිපත් කල ආනන්දයෙන් පටන් ගෙන් ප්‍රඥාවෙන් අවසන් විය යුතුය යන මතයට ප්‍රතිපක්ෂව කලා නිර්මාණය හරහා යතාර්ථය නිවැරදිව පිළිබිඹු වීම මගින් එය නිවැරදිව සංජානනය කර ගැනීමෙන් ලැබෙන ප්‍රඥාව හේතුකොටගෙන වින්දනයක් කලා නිර්මාණය ඇසුරු කරන්නා විසින් උත්පාදනය කරගැනීමයි. කෙසේ වෙතටත් සංජානනය කර ගැනීමේ කර්තව්‍ය උදෙසා ලබාදෙන සහයක් වශයෙන් වින්දනය භාවිත කිරීම කලා නිර්මාණයක සැබෑ කාර්යභාරයයෙන් විතැන් වීමක් ලෙස අපි නොසලකමු.

-ප්‍රගාමී ව්‍යාපාරය


Thursday, October 10, 2013

රබර් අත්වැසුමක ආවස්ථික පිරිවැය.


ආර්ථික විද්‍යාවේ යෙදෙන මූලිකම සංකල්පයක් වෙන ආවස්ථික පිරිවැය නම් සංකල්පයේ සරල අදහස තමයි, “යම් භාන්ඩයක් නිපදවීමේදී හෝ පරිභෝජනයේදී කැප කරන අනික් භාණ්ඩයේ වටිනාකම යන්න” යන්න.

ලංකාවේ ජනතාවට ධනවාදය ප්‍රභලව විග්‍රහ කරලා දුන්නු අවස්ථාවක් වුන, රතුපස්වල සිදුවීමට මුල්වුණු, විනිග්‍රෝස් කර්මාන්තශාලාවේ නිපදවුණු අත්වැසුම් නිෂ්පාදනය වෙනුවෙන්, ඒ කර්මාන්ත ශාලාවට ප්‍රාග්ධනය යොදවපු ධනපතීන් ඒ අවට ගම් දහයක ජනතාවගේ පානිය ජල අයිතියේ ඉඳන් ජීවත් වීමේ අයිතිය දක්වා පරාසයක අයිතීන් උදුරා ගත්තා. එහෙම බැලුවොත් අවසාන විග්‍රහයේදී ධනපතියෝ අත්වැසුම් වෙනුවෙන් කැප කරලා තියෙන්නේ මනුෂ්‍යත්වයයි, මානවහිතවාදයයි. පාරිභාෂික වචන වලින් කිව්වොත් අත්වැසුම් වල ආවස්ථික පිරිවැය වෙලා තියෙන්නේ මානවහිතවාදයේ, මනුෂ්‍යත්වයේ වටිනාකමයි. වෙළද පොළ තරගය අනිවාර්යය ලක්ෂණයක් වෙච්ච ධනවාදය ඇතුලේ මේ තත්වය සාමාන්‍යයි. එකේදී මූලිකත්වය හිමිවෙන්නෙ ලාභයට. මොකද මූලිකවම නව ප්‍රාග්ධන ආයෝජන රහිතව (අඩුම තරමේ නව උපකරණ උදෙසා හෝ ) කිසිම ධනපතියෙකුට වෙළද තරගය ඇතුලේ නොනැසී පවතින්න බැරි හින්ද. 

ඉතින් තවත් රතුපස්වල අද්දැකීමක් විඳින්න ලැබෙන එක වලක්වා ගන්න කරන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ එයාට ලැබුණු අලුත් අමාත්‍යංශය යටතේ නීතියයි සාමයයි රකිනකන් බලා ඉන්න එක නෙවෙයි. පරමාදර්ශී කොමියුනිස්ට් සමාජයක් ගොඩ නගන්න වැඩවසම් මානසිකත්වයෙන් මිදිලා පෙළ ගැහෙන එකයි.

ඒ වගේම අවසාන වශයෙන් කියන්න ඕනි දෙයක් වෙන්නේ අපි කලින් සඳහන් කරපු ආවස්ථික පිරිවැය සංකල්පය පැහැදිලි කරන්න, ආර්ථික විද්‍යාවේදී යොදාගන්න "නිෂ්පාදන හැකියා වක්‍රය" සැලකුවොත් සාමාන්‍යයෙන් තර්කානුකුල නිෂ්පාදන හැකියා වක්‍රයක් ලිපිය සමග ඉදිරිපත් කරලා තියෙන රූපයේ වගේ මූලයට අවතලව තමයි පිහිටන්නේ. එකේ සරල අර්ථය වෙන්නේ එක් භාන්ඩයක නිෂ්පාදන ප්‍රමාණය ස්ථාවර ප්‍රමාණයකින් ඉහල දැමීමේදී අනික් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහල යනවා කියන එකයි. ඒ කියන්නේ, ධනේශ්වර නිෂ්පාදනය වෙනුවෙන් මනුෂ්‍යත්වය, මානවවාදී බව, කැප කරන්න සිදුවෙන අවස්ථා වල, ධනේශ්වර නිෂ්පාදය ස්ථාවරව ඉහල යද්දී, කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරමින්, ධනපතීන් මනුෂ්‍යත්වය, මානවවාදී බව කැප කරනවා කියන එකයි. ඒක හින්ද ධනපති රාජ්‍ය යන්ත්‍රය, මනුෂ්‍යත්වය තමන්ගේ නිෂ්පාදනය වෙනුවෙන් කැප කරපු කොම්පැනිකාරයෙක්ට විරුද්ධව සටනට එකතු වූ පීඩිත මිනිස්සුන්ගෙන් ඒ කොම්පනිකාරයව බේරගන්න තව එකෙකුට දෙන්නෙකුට වෙඩි තිබ්බට පුදුම වෙන්න එපා. අපි කලිනුත් කිව්වා වගේ ඒ ධනවාදයේ හැටි.

-ප්‍රගාමී ව්‍යාපාරය 

කඳුල සිංහලයට නැගී නැත.


ප්‍රගාමී ව්‍යාපාරය වශයෙන් අප, සමාජය පිළිඹඳව මාක්ස්වාදී විග්‍රහයන් සහ මාක්ස්වාදී චින්තන ක්‍රමවේදය සපයමින් සමාජය තුළ ප්‍රගාමී කතිකාවතක් ඇති කිරීමට උත්සහ කරමින් සිටිමු. එම උත්සාහයේ එක් පැතිකඩක් ලෙස, සමාජයේ මුල්බැස තිබෙන පටු චින්තන ධාරාවට එරෙහිව ඉතිහාසය තුළ ප්‍රගතිශීලී මිනිසුන් විසින් ජනිත කරන ලද ප්‍රගතීශීලී අදහස් නැවත සමාජය තුළට එන්නත් කිරීම කාලෝචිත බව හැඟී ගියෙන්, එලෙසින් ජනිත වූ අදහසක කලාකාමී සහ විප්ලවීය ප්‍රතිඵලයක අරුත මෙලෙස විමසා බලමු.

සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට
ආවාදෝ ඉගිල්ලී...............

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වසී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුණ සුරෑපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
විගඟ සෙනග හඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැක ගනින් දේවතාවී....

ගුණදාස කපුගේ ශූරීන් විසින් ගයනු ලබන මෙම ගීයේ පද රචකයා රත්න ශ්‍රී විජේසිංහයන්ය.

ගීයේ නිමිත්ත ලුහුඬින් මෙසේය.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පොලිස් අංශයේ නායක නඩේෂන් එල්.ටී.ටී.ඊ සාමජිකයෙක් වීමට පළමුව කිරුළපන පොලිසියේ සේවය කළ අතර එකලම එහි සේවය කළ විනීතා නම් පොලිස් නිලධාරිනියක හා ඇතිකර ගත් ප්‍රේම සම්බන්ධයක් ප්‍රතිඵලයක් ලෙස ඇය විවාහ කර ගත්තේය. අනතුරුව එල්.ටී.ටී.ඊ සාමජිකයෙක් වූ ඔහු එහි පොලිස් අංශයේ ප්‍රධානියා ලෙසත්, විනීතා මුල්පෙළ නායිකාවක් ලෙසත් එල්.ටී.ටී ඊය තුළ සක්‍රීය විය.

බොහෝ ගීත විචාරයන් මෙම ගීය, ජාති භේද මැද එක්තැන් වූ ප්‍රේමයක මහිම විදාපාන්නක් ලෙසින් ලඝු කරනු ලැබ ඇතත් මෙමඟින් හෙළි කෙරෙන සත්‍යය එතැනින් එහාට විහිදෙන දේශපාලනික සත්‍යක් හෙළි කරයි.

ගීයේ අවසන් කොටසට අවධානය යොමු කරමු.

"ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ විගඟ සෙනග හඩාවී"

විහඟ සෙනඟ යනු එල්.ටී.ටී ඊයයි. ගීයෙන් කියවෙන්නේ ඔවුන් හඬන බවකි. ඔවුන්ගේ ඒ හැඬුම කුමක් උදෙසාද?

ඊළාම් සටන අහම්බයක් නොවේ. වසර ගණනාවක් මුළුල්ලේ සාමාජීයව හා දේශපාලනිකව දෙමළ ජනතාව වෙත එල්ල වූ සුළුජාතික පීඩනයේ පුපුරා යාම එයයි. ඊළාම් සටනේ ඉතිහාසය කියවා බලන අයෙකුට එය මනා කොට පැහැදිළි කර ගත හැකිය.

(මේ පිළිඹඳ සාර්ථක සංක්ෂිප්ත අදහසක් පහත සිංහල විකිපීඩියා පිටුවෙන් ලබාගත හැකිය)
http://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_ජනවාර්ගික_අර්බුදය

පුරවැසි පනත(1948),රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය(1956),රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ ප‍්‍රශ්නය(1965),විශ්ව විද්‍යාල ප‍්‍රවේශය පිළිබඳ ගැටළුව(1970) ආදී කොටගත් අත්තනෝමතික දේශපාලනයේ ආපසු හැරවිය නොහැකි වැරදි දෙමළ විමුක්ති සටනට පාර කැපීය.

ගීයේ සඳහන් "හැඬුම"උක්ත අත්තනෝමතික දේශපාලනය විසින් ඔවුන් මත පටවන ලද පීඩනයයි.

"ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී"

"ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කර ඇත" වත්මන් පාලකයින්ගේ උදාන වාක්‍යය මෙයයි. එහෙත් ගැටළුව තවම නිරාකරණ වී නැත. මන්දයත් අදවන විටත් පාලක පන්තිය ක්‍රියාත්මක් වන්නේ ඉතිහාසය තුළ එය හැසිරුනු අත්තනෝමතික හා මුග්ධ ස්ව්භාවයෙන් මිස ගැටළුවට නිසි විසඳුම් ලැබෙන අන්දමින් නොවන නිසාවෙනි. යුද ජයග්‍රහණයට ආවඩනු විනා දෑස් බැඳි සමාජය වෙතටද ඇත්ත අතිසැටියෙන් කාන්දු වී නැත. "මිලිටරි රියැලිටිය" පළමුවර, දෙවනු වර පමණකින් නොනැවතී තෙවනුවත් සමාජයට යුද ජයග්‍රහණයේ ඕජාව ඉසිමින් ඡන්ද පදනමම තර කර ගැනීමට තතනමින් සිටී.

ගීය ආශ්‍රයෙන්ම කියතොත් තවමත් කඳුල සිංහලයට නැගී නැත


-ප්‍රගාමී ව්‍යාපාරය

Saturday, August 17, 2013

බෝම්බ සහ ගින්දර



බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි, සිය සිරුරට ගිනි තබාගැනීමේ සිදුවීම, පසුගිය කාලය පුරාවට සිංහල බෞද්ධ ජන සමාජය තුල විවිධ අන්තවාදී කණ්ඩායම් විසින් වර්ගවාදය පදනම් කරගෙන සිදු කරන ලද අන්තවාදී උසිගැන්වීම් වල තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස හදුනා නොගෙන, එම සිදුවීම විස්මයට පත්විය යුතු හෝ පරමාදර්ශී කාරණයක් ලෙස හෝ හදුනාගැනීම, පැවති ප්‍රතිගාමී සමාජීය ප්‍රවණතාව හා ආගමෙහි වාස්තවික මූලයන් පිලිබඳ අවිඥානිකව සිටියවුන්ට පමණක් අයිති කාරණයක් වේ.

“අද ආගමේ ගැඹුරටම බැස ඇති මුල වූ කලී, වැඩ කරන ජනතාවගේ සමාජීය වශයෙන් පීඩිත තත්වය සහ ධනවාදයේ අන්ධ බලවේග ඉදිරියේ ඔවුන්ගේ ප්‍රත්‍යක්ෂ, පූර්ණ අසරණ භාවයයි. ධනවාදයේ මේ අන්ධබලවේග සෑම දවසකම, සෑම පැයකම, වැඩ කරන සාමාන්‍ය ජනතාවට ඉතාමත් භයානක පීඩාවන් සහ ඉතාමත් අමානුෂික හිරිහැර සිදු කරයි. මේවා යුද්ධ, භූමි කම්පා යන ආදී, අති විශේෂ සිදුවීම් වලින් ජනිත කරන්නා වූ හිරිහැර හා පීඩාවන්ට වඩා දහස් ගුණයකින් සැහැසිය. “බිය දෙවියන් සෑදීය” ධනවාදයේ අන්ධ බලවේගය කෙරෙහි බය- අන්ධයැයි කියනු ලබන්නේ එය බහු ජනතාව විසින් කලින් දැකිය නොහැකි බැවිනි - නිර්ධන පාන්තිකයාගේ සහ සුළු දේපල හිමියාගේ ජීවිතයේ සෑම පියවරකදී හදිසි, බලාපොරොත්තු රහිත,අකාස්මික, නස්පැත්තිය, විනාශය, දරිද්‍රතාව, ගණිකා වෘත්තිය, සාගින්නේ මිය යාම සිදු කිරීමට තර්ජනය හා සිදු කරන බලවේගය කෙරෙහි බිය-නූතන ආගමේ මුල මෙයයි. ” 
                                                                                                                                                                                                                      (ලෙනින්-සම්පූර්ණ කෘති, වෙළුම 15)

ඉහත උධෘතය මගින් පැහැදිලි කරන ආගමේ මූලය පිලිබඳ කරුණු පදනම් කරගනිමින් ගනිමින් ආගම පිළිබද අර්ථනිරූපනය සරලව ඉදිරිපත් කලහොත්, ආගම යනු, මිනිසාට බියජනක විනාශයක් උරුම කරන්නාවූ මෙතෙක් පැවතී සහ පවතින නිෂ්පාදන සබඳතාවන්ගේ බිහිසුණු ව්‍යුත්පන්නයන් නමැති දියේ ගිලෙන්නාට, අවසානයට එල්ලෙන්නට ඉතිරිව ඇතැයි ඔහු සිතන, පිදුරු ගහකට වැඩියමක් ලෙස ඔහුට දෘශ්‍යමානවන දෙයයි. දුකින් පීඩිතව, හෙම්බත්ව ඇති මනුෂ්‍ය ජීවිතය ලාංකීය සන්දර්භය තුලනම් වෙනත් ජන්මයක හෝ දිව්‍යලෝකයේ හෝ කලාතුරකින් කෙනෙකුට නිවන තුලදී සනසාගත හැකි බවට ආගම පොරොන්දු දෙයි. එවැනි පසුබිමක එහි පැවැත්ම අභියෝගයට ලක්කෙරෙන බලවේගයක්(මෙම බලවේගය ලෙස වෙනත් ආගමක් හදුනාගැනීමද සිදුවිය හැක මන්ද සෑම ආගමකම මිත්‍යාදෘෂ්ටිය අදාල ආගමික විමුක්තියට බාධා කරන්නක් ලෙස ඉගැන්වේ.) ගහෙන් වැටුණු මිනිහාට අනින්නට එන ගොනෙකු ලෙස දැකීමත්, එම බලවේගයන් මරාගෙන මැරෙන (බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ සිය ක්‍රියාමාර්ගය අර්ථනිරූපනය කලේ ස්වකීය ආගමෙහි පැවැත්ම අභියෝගයට ලක්කෙරෙන බලවේගයන්යැයි උන්වහන්සේ විශ්වාස කල බලවේගයන්ට එරහි, ඒවායේ පැවැත්ම අහෝසිකරන ක්‍රියාමාර්ගයක් ලෙසටය) අන්දමේ හැගීමක් ජනිත වීමත් අරුමයක් වේද!!!

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ සිදුවීම සම්බන්දව අවධානය යොමු කරන විට, උන්වහන්සේගේ එම පැවතී වාස්තවික තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමෙහි මූලයන් සෙවීමට එහා ගිය, එහි සමාජීය ස්ථානගත වීම අලලා පළල් විග්‍රහයකට එළඹිය යුතුව ඇති අතර, එසේ එළඹීමේදී එය සම්බන්ධව අවධානය යොමුකළ යුත්තේ, එම සිදුවීම වර්ගවාදී දේශපාලනික වපසරිය මත තබාය. එතකුදු වුවද එසේ සිදු කිරීමේදී එය සිදුවීමක් ලෙස වියුක්තව නිරීක්ෂණය කරමින් එය වර්ගවාදී දේශපාලනික ව්‍යාපාරයක්(දේශපාලනික ව්‍යාපාරය = මතවාද = මෙම සිදුවීමට අදාලව අන්‍යාගමිකගමිකකරණය වැලැක්වීම, ගව ඝාතනය වැලැක්වීම) ප්‍රවර්ධනය කිරීම උදෙසා වූ, සමාජීය සර්වත්‍ර කුලකයෙහි උප කුලකයක් වූ ස්වකීයත්වය නියෝජනය කරන්නාවූ කුලකයේ, අනුපූරකයෙහි අවයවයක් බවට පත්වන අනෙකාගේ කුමන නිදහසක් උලංගනය වීම මතවත් පරායත්ත නොවන, භාවිත පරාසයක් අත්කරගන්නා ක්‍රියාකාරීත්වයක් ලෙස දැකීමට සීමා වීම බරපතල සමාජීය අනතුරක් සංවේදනය නොවීමට හේතුවක් බවට පත් වේ. මන්ද ආගම උදෙසා ස්වයංව ඝාතනය වීම ආගම උදෙසා ඝාතනය කිරීම දක්වා ප්‍රසාරණය වීමේ ඉහල සම්භාවිතාවක් පවතින බැවිනි.

මේ තත්වය සරල උදාහරණයකින් පැහැදිලි කළ හැක. මුස්ලිම් අන්තවාදී මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සිදු කරන්නේද තමන් ආගම උදෙසා ස්වයංව ඝාතනය වීම, එසේ ඝාතනය වීමට උපයෝගීකර ගන්නා බෝම්බය හරහා ආගම උදෙසා ඝාතනය කිරීම දක්වා ප්‍රසාරණය කිරීමයි.මීට අනුරූපව බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි ආගම උදෙසා ස්වයංව ඝාතනය වීමට භාවිතා කල ගිනි දැල් -උන්වහන්සේ විසින්ම නොවුවත් -ආගම උදෙසා ඝාතනය කිරීම දක්වා ප්‍රසාරණය වීමට ඇති අවධානම, පවතින ධනපති පාලන තන්ත්‍රය පිලිබඳ සවිඥානික වෙමින් අපි තේරුම් ගත යුතුය .

“ප්‍රතිගාමී ධනේශ්වර පන්තිය සෑම තැන්හීම ආගමික කලහා ඇවිස්සවීමට කටයුතු කර ඇති අතර දැන් ඔවුන් රුසියාවේ එසේ කිරීමට ආරම්භකර ඇත.ඔවුන් මෙසේ කරන්නේ අද විප්ලවීය අරගලයේ ඒකරාශී වී සිටින සමස්ත රුසියා නිර්ධන පන්තිය විසින් ප්‍රායෝගික ලෙස විසඳනු ලබමින් ඇත්තාවූ සැබවින්ම වැදගත් සහ මූලික ආර්ථික දේශපාලන ගැටලුවලින් පොදු ජනතාවගේ අවධානය එමගින් වෙනතකට හැරවීම සඳහාය”
                                                                                                                                                                                                    (1905/12/03-ලෙනින්-සම්පූර්ණ කෘති, වෙළුම 12)

එබැවින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිගේ සිදුවීම පරමාදර්ශී සිදුවීමක් ලෙස සමාජීයව ඔසවාතබනවාට ප්‍රතිපක්ෂව එය පිටුදැකිය යුතු අගතියක් ලෙස මූලිකව හදුනාගැනීම වර්ගවාදී බලවේගයන්ගේ අනාගත විනාශකාරී පියවරයන් වැලකීමට ගන්නා බුද්ධිමය ප්‍රවේශයක් බවට පත්වනු නොඅනුමානය. 

-ප්‍රගාමී ව්‍යාපාරය


Friday, August 16, 2013

ආගම පීඩිතයන්ගේ සුසුමයි(sigh)..


මෑත කාලීනව ලාංකීය ජන සමාජය තුල සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පැවතී සහ මේ මොහොතේත් පවතින පටු, ප්‍රතිගාමී, වර්ගවාදය අරභයා මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරයක් හැටියට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 2013/3/15 දින රැස්වූ ප්‍රගාමී ව්‍යාපාරයේ තාවකාලික මධ්‍යම කාරක සභාවට, පවතින පිටුදැකිය යුතු ප්‍රතිගාමී තත්වය පරාජය කිරීම සඳහා, එතෙක් සිදු කරමින් සිටි කාර්යභාරය පුළුල් කරමින්, මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරයක් හැටියට, න්‍යායික පීලි පැනීමකින් තොරව, නව වැඩපිළිවෙලක් නිර්මාණය කරගත යුත්තේ කෙසේද යන්න සම්බන්ධව සිය මතය පැහැදිලි කරමින් පංකජ මිනුෂ ජයවික්‍රම සහෝදරයා ඉදිරිපත් කල වාර්තාව පහත දැක්වේ. මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරයක ආගම සම්බන්ධ නිවැරදි න්‍යායික ස්ථාවරය පිලිබඳ සවිඥානික බව ඇති කරගැනීම උදෙසා සාර්ථකව උපකාරී කරගත හැකි ලේඛනයක් ලෙස සලකා අපි එය පල කරන්නන්ට තීරණය කළෙමු.






Tuesday, August 13, 2013

මෙවර සනාථවීම වේදනාබර මාදිලියේය.



පරමාදර්ශී සමාජයක් ගොඩනැගීමේ ක්‍රියාවලියක නියුතු මාක්ස්වාදී ව්‍යාපාරයක, රජය සම්බන්ධ න්‍යායික ස්ථාවරය, වර්තමානය වන විට එම ව්‍යාපාරය නියුතු පරමාදර්ශී සමාජයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය තුල ප්‍රමුඛ භූමිකාවක් හිමිකර ගන්නේ, මාක්ස්වාදී ව්‍යාපාරයන්හී රජය සම්බන්ධ ස්ථාවරය පිලිබඳ වැරදි අඳුරු චිත්‍රයන්, අතීත මාක්ස්වාදී ව්‍යාපාර වල න්‍යායික පීලීපැනීම්, මාක්ස්වාදී න්‍යායික ස්ථාවරයන් සහ න්‍යායික ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයන් ලෙස අර්ථනිරූපනය කරමින්, එම අර්ථ නිරූපනයන් සමාජ ගත කිරීමට සිදුකල දැවැන්ත ප්‍රවර්ධන ක්‍රියාකාරීත්වය හරහා  ධනපති පාලනයන් විසින් කම්කරු පන්තියේ සාමාජිකයන්ගේ විඥානය තුල නිර්මාණය කර, ඒ හරහා පරමාදර්ශී සමාජයක් ගොඩනගන ක්‍රියාවලිය ආපසු හරවමින්, අඩපන කරමින් ඇති  නිසාවෙනුත්, ඒ හැරුණු විට පරමාදර්ශී සමාජයක් ගොඩනැගීමේ ක්‍රියාවලියෙහි අනාගත සාක්ෂාත් කරගැනීම් පිලිබඳ, එම ක්‍රියාවලියෙහි නියුතු මාක්ස්වාදී ව්‍යාපාරය තුල සිටින විප්ලවීය සගයන්ගේ සවිඥානික බව ඇතිකර ගැනීමේ ඇති අවශ්‍යතාව නිසාවෙනුත් (මේ තුල ව්‍යාපාරය අවස්ථාවාදී පීලීපැනීම් වලට ගොදුරු වීමට ඇති ඉඩ ඇහිරීමක් සිදුවීම මෙහි ප්‍රමුඛ, ප්‍රගතිශීලී ප්‍රතිඵලය බවට පත්වේ.) සහ ශ්‍රී ලංකාව සැලකීමේදී මෙරට සිදුවන සිදුවීම් පදනම් කරගෙන මාක්ස්වාදී න්‍යායන් අනුභූතිකව සත්‍යෙක්ෂණය(verification) කර ගැනීමේ හැකියාව මාක්ස්වාදීන් වන සහ නොවන සියලු ලාංකීය සහෘදයන්ට(මාක්ස්වාදී වන සහෘදයන්ට මාක්ස්වාදී න්‍යාය පිලිබඳ විශ්වාසය වැඩිකර ගැනීමටත් මාක්ස්වාදී නොවන සහෘදයන්ට මාක්ස්වාදී න්‍යාය පිලිබඳ විශ්වාසය ඇති කරගැනීමත් සඳහා ) ලැබී, ඒ හරහා පරමාදර්ශී සමාජයක් ගොඩනැගීමේ ක්‍රියාවලියට නව ජවයක් එක්වන නිසාවෙනුත්ය. 

මෙම පසුබිම තුල රජය සම්බන්ධ, නිවැරදි මාක්ස්වාදී න්‍යායික ස්ථාවරයෙහි සුරක්ෂිතභාවය උදෙසා සහ එය කම්කරු පන්තිය තුල ප්‍රචලිත කිරීම උදෙසා කටයුතු කරන ක්‍රියාවලියක මාක්ස්වාදී ව්‍යාපාරයක් හැටියට අපි නියැලී සිටියෙමු.  ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාට අයත් LB Finance ආයතනය විසින් මුදල් අමාත්‍යංශය විසින් වාර්ෂිකව බදු නිදහස් කිරීම යටතේ වාහන ගෙන්වීම සඳහා නිකුත් කරන බලපත්‍රය යටතේ වාහන ගත් අයට ලීසිං පසුකම් සපයා එම ලීසිං වාරික නොගෙවූ වාහන අත්පත් කර ගත පසු ඒවා වෙනත් පාර්ශවයකට පැවරිය නොහැකි වීම හේතුවෙන් LB Finance ආයතනයට  ලක්ෂ 700 ක පමණ පාඩුවක් සිදුවීමට නියමිතව තිබු නිසාවෙන්, එම බලපත්‍රය මගින් ගෙන්වන වාහන, එම බලපත්‍රය නිකුත් කල දින සිට වසර තුනක් යන තෙක් වෙනත් පාර්ශවයකට  පැවරීම හෝ විකිණීමට නොහැකි වනසේ පනවා තිබු නීතිය රජය විසින් ඉවත් කරන ලද අවස්ථාවේද, අප නියැලී සිටි, රජය සම්බන්ධ, නිවැරදි මාක්ස්වාදී න්‍යායික ස්ථාවරයෙහි සුරක්ෂිතභාවය උදෙසා සහ එය කම්කරු පන්තිය තුල ප්‍රචලිත කිරීම උදෙසා කටයුතු කරන ක්‍රියාවලියෙහි දිගුවක් ලෙසට එම සිදුවීම  ධනපති සමාජයෙහි පවතින රජය යනු ධනපති පන්තියේ වුවමනාවන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නකි යන්න සනාථ කරන සිදුවීමක් වග පෙන්වා දුන්නෙමු. දැන් මේ මොහොත වනවිට එම කරුණම නැවතත් සනාථ කරගැනීමට මෙරට ජනතාවට ධනපති පන්තිය නියෝජනය කරමින් නැවත වරක් ධම්මික පෙරේරාත්, ධනපති රාජ්‍ය නියෝජනය කරමින් රාජපක්ෂ ආණ්ඩුව සමග ලොව “විනීතම” හමුදාවත් තවත් උදාහරණයක් සපයා ඇත. ඒ රතුපස්වල සිදුවීමයි. නමුත් කනගාටුවට කරුණ වන්නේ මෙවර සනාථ වීම වේදනාබර මාදිලියේ එකක් වීමයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

Sunday, May 5, 2013

වර්තමානයේ දෘශ්‍යමාන සමාජීය අර්බුධවල ප්‍රභවය.



(පරමාදර්ශී සමාජයක් ගොඩනැගීම උදෙසා ගත යුතු පියවර ලෙස, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ශිෂ්‍ය දෙව්මාල් නිලංක හඳපාන්ගොඩ සහෝදරයා විසින් යෝජනා කරන ලද, ආයතනමය ප්‍රතිස්ථාපනයක් සිදුකිරීමේ යෝජනාවකට, ෆේස් බුක් මාධ්‍යයෙන්, ප්‍රගමී ව්‍යාපාරයේ තාවකාලික මධ්‍යම කාරක සභාවේ සභික පංකජ මිනුෂ ජයවික්‍රම සහෝදරයා දුන් පිළිතුර)

මේකට පිළිතුරක් දෙද්දී මූලිකවම කියන්න ඕනි කාරණා දෙකක් තියෙනවා. ඒකෙන් පලවෙනි එක තමයි, මේකට පිලිතුරක් මෙවැනි මාධ්‍යකින් දීම ලෙහෙසි කාරණයක් නෙවෙයි කියන එක. ඒ හින්ද ඉදිරිපත් කරන පිළිතුර සාරාංශ ගත එකක් වීම වලක්වන්න බැහැ. ඊලග කාරනාව තමයි, මේකට මම දෙන පිලිතුර දෙන්නේ, මම මාක්ස්වාදියෙක් කියන පදනමේ ඉදල. එම නිසා මේක මාක්ස්වාදය මත පදනම් වෙච්ච පිළිතුරක් වීමත් වලක්වන්න බෑ.

දැන් අපි සංවාදය දිහාවට හැරෙමු. සංවාදය ආරම්භයේ ඉදලම බැලුවොත් සංවාදය ඉදිරියට ගලාගෙන ගිහින් තියෙන්නේ යම් කිසි සුවිශේෂී පදනමක් මත කියල අපිට දකින්න පුළුවන්. ඒ තමයි දැනට මෙරට පවතින තත්වය අයහපත්ය, එය යම් කිසි වෙනසකට භාජනය විය යුතුය කියන පදනමේ ඉදල. එතැනදී සහෝදරයා ඒ තත්වයට විකල්පයක් විදිහට පාර්ලිමේන්තුව අහෝසි කිරීම, නව ආයතන ගෙන එම වගේ දේවල් යෝජනා කරා. නමුත් විකල්පයක ඉදිරිපත් කිරීමට පෙර අපි මූලිකවම සිදු කල යුතුදේ වෙන්නේ, වර්තමාන තත්වය අයහපත් වන්නේ ඇයි, වර්තමාන තත්වයේ ඇති අර්බුධ මොනවාද, ඒවායේ මූලයන් මොනවාද යන්න හදුනා ගැනීමයි. ඒ දේ සිදු නොකර විකල්ප ඉදිරිපත් කිරීම අදුරේ අතපත ගෑමක් විතරයි.

ශ්‍රී ලංකාවත් ඇතුළුව අද ලෝකයේම තියෙන ධනවාදී සමාජවල සාමාන්‍ය ජන විඥානයට දෘශ්‍යමානවන ගැටළු සැලකුවොත් ඒවා ප්‍රධාන ප්‍රවර්ග දෙකක් යටතේ ගොනු කරන්න පුළුවන්. ඉන් එකක් තමයි, මිනිසාට හිමි, ස්වකීය ජීවිතයේ කටයුතු වල තීරක බලය සීමා සහිත වීමට අදාළ ගැටළු. අනිත් එක තමයි. සමාජ විරෝධී ක්‍රියාවන්ගේ වර්ධනයට අදාලව මතුවන ගැටළු. මේවා ඉරක් ගහල වෙන්කරන්න බැරි, අන්තර් සබඳතා සහිත ඒවා උනත් සාකච්චා කිරීමේ පහසුව තකා මේ ප්‍රවර්ග දෙක යටතේ සාකච්චා කරමු. අනිත් එක තමයි මෙතනදී සාකච්චා වෙන්නේ ජන විඥානයට ලෙහෙසියෙන් දෘශ්‍යමාන ගැටළු විතරයි කියන එකත් නැවත මතක් කරන්න කැමතියි.

පලවෙනි ප්‍රවර්ගයට අදාල ගැටළු සම්බන්ධව අවධානය යොමු කලොත්, ජීවිතය විඳීමට කාලයක් නොමැති වීම, කුටුම්භය තුල අන්තර් සබඳතා බිඳ වැටීම, ජීවිතය අතෘප්තිකර තත්වයකට පත් වීම, ජීවිතය විඩාවට පත්වීම වගේ දේවල් දක්වන්නට පුළුවන්. අද සමාජයේ බහුතරයකගේ ජීවිත දිහාවට ලංවෙලා බැලුවොත් දකින්න ලැබෙන දේ තමයි, ඔවුන්ගේ සාමාන්‍ය දිනයක් සැලකුවොත් එයින් වැඩි කාලයක් ගතවෙන්නේ මිනිස්සු තමන්ට “අවශ්‍ය නිසා කරන වැඩ” වලට නෙවෙයි කියන එක, ඔවුන්ට වැඩි කාලයක් වැය කරන්න වෙලා තියෙන්නේ තමන්ට “කරන්න සිද්ද වෙලා තියෙන නිසා කරන වැඩ” කරන්න කියන එක. ඒවගේම තමයි තාක්ෂණයේ දියුණුවට, මනුෂ්‍යායාගේ නිදහස් කාලය අනුලෝමව සමානුපාතික විය යුතුව තිබුනත්, එක සිදු වෙලා නෑ කියන එක. මන් මෙතන අවසානයට සඳහන් කරපු අර්බුද දෙක, ඊට ඉහත සඳහන් කරපු අර්බුද ඇති කරන්න හේතුවක් වශයෙනුත් ක්‍රියා කරනවා කියල ඕනිම කෙනෙකුට තේරෙනවා ඇති. පලවෙනි ප්‍රවර්ගයට අදාලව මේ වගේ ගැටළු රාශියක් අපිට මේ සමාජය ඇතුලේ හදුනා ගන්න පුළුවන්.

ඊලගට අපි අනෙක් ප්‍රවර්ගය දිහාවට අවධානය යොමු කලොත්, ඒ සම්බන්ධ කරුණු කාරණා මම මෙතන විශේෂයෙන් සඳහන් නොකලත් සමාජයතුළ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට ඒ ප්‍රවර්ගයට අදාල ගැටළු ගැන ප්‍රාමාණික අවබෝධයක් තියෙනවා. කුලියට මිනී මැරීම, සොරකම් කිරීම, ලිංගික වෙළදාම, මත් ද්‍රව්‍ය වෙළදාම ආදී බොහෝ සමජවිරෝධී ක්‍රියාවන් සමාජය තුල දකින්නට පුළුවන්. නමුත් මෙතැනදී විශේෂ අවධානයක් යොමු වියයුතු කරුණක් තියෙනවා. ඒ තමයි, මේ සියල්ල අද වෙනකොට දැවැන්ත කර්මාන්ත(Industy) තත්වයට පත්ව තිබීම. එම නිසා මේ කර්මාන්ත ප්‍රවර්ධනයට අදාලව නිමක් නැති සදාචාරාත්මක බිඳ වැටීමක් සමාජය තුල දකින්න පුළුවන්. මෑත කාලීන සමාජයේ දකින්න ලැබුන ඝාතන, ස්ත්‍රී දුෂණ මේවට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්.

මේ ප්‍රවර්ග දෙකටම අදාළ ගැටළු දිහා තාර්කිකව බැලුවොත් මේවා සියල්ලටම හේතුව වර්තමාන සමාජයේ තියෙන ආර්ථික සැකැස්ම කියල අපිට පැහැදිලි වෙනවා. පළවැනි ප්‍රවර්ගයට අදාළ ගැටළු දිහා බැලුවොත් ඒවා සියල්ලට හේතුව ශ්‍රම සූරා කෑම. ඒ ශ්‍රම සූරාකෑම ඇතුලේ අපිට අපේ පැවැත්මට විතරක් නෙවයි ධනපතියාගේ පැවැත්ම වෙනුවෙනුත් වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා. ඉතින් කොහෙද අපිට ජීවතේ විඳින්න වෙලාවක්, ඉතින් කොහෙද අපිට කුටුම්භය ඇතුලේ අන්තර් සබඳතා ගොඩ නගන්න වෙලාවක්, ඉතින් කොහෙද අපිට තෘප්තිමත් ජීවිතයක්..

දෙවැනි ප්‍රවර්ගයට අදාළ ගැටළු ගැන සැලකුවත් ඒවයේ හේතුව වෙන්නෙත් වර්තමාන ආර්ථික සැකැස්මමයි. වර්තමාන ආර්ථික ක්‍රමය සමාජයේ ඉන්න මනුෂ්‍යයාගේ මිලදී ගැනීමේ හැකියාව අඩු කරලා තියෙනවා.(ශ්‍රම සැපයුම,ඉල්ලුමට වඩා ඉතා ඉහල මට්ටමක පැවතීම ප්‍රයෝජනයට ගෙන ධනපතියා කම්කරුවාගේ වැටුප අවම මට්ටමක පවත්වා ගැනීම නිසා) ඒ නිසා නිෂ්පාදන වර්ධනය බාධා සිදු වෙලා තියෙනවා (සැබෑ අවශ්‍යතාවය වඩා අඩුවෙන් නිපදවනවා, නිෂ්පාදන අවශ්‍ය මිනිසුන් කොපමණ සිටියත් “විකිණීමට” නොහැකි නිසා ) එම නිසා රැකියා අවස්ථා නිර්මාණය වීම අඩු එල තියෙනවා. එම නිසා විරැකියාව වැඩි වෙලා තියෙනවා(තාක්ෂණයේ දියුණුව, වෙළද අර්බුධ වැනි දේත් මීට හේතු වෙනවා. නමුත් වෙළද පොළ තරගයක් නොමැතිනම් තාක්ෂණයේ දියුණුව විරැකියාවට හේතුවක් වන්නේ නැත. එවිට වන්නේ සේවකයෙකුගේ වැඩ දිනයක පැය ගණන අඩු වීම පමණකි) ඉතින් සමාජයේ කොටසක් විරැකියාවට පිළිතුරක් විදිහට සමාජ විරෝධී කර්මන්ත තෝරා ගන්න එක තමයි මේ තත්වයන්ගේ තර්කානුකූල ප්‍රතිඵලය.

ඉතින් ආර්ථික සැකැස්ම ප්‍රභවය වෙච්ච මේ ගැටළු ගොන්න විසදන්න නව පාලකයෝ, නව ආයතන, ආගමික මැදිහත්වීම් වගේ විකල්ප කොච්චර ඉදිරිපත් කලත් වැඩක් නෑ. ඒ සියල්ල වර්තමාන සැකැස්මටම ගොදුරු වෙලා විනාශ වෙලා යනවා. ඒ හින්ද අපි කල යුත්තේ ආර්ථික සැකැස්ම වෙනස් කිරීමයි. ඒ හරහා තමයි අපිට පරමාදර්ශී සමාජයක් බිහිකරන්න හැකි වෙන්නේ. හොදට මතක තියාගන්න, සමාජයේ බහුතරයක් තව කෙනෙකුට කන්න දෙන්නේ තමන් බඩගින්නේ නැත්නම් විතරයි..

-ප්‍රගාමී ව්‍යාපාරය

නලින් ද සිල්වාගේ මහා විසංවාදය.



වාස්තවිකත්වයට එරහිව නලින් ද සිල්වා සිය ප්‍රබලතම ශාස්ත්‍රීය අවිය ලෙස යොදා ගනුලබන්නේ, වාස්තවිකත්වය මනසින් ස්වායත්තව ඔප්පු කර පෙන්වන්න, යන අභියෝගයයි. මෙහිදී, එසේ කිරීමට නොහැකි වීම තුල වාස්තවිකත්වයක් නැතැයි යන්න ඔප්පුවේයැයි, ඔහුගේ නිගමනයයි. නමුත් එලෙස එම නිගමනයට එළඹීම, චතුෂ්කෝටික තර්ක ක්‍රමය පිළිගන්නා නලින් ද සිල්වාගේම දර්ශනයට, අදාලව විසංවාදී වෙයි. මන්ද එලෙස එම නිගමනයට එළඹීම ද්විකෝටික තර්කන ක්‍රියාවලියක් වන බැවිනි. නලින් ද සිල්වාට, ඔහුගේ අභියෝගයට අදාලව චතුෂ්කෝටික තර්කනය යෙදු විට එක විට "ඇත" හැරුණු විට "නැත" පමණක් නොව, "ඇත-නැත" අවස්ථාවක් සහ "ඇත්තේද නැත-නැත්තේද නැත" අවස්ථාවක් වලංගු වන බව එක්කෝ ඔහුට අමතක වී ඇත. නැත්නම් ඔහු දැන් පිළිගන්නේ ද්විකෝටිකය විය හැක. ඒ පිලිබඳ අපි නොදනිමු. කෙසේ වුවද අපට නම් මෙය නලින් ද සිල්වාගේ මහා විසංවාදයයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

මාක්ස්වාදී මහැදුරෙකුගේ නික්ම යාම.



අප හා සමපාත නොවුනද අපට සමාන්තර මගක ගමන් කල, සම්භාව්‍ය මාක්ස්වාදය සම්බන්ධයෙන් අපටද වරෙක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහැදුරෙකු වූ මහැදුරු සුචරිත ගම්ලත් ලාංකීය විප්ලවීය භූමිය තුල ජීව විද්‍යාත්මකව තව දුරටත් ජීවමාන නැත. මේ මොහොතේ ඔබ වැනි මිනිසුන් තවත් බිහි වේවායි පැතීම අවශ්‍යයයි අපි නොසිතමු. මන්ද ඒ උදෙසා දැවැන්ත වැඩ කොටසක් ඔබ විසින්ම ඉටු කර අවසන් බැවිනි. එබැවින් අපි අපගේ විප්ලවීය ආචාරය පමණක් පුද කර ඔබට සමු දෙමු.

විප්ලවවාදී මහැදුරානනි ඔබට අපගේ විප්ලවීය ආචාරය!!!!!!!!

-ප්‍රගාමී ව්‍යාපාරය

ත්‍රස්තවාදී ජාතික සංහිඳියාව සහ ආගමානුකූල වර්ගවාදය???????

“මගේ අර්ථදැක්වීම අනුව ඔබ ජාතිද්‍රෝහියෙක්, දේශද්‍රෝහියෙක්, එක්තරා අකාරයකට ත්‍රස්තවාදියෙක්..... සමාවෙන්න තව එකක් අමතක උනා... පැහැදිලිවම මෝඩයෙක්”

ඉහත දැක්වෙන්නේ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පටු, අදූරදර්ශී, ප්‍රතිගාමී වර්ගවාදය සම්බන්ධ සංවාදයකදී වර්ගවාදියෙකු අප සංවිධානයේ සහෝදරයෙකුට බැන වැදුණු කොමෙන්ටුවකින් උපුටා ගත් කොටසකි. අප සංවිධානයේ නියෝජිතයෙකුට මෙසේ බැන වැදීමට හේතු වූ, අප සංවිධානයේ, මෙරට පවතින මුස්ලිම් විරෝධී ක්‍රියාකාරීත්වය පිලිබඳ මතය, ප්‍රධාන කරුණු තුනක් මත පදනම් විය.

ඉන් පලමු කරුණ වුයේ, “සියලු ජාතිකත්වයන් නියෝජනය කරමින් අන්තවාදීන් සිටිනා බව අප පිළිගනිමු” යන්නයි. සිංහල, දෙමල, මුස්ලිම් බේදයක නැතිව සියලු ජාතිකත්වයන් සම්බන්ධයෙන් සලකා බැලූ විට තත්වය එයය.

දෙවැනි කරුණ වුයේ පළමු කරුණට අප ඉදිරිපත් කල විසඳුමය. එනම් “සියලු ජාතිවාදයන්(Racism) පරදමු” යන සටන් පාඨය ජයග්‍රහණය කරවීමය. මෙහිදී අප අවධාරණය කිරීමට උත්සහ කලේ, මෙම සටන් පාඨය ජයග්‍රහණය තුල එකිනෙකාගේ ආගමික නිදහසට බාදා නොවන ආගමික නිදහසක් සර්ව ආගමිකයන්ට හිමි වන බවත්, එතුල බහුතරය රැකීමට හෝ සුළුතරය බහුතරය බවට පරිවර්තනය කිරීමට කඩිමුඩියේ දරුවන් සෑදීම වැනි වර්තමාන, බහුතරයකගේ ආර්ථික තත්වය හා නොගැලපෙන ක්‍රියාකාරීත්වයක යෙදීමට සිදු නොවන බවය.

තුන් වන කරුණ ලෙස අප ඉදිරිපත් කරනු ලැබුවේ, ඕනෑම ආගමිකයෙකු, අන්‍ය ආගමික සාමකාමී ප්‍රවර්ධන කටයුතු වාරණය කිරීම, ස්වකීය ආගමික ප්‍රවර්ධනයේ මගක් ලෙස නොසලකා, ඊට විකල්පය ලෙසට අන්‍ය ආගමික සාමකාමී ප්‍රවර්ධන කටයුතු වලට තරගයක් දිය හැකි සාමකාමී ව්‍යාපාරයක් අරබන ලෙසය.

මේ කරුණු මත පදනම්ව අප සමාජ ව්‍යාපාරයක් ලෙස අපගේ මතය ඉදිරිපත් කරද්දී වර්ගවාදීන් සිදු කලේ භාවිතයට ගත හැකි සියලු ආකාරයේ අපහාසාත්මක වදන් යොදා ගනිමින් අපට බැනවැදීම මිස අප කියන්නට තැත් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට උත්සහ ගැනීම නොවේ.

මේ වන විට සිදුවී ඇත්තේ අපි වැනි සුළුතරයක් වූ ප්‍රගතිශීලී පාර්ශව කිහිපයක විරෝධතාවයන් මධ්‍යයේ ඒවා තුට්ටුවකට මායිම් නොකල මෙම අමන වර්ගවාදී රැලෙහි වර්ගවාදී වියරුවෙහි ප්‍රතිපල එකින් එක අප ඉදිරියට පැමිණීමයි. පසුගිය දා ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ට බොදු බල සේනාවෙන් හිරිහැර වන බව ප්‍රකාශ කරමින් මුස්ලිම් ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිලිබඳ මහලේකම් නවනීදම් පිල්ලේට සහ ජගත් මහා ලේකම් බැන්කී මූන්ට ලිපියක් යැවීම එහි පළමු පියවර ලෙස අපට දකින්නට ලැබුණි.මේ හරහා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පැවතෙන කාලය තුල, එයට ශ්‍රී ලංකාවට එරහි යෝජනාවක් ඉදිරිපත්වීමට නියමිතව තිබෙන මොහොතක, මෙවැනි සිදුවීමක් සිදුවීමට අවශ්‍ය පසුබිම සකස් කරමින්,ඇමරිකන් කෙටුම් පතේ ශ්‍රී ලංකා විරෝධී භාවයට ඔක්සිජන් සපයමින් ලංකාවට සිදු කරන විදේශීය මැදිහත්වීම වලට මග විවරකර දුන් ඊනියා දේශප්‍රේමී වර්ගවාදීන්ට සිය ගෝත්‍රික ක්‍රියාදාමයන්හි අවසාන විනාශකාරී ඵල අතරට මේවාද එකතුවෙයි කල් තියා දැකීමට තරම් දූරදර්ශී බවක් කිසිදාක තිබුනේද, ඇත්තේද, ඇතිවන්නට නියමිතද නැත.

එම සිදු වීමෙන්ද පාඩමක් ඉගන ගත බවක් පෙනෙන්නට නොමැති අමන වර්ගවාදීන් සිය වියරුව තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් දැන් බිත්තර ප්‍රහාර හරහා ඔවුන්ගේ නාමික අවිහින්සාවාදයෙන් එළිපිටම හිංසාවට විතැන් වී ඇත. මෙවාතුල වාසි ලබාගන්නේ අවස්ථාවාදී ව්යාපාරීකයන් බව තේරුම් නොගන්න මෝඩ වර්ගවාදීයෝ ඒවාට හුරේ දමති.

දැන් මේ සියල්ල විමසා බැලූ විට අවසානයේ අපට දැවැන්ත ප්‍රශ්නයක් පැන නැගී. එනම් ජාතික සංහිඳියාව ඒකීය රටක් තුල ගොඩනැගීමට ගන්නා අපේ උත්සාහය ත්‍රස්තවාදී එකක් නම් වර්ගවාදීන්ගේ වර්ගවාදී ක්‍රියාවලිය ආගමානුකුලද?????????? යන්නයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

පෞද්ගලික දේපල අයිතිය අහෝසි කිරීම කාන්තා විමුක්තියේ එකම මාර්ගයයි - ප්‍රගාමී ව්‍යාපාරයේ කාන්තා දින පණිවිඩය.


ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේදී අප ස්ත්‍රී විමුක්තිය හඳුනාගත යුත්තේ පරමාදර්ශී සමාජයක් ගොඩ නැගීමේ ක්‍රියාවලියෙන් වියුක්ත නොවූ දෙයක් ලෙසටය.

මිනිස් ශ්‍රමයේ ඒකක එකක් නිෂ්පාදනය කිරීමට යන මුදලට වඩා වැඩි මුදලක් මිනිස් ශ්‍රමයේ ඒකක එකකින් නිෂ්පාදනය කල හැක. ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලිය තුල කම්කරුවාට සිය ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන මුළු වටිනාකම ලැබෙන්නේ නැත. කම්කරුවා ශ්‍රමය ඒකක එකක් වැය කල පසු ධනපතියා කම්කරුවාට ගෙවන්නේ ශ්‍රමය ඒකක එකක් නිෂ්පාදනයට අවශ්‍ය වියදම මිසක ශ්‍රමය ඒකක එකකින් නිෂ්පාදනය කරන වටිනාකම නොවේ. ශ්‍රමය ඒකක එකකින් නිෂ්පාදනය කරන වටිනාකමෙන් ශ්‍රමය ඒකක එකක් නිෂ්පාදනයට යන මුදල අඩුකළ විට ඉතිරිය “අතිරික්ත වටිනාකම” ලෙස හදුන්වයි. මෙය යන්නේ ධනපතියාගේ සාක්කුවටය. අපි සරලව සූරාකෑම ලෙස හදුන්වන්නේ මෙම ක්‍රියාවලියයි. මෙම තත්වය තුල සිය ආදරණීයයන් ගෙන් සමන්විත පවුලට වඩා යහපත් ජීවන තත්වයක් උදා කරදීම උදෙසා කාන්තාවටද ධනවාදී සමාජය තුල සිය ශ්‍රමය විකිණීමට බල කෙරෙයි. සූරා කෑමට ලක්වීමට බල කෙරෙයි.

අනෙක් අතට, ඉහත විස්තර කල ආකාරයට ශ්‍රමය විසින් නිපදවන මුළු වටිනාකම කම්කරුවෙකු වශයෙන් කාන්තාවට නොලැබීම නිසා දිනකට වැඩි කාලයක් වැඩෙහි යෙදීමට සිදුවීමෙන්, ගතානුගතිකව නිවාස තුල අට පැවරුණු සුවිශේෂී වැඩ කොටස සඳහා කොතරම් නවීන පහසුකම් තිබුනද, උදාහරණයක් ලෙස මිරිස්ගල්, වංගෙඩි වෙනුවට බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර් තිබුනද, දර ලිප් වෙනුවට ගෑස් කුකර්, රයිස් කුකර් තිබුනද වර්තමාන කාන්තාව මෙම ධනවාදී සමාජය තුල දැඩි කාර්ය බහුලත්වයෙන් පිරි, සැනසුම, සතුට,විනෝදය රහිත පීඩිත ජීවිතයක් ගත කරමින් සිටි. ඒ හැරුණු විට යම් ආකාරයකට මෙම සමාජය තුල කිසියම් ස්ත්‍රියක් සිය ශ්‍රමය විකිණීමෙන් වැළකී සිටියහොත් ඇයට සිදුවන්නේ පෞද්ගලික දේපල අයිතියට සම්බන්ධවූ පුරුෂයාට යටත්ව සිටීමටය.

එපමණක් නොව ධනවාදය තුල ඇති අනවරත වෙළද තරගය හේතු කොටගෙන ධනපතියාට සිය භාණ්ඩ හැකිතාක් අඩුවට විකිණීමට සිදුවේ ඒ සඳහා ඔහු නිරන්තරයෙන් දියුණු වන නිෂ්පාදන මාධ්‍ය සඳහා ආයෝජනය කල යුතුය. මේ සඳහා හැකිතාක් ලාබා වැඩිකරගනීමට වැටුප් හැකිතාක් අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා කම්කරුවන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවේ. ධනපතීනට භාණ්ඩ නිපදවුවාට ඒවා විකිණීමට නොහැකිවේ. එවිට කම්හල් වස දැමීමට සිදුවේ. විරැකියාව වැඩිවේ. ඒ හැරුන විට නිරන්තරයෙන් දියුණු වන නිෂ්පාදන මාධ්‍යන් නිසාද රැකියාවන් කප්පාදුවේ. මෙලෙස ඇතිවන විරැකියා තත්වය අවසානයේ කාන්ත්වට සිය ජීවත් වීමේ මාධ්‍යන් උදෙසා ලිංගික ශ්‍රමය විකල්පයක් ලෙස තෝරා ගැනීමටද බල කරයි.

එමෙන්ම ධනවාදයේ වර්තමාන කාර්තුව වන නව ලිබරල් වාදයේ පරිබෝජනයේ ස්භාවය වන පරිබෝජනවාදයේ ප්‍රතිපලයක් ලෙසට ලිංගිකත්වය පරිබෝජනවාදී තත්වයකට පත්කිරීම හරහා ද ස්ත්‍රිය දැවැන්ත ආකාරයෙන් පීඩාවට පත්වෙමින් පවතී. එහි ආසන්නතම උදාහරණය ලෙස පසුගිය සිකුරාදා ඉන්දියානු තරුණියක් දූෂණයට ලක් වීම දැක්විය හැක.

ඉහත දැක්වූ කාන්තව පීඩනයට පත් කරන්නා වූ සියලු ආකාරයන් පිලිබදව විමසා බැලුවහොත් එම ආකාරයන් සියල්ලෙහි මූලය ලෙස හදුනා ගත හැකිවන්නේ ධනවාදයේද පදනම වන පෞද්ගලික දේපල අයිතියි. එබැවින් එය අහෝසිකිරීම හරහා ධනවාදය පරාජයකොට පරමාදර්ශී සමාජයක් ගොඩනගන ප්‍රගතිශීලී අරගලය ජයග්‍රහණය කරීමට අදිටන් කරගෙන ඒවෙනුවෙන් කල හැකි සියලු මැදිහත්වීම සිදු කිරීම මම කාන්තා දිනයේදී මෙන්ම ඉදිරියට එන සියලු කාන්තා දිනයන්හිදී කාන්තා විමුක්තිය අපේක්ෂා කරන සියල්ලන්ගේ ප්‍රමුඛතම කාර්යභාරය බව‍ට පත් වේ.

-ප්‍රගාමී ව්‍යාපාරය

මුස්ලිම් විරෝධීන්ට බොර තෙල් ආශ්‍රිත නිෂ්පාදන කැපද...


ප්‍රධාන වශයෙන් ප්‍රගාමී ව්‍යාපාරය හැටියටත්, පෞද්ගලිකව අපගේ භාවිතාව තුලත් අප දිගින් දිගටම වර්තමානයේ මෙරට ක්‍රියාත්මක ප්‍රතිගාමී මුස්ලිම් විරෝධයට එරහිව ක්‍රියා කළෙමු. විශේෂයෙන්ම, එහිදී අප කියා සිටියේ අන්තවාදීන් සියලු ජාතිකත්වයන් නියෝජනය කරමින් සිටින බව අප පිළිගන්න බවත්, ඊට විසඳුම වන්නේ පටු, ප්‍රතිගාමී මුස්ලිම් විරෝධය නොව “සියලු ජාතිවාදයන් පරදමු” යන සටන් පාඨය ජයග්‍රහණය කරවීම බවත්ය.

ඒ හැරුණු කොට, යම් කිසි ආගමක උන්නතිය උදසා කටයුතු කිරීම යනු, අන්‍යාගමිකයන් ඔවුන්ගේ ආගමේ උන්නතිය උදෙසා සිදු කරන ක්‍රියාකාරීත්වයන්(අප මෙහිදී අදහස් කරන්නේ සාමකාමී ක්‍රියාකාරීත්වයන් පිළිබඳවය. සාමකාමී නොවන ක්‍රියාකාරීත්වයක යෙදේ නම් අප කලින් ප්‍රකාශ කල පරිදි ඊට විසඳුම වන්නේ “සියලු ජාතිවාදයන් පරදමු” සටන් පාඨය ජයග්‍රහණය කිරීමය ) වාරණය කිරීම හරහා නොව ඊට සමකාමී තරගයක් දිය හැකි වැඩ පිළිවෙලක් තම ආගමට අදාලව ගොඩනැගීම බවත් එය වෛරය පදනම් කරගත් මුස්ලිම් විරෝධයට වඩා දස දහස් ගුණයක් වටිනා සහ ඵලදායි ක්‍රියාදාමයක් බවත්, ප්‍රගීත් අරවින්ද සහෝදරයා ගේ “බොදු විලාසිතාව සහ සිංහලය” යන ලිපිය වැනි ලිපි හරහා අපි පැහැදිලි කළෙමු.

කෙසේ වුවද තවමත් මුස්ලිම් විරෝධය සරුවට වැඩෙයි. ආරම්භයේ සිටම රාජපක්ෂ රෙජීමයේ ෆැසිස්ට්වාදය පවත්වා ගැනීමට උදව් කල, රාජපක්ෂ හෙජමොනියේ (රාජපක්ෂ හෙජමොනියේ ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් විරෝධය නිර්මාණය වූ ආකාර "රාජපක්ෂ හෙජමොනියේ ප්‍රථිපල: මුස්ලිම් විරෝධය..","මුස්ලිම් විරෝධීනි, ඔබ සිදුකරන්නේ රාජපක්ෂගේ ෆැසිස්ට්වාදයට මුක්කු ගැසීමකි.."යන ලිපිමගින් අප පැහැදිලි කර ඇත.) ප්‍රතිඵලයක් ලෙසට හට ගත් මුස්ලිම් විරෝධය, ධන ලෝබී ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිය ලාබය වැඩිකර ගැනීමට යොදාගැනීම නිසා සමාජය තුල දැඩිව ව්‍යාප්ත වී මේ වන විට මුස්ලිම් ජාතිය මත ජාතික පීඩනයක් ඇති කරන මට්ටමටම වර්ධනය වී ඇත. දැන් මුස්ලින් විරෝධයේ අලුත්ම ස්වරූපය වී ඇත්තේ හලාල් විරෝධයයි මෙම හලාල් විරෝධය සාධාරණීකරණය කිරීමට මුස්ලිම් විරෝධීන් දක්වන හේතුන් වන්නේ හලාල් සහතිකය ලබාදීමට අයකරනා මුදල් පහත දේ සඳහා යොදා ගැනීමයි.

1.ඉස්ලාම් මතවාද ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට යෙදවීම.
2.මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම.
3.ඉස්ලාම් ආගම අනුව ඉස්ලාම් සුබ සාධක තත්වයන් නැංවීම
4.ඉස්ලාම ආගම පිලිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීම
5.ඇතැම් ත්‍රස්ත සංවිධාන සඳහා යෙදවීම

යන ආදී කරුණුය.

මෙම කරුණු සාරාංශ ගත කලොත් මුස්ලිම් විරෝධීන් ප්‍රකාශ කරන්නේ අන්තවාදී හා අන්තවාදී නොවන මුස්ලිම් ආගමික කටයුතු ප්‍රවර්ධනය සඳහා හලාල් මුදල් යෙදීම හේතුවෙන් හලාල් වර්ජනය කරන බවය.මේ සමබන්ධව පසුගිය දිනක අප සමග සංවාදයක යෙදී සිටි මිතුරෙකු අපූරු ප්‍රකාශයක් කළේය ඔහු කීවේ හලාල් වර්ජනය කරන මුස්ලිම් විරෝධීන් වාහන වල යාමද වර්ජන කල යුතු බවය. මන්ද ඒවාට ඛනිජ තෙක් යොදා ගන්න බැවිනි.

අප ඛනිජ තෙල් මිල දී ගන්න රටවල් බහුතරයක් මුස්ලිම් රටවල් වේ. එම රටවල් අපට ඛනිජ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් අන්තවාදී හා අන්තවාදී නොවන මුස්ලිම් ආගමික කටයුතු ප්‍රවර්ධනය සඳහා යොදවන බව අත දරුවෙකු වුවද දන්නා කරුණකි. ඒ අනුව හලාල් වර්ජනය කරනා පදනමෙන් මුස්ලිම් විරෝධීන්ට බොරතෙල් ආශ්‍රිත සියලු නිෂ්පාදන අකැපය. එබැවින් දර ලිපෙන් පිසූ ආහාර ගෙන, ගොන් කරත්තව වලින් ගමනා ගමන පහසුකම් සපයා ගන්න මුස්ලිම් විරෝධීන් අපට නුදුරු අනාගතයේදීම දැක ගන්නට හැකි වෙනු නොඅනුමානය.

-ප්‍රගාමී ව්‍යාපාරය

Thursday, February 21, 2013

මාක්ස්වාදයට ආධුනිකයන් සඳහා "ප්‍රාග්ධනය"(5) - හුවමාරු වටිනාකම

වටිනාකම පවතින්නේ සහ විද්‍යාමාන වන්නේ හුවමරුවේදී පමණක් නම්, හුවමාරුව යන්නෙහි අර්ථය ග්‍රහණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.නැවතත් ඇරිස්ටෝටල් මහෝපකාරී මර්ගෝපදේශකයෙකි.

“ඇඳන් 5කට නිවසක් හුවමාරු කිරීම සලකමු. මෙම නිෂ්පාදන සමාන වර්ගයේ නොවේ.ඒවාට වෙනස් ලක්ෂණ මෙන්ම වෙනස් භාවිතයන් ඇත.එසේනම් ඒවා සමාන ලෙස හුවමාරු කරන්නේ කෙසේද?ඒවා සැබෑවටම සමානද?හුවමාරුව විසින් ඒවා සමාන ලෙස හඟවනු ලැබුවත් ඒවා සැබවට සමාන නොවේ.එම සමාන ලෙස විද්‍යමානවීම සාවද්‍යය.මිනිස්සු සරලව අසමාන දේ හුවමාරුවට තීරණය කරති.”

කෙසේ වුවත් අවසානයේ ඇරිස්ටොටල්, පාරිභෝගික භාණ්ඩ අතර සැබෑ සමානකමක් නොපැවතිය හැකි බවට තීරණය කරනූ ලැබූවේය. කිසිදු වස්තු යුගලක් සමාන නොවන බවට ඔහු තර්ක කළේය. නිගමනය දෝෂ සහිත වුවත් අඩුම තරමේ ඔහු හුවමාරුවෙහි සමානකම පිලිබඳ ප්‍රශ්නාර්ථයක එල්බ සිටියේය. මෙය, හුවමාරුව සමානකමෙහි නෛසර්ගික මූලධර්මයක් නිරූපණය කිරීමට ඇති ඉඩකඩ සලකාබැලීම පවා ප්‍රතික්ෂේප කළ සමකාලීන ආර්ථික විශේෂඥයන් අතරින් ඇරිස්ටෝටල් ඔසවා තබනු ලැබූවේය.

මිලෙහි පදනම වෙනත් දෙයක් බව, ඉල්ලුම හා සැපයුම අතර සමබරතාවය විසින් පෙන්නුම් කරන විට එය(හුවමාරුව) හුදෙක් පාරිභෝගික භාණ්ඩයේ මිලම පමණක් නොවන බවක් පෙනේ. වස්තූන් දෙකක් සමාන නොවේ යන ඇරිස්ටොටල්ගේ මතය අප පිලිගන්නේ නම් - එය එසේ වුවහොත් අපි කුමකට ඒවා හුවමාරු කරන්නේද? ගැටළුවකි. ලාක්ෂණිකව වෙනස්, භෞතිකව වෙනස් මෙම ද්‍රව්‍ය පිහිටුවාගත් අනුපාතයක් යටතේ හුවමාරු කරන්නේ කෙසේද?

උදාහරණයක් ලෙස දඩයක්කරුවන් දෙදෙනෙක් සතු මුවෙක් හා බීවරයෙක් සලකමු. මුවෙක් ඇල්ලීමට දවසක්ද, බීවරයෙකු ඇල්ලීමට දවස් 7ක්ද ගත වේ යැයි සලකන්න. දඩයක්කරුවන් දෙදෙන තම තම දඩයමෙහි සමසේ දක්ෂයෝ නම්, බීවරයෙකු මුවෙකුට සමාන කිරීම අසාධාරණ ලෙස පෙනේ. දින හතක කම්කරු ශ්‍රමයක නිෂ්පාදනයක් දිනයක නිෂ්පාදනයකට වෙළඳාම් කරන්නේ කෙසේද?

මෙවැනි හුවමාරුවක් කළ හැකිය. කුමකින් එය වළක්වාලයිද? නොදැනුවත්කම හෝ අභිමතය පරිදි නිෂ්පාදකයෙකුට මෙවැන්නක් කළහැකිය. නමුත් කාරණය වෙනස් වන්නේ විධිමත් පාරිභෝගික භාණ්ඩ හුවමාරුව, එනම් ධනවාදයේදීය. මෙහිදී භාණ්ඩ හුවමාරුව යාමනය කරනූ ලබන්නේ කම්කරු ශ්‍රමය යෙදෙන කාලය විසිනි. පාරිභෝගික භාණ්ඩ සම්පූර්ණයෙන් වෙනස් විය හැකිය. එහෙත් ඒවායේ සමානත්වයක් පවතී: එය නිපදවීමෙහි හෝ හිමිකර ගැනීමෙහි ලා මානව පරිශ්‍රමයක් අවශ්ය වී ඇත. හුවමාරුවේ පදනම මෙහිදී සැපයේ. මේ පදනම මත මුවන් හත් දෙනෙක්. එක් බීවරයෙකුට සමාන වේ. එනම් ඒ එක එකක් සමාන කම්කරු ශ්‍රම ධාරිතාවක් දරයි. මෙය ප්‍රශ්නයක් පැන නංවයි.: නිෂ්පාදනය කම්කරු ශ්‍රමය නිරූපණය කරයි යැයි කීමේ තේරුම කුමක්ද?

තේරුම මෙයයි: නිෂ්පාදනයට බොහෝ කම්කරු ශ්‍රමය වැයවේ. නිෂ්පාදනයේදී පෙර පැවති ද්‍රව්‍යමය වස්තු වෙනස් වේ. වස්තුවේ ස්වභාවය ඒ මත යෙදෙන කම්කරු ශ්‍රමය මත වෙනස් වේ. මේ අනුව කම්කරුවා මෙයට මුළුමනින් බලපා ඇත. එය ද්‍රව්‍යමය දෙයක් නිරූපණය කරයි.

වැඩය ආරම්භ වීමට මත්තෙන් වස්තුවකට ස්වභාවයෙන් ලැබුණු තත්වයක් ඇත. කම්කරු ශ්‍රමය එයට ඇතුලත් කර එම තත්වය වෙනස් කරයි.මේ අයුරින් කම්කරු ශ්‍රමය මෙහෙයවිම බලාපොරොත්තුවේ. එය වස්තුව තුළට ගමන් කරයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

Monday, January 14, 2013

දෝෂාභියෝගය මාක්ස්වාදී අර්ථයෙන්.

අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ නියෝගයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ අත්සන් තබන ලද බව මාධ්‍ය මගින් කියැවුනි. එක් පන්තියක් අභිබවා වෙනත් පන්තියක පාලනය පවත්වා ගැනීම පිණිස වන යන්ත්‍රයක් වන රාජ්‍ය තුල, එය නියෝජනය කරන්නා වූ පාර්ශවයන් දෙකක් අතරම ප්‍රතිවිරෝධීතාවයක් ඇති වීම අප විසින් මාක්ස්වාදී අර්ථයෙන් විග්‍රහ කරගත යුත්තේ කෙසේද?

මහින්ද රාජපක්ෂ ප්‍රමුක රජයත් ශිරානි බණ්ඩාරනායකත්, පීඩිතයන් මර්ධනය කරන, පීඩකයන්ගේ දේපොළ ආරක්ෂා කරන ඒ හරහා සූරා කෑම සහතික කරන රාජ්‍ය නියෝජනය කරයි. නමුත් අද වන විට එකම ක්‍රියාදාමයක ආකාර දෙකකින් යෙදී සිටි එම දෙපාර්ශවයේ සබඳතාව අර්බුධයට ගොස් ඇත.

 මහින්ද රාජපක්ෂ ප්‍රමුක වර්තමාන රජය ධනපති රජයකි. එබැවින් එම ආණ්ඩුවේ සිටින ජනාධිපතිවරයාගේ සිට නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා එක්කෝ ධනපතියන් නැත්නම් ධනපතියන්ගේ ඍජු නියෝජිතයන්ය. ශිරාණි බණ්ඩාරනායකද ධනපති අවශ්‍යතාව උදෙසා කටයුතු කරන ධනපති නියෝජිතයෙක් වුවද ධනපති පන්තිය ඍජුවම නියෝජනය කරන්නේ විධයකය ප්‍රමුඛ ව්‍යවස්ථාදායකයි. එබැවින් තීරණ ගැනීමේදී ප්‍රමුඛතාව හිමි වන්නේ ඔවුනටයි.

දෝෂාභියෝගයට නිමිත්ත හටගන්නේ එම ප්‍රමුඛතාව ශිරානී බණ්ඩාරනායක උල්ලංගනය කිරීමත් සමගය.

එම නිසා අප විසින් මෙම දෝෂාභියෝගය මූලිකවම හදුනාගත යුත්තේ රජය යනු ධනපති පන්තියේ වුවමනාවන් වෙනුවෙන් ඇති යන්ත්‍රයකි යන්නට නිදසුනක් ලෙසය.

නමුත් මේ හරහා පරමාදර්ශී සමාජයක් ගොඩනැගීම යන කාරණයට බලපෑමක් වේයැයි යමෙකු පැවසුවහොත්  එහි සත්‍ය තාවයක් නැත්තේම නොවේ. ඒ, මේ තුල පරමාදර්ශී සමාජයක් බිහිකිරීමට බීජ පැල කල හැකි සරු පසක් වන ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට වන හානිය නිසාය.

-ප්‍රගාමී ව්‍යාපාරය

මාක්ස්වාදයට ආධුනිකයන් සඳහා "ප්‍රාග්ධනය"(4) - අධි නිෂ්පාදනය (over production)



තවද හුවමාරු වටිනාකම විසින් භාවිත වටිනාකම ගිලදමනු ලබන තවත් ප්‍රකට උදාහරණයකිඅධි නිෂ්පාදනය. කලින් කලට ව්‍යාපාරයෙහිදී පාරිභෝගික භාණ්ඩ වල අතිරික්තය(excess) ලෙස සැලකෙන දෙය නිෂ්පාදනයෙහි ප්‍රතිපලයක් ලෙස ඇති වේ. එහි ප්‍රතිපලය නම් මිල හා ලාභය පහත වැටීමයි - ධනපතීන්ගේ මාරක කෝපයට හේතුව මෙය වේ. වෙළඳපොළ මෙයඅධිකත්වයට පත්වන ලද(glutted)” ලෙස හඳුන්වයි. තත්ත්වය ආපසු හැරවීමට ව්‍යාපාරය හිතාමතාම, මහත් උද්දාමයෙන් තම නිෂ්පාදනයෙහි කොටසක් විනාශ කර දමයි. මන්ද, සරලවම මිල හා ලාභය ඉහළ නංවාගැනීමටයි.  මෙහිදී මිනිසුන්ගේ නිවාස, වෛද්‍යය හා ආහාර පහසුකම් වල හිඟය කිසි ලෙසකින්වත් නොසැලකේ. ව්‍යාපාරයෙහි ලාභය නැමති පදනම මතම පිහිටා ගත් කළ වෙළඳපොල අධිකත්වය(glut) යනු ව්‍යසනයකි. එයින් මිදිය යුතුය. කිසිම ලෙසකින් හෝ ජනතාව අතර නොමිලයේ බෙදා දීමකින් නොව, විනාශ කර දැමීමෙනි.

1930 දී ඇතිවූ මහා වෙළඳ පරිහානියේදී (http://en.wikipedia.org/wiki/Great_Depression බලන්න - පරිවර්තක) සිදුවූයේද මෙයයි. ඌරන්ගේ සහ කිරිවල නිෂ්පාදන අතිරික්තය මිල පහත වැටීමට හේතු වෙමින්, කෘෂි ව්‍යාපාරයට මහත් බරක් විය. ප්‍රතිපලය ලෙස, බෙහෝ දෙනා නිරාහරව සිටිද්දී, ලාභය සුරක්ෂිත කර ගැනීම උදෙසා, මහපරිමාණයෙන් ඌරන් මරාදැමුණි, කිරි විනාශ කර දැමුණි. ලාභය ඉහළ නැංවීමට සැපයුම් පහත දැමේ. ස්වභාවයෙන්ම නිෂ්පාදන කප්පාදු කෙරේ.

උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ මුළු නිෂ්පාදන ධාරිතාවයෙන් යන්තමින් භාවිතයට ගැනෙන්නේ 70%ක් පමණී. බොහොමයක් නිෂ්පාදන උපකරණ, මිලියන ගණනින් රැකියා විරහිත ශ්‍රමිකයන් නිකන්ම සිටී. අපට පෙනී යන පරිදි නිෂ්පාදන සහමුලින්ම හුවමාරු හැකියාවට පවරාදීමට ධනවාදයට අවශ්‍යය. ව්‍යාපාරය  ස්ථාපනය කරන්නේ අධිමිලකි. එය වස්තුව කුමක්ද යන්න මත නොවන අතර වටිනාකම කුමක්ද යන්න මතය

-ප්‍රගාමී ව්‍යාපාරය