Monday, December 31, 2012

වෛද්‍ය ගුරු වැඩවර්ජන සහ සදාචාරය.

වර්තමාන ලාංකික සමාජය ඇතුලෙ අනෙක් වෘත්තිකයන් වැඩවර්ජන කරද්දීට  වැඩිය, වෛද්‍යවරුන් සහ ගුරුවරුන්(විශ්වවිද්‍යාල ගුරුවරුත් ඇතුළුව ) වැඩවර්ජනය කරනකොට, වෘත්තීය ගරුත්වය යන කරුණ මත පදනම්ව  එම ක්‍රියාකාරීත්වයේ  තියෙන සදාචාරාත්මකබව ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා. නමුත් එම ප්‍රශ්න කිරීම තේරුමක් නැති දෙයක්. මොකද ධනවාදී සමාජය ඇතුලෙ ඒ හැමෝම වැටුප් ශ්‍රමිකයන් පමණක් හින්ද..

"මෙතෙක් ගරුත්වයට භාජනය වූ ගෞරව පූර්වක විස්මයකින් යුතුව සැලකු හැම වෘත්තියකම තිබු ප්‍රභා මණ්ඩලය ධනපති පන්තිය විසින් ඉවත් කෙරිණි. එය  වෛද්‍යවරයා, නීතිවේදියා, පූජකයා, කවියා, විද්‍යා කටයුතු වල නිරත වන්නා ආදී හැම කෙනෙක්ම වැටුප් ලබන ශ්‍රමිකයන් බවට පත් කළේය"
                                           (Manifesto of the Communist Party-Karl Marx,Frederick Engels)

-ප්‍රගාමී ව්‍යාපාරය 

Wednesday, December 26, 2012

මාක්ස්වාදයට ආධුනිකයන් සඳහා "ප්‍රාග්ධනය"(2) - භාවිතය සඳහා වන නිෂ්පාදන


ධනවාදය ආරම්භවීමට ප්‍රථම(15 වන සියවසේදී යුරෝපයේ), ඉන් පසුව පවා(ඇත්ත වශයෙන්ම මෑතක් වනතුරුම) ලෝකයේ බොහොමයක් කොටස්වල නිෂ්පාදන, භාවිතය සඳහා වන නිෂ්පාදන විය. ඇඳුම් සෑදුවේ අඳින්නට මිස විකිණීමට නොවේ. චොක්ලට් සෑදුවේ කන්නට මිස හුවමාරුවට නොවේ. ධනවාදය සිදුකළ නැග්ම නිසා පමණක්ම, හුවමරුව සඳහා වන භාණ්ඩ සිය ආධිපත්‍ය පතුරවා ගත්තේය.

ඇරිස්ටෝටල් විසූ ක්‍රි. පූ. 220 පමණ කාලයේ වානිජය (commerce) උද්යෝගී එහෙත් සමස්ථ ආර්ථික(overall economic) ජීවිතයෙහි සුළුතර කොටසක් විය. Economics යනු ඇරිස්ටෝටල් භාවිතය සඳහා වන නිෂ්පාදන සඳහා යෙදූ නමයි. ඇරිස්ටෝටල් විසින් හුවමාරුව සඳහා වන නිෂ්පාදන නම් කරනු ලැබුවේ Chrematistic (ක්‍රිමැටිස්ටික්ස්) යන නමිනි.

ඊජිප්තු, ග්‍රීක, රෝම ආදී වහල් යුග පැවති කාල වකවානු වලද මෙම තත්වය සත්‍යක් විය. වහල්ලු අන්‍යයන්ගේ ප්‍රයොජනය සඳහා භාණ්ඩ නිපදවූවද ඔවුන්ගේ ස්වාමි පක්ෂය කලාතුරකින් හුවමාරුව සඳහා භණ්ඩ නිපදවූහ. යුරෝපීය ප්‍රවේණිදාසයෝ, චීන ගොවීන්, ඉන්දියානු පිතෲ මූලික පවුල් හෝ වෙනත් පූර්ව ධනවාදී සමාජයක වැඩකරන ජනතාව වෙළඳ භාණ්ඩ ස්වරූපයෙන් නිපදවීමක් නොකළහ.

පූර්ව ධනවාදී නිෂ්පාදනයක ඉලක්කය හා ප්‍රතිපලය වුයේ භාවිත වටිනාකම මිස හුවමාරු වටිනාකම නොවේ. සැබැවින්ම අලෙවිය සඳහා නිෂ්පාදනය සහ ලාභය සලකනු ලැබුවේ ලෝභය, මාන්නය, කෑදරකම සහ අහංකාරය විසින් මෙහෙයවන ලද අධාර්මික, දුෂ්ඨ ජීවන ක්‍රමයක් ලෙසය.හුවමාරු හැකියාව කම්කරු නිෂ්පාදන විෂයෙහි ස්ථාපනය කළ අංගයක් බවට පත් වූයේ ධනවාදී සමාජයේ පමණකි. නිෂ්පාදනයක් විසින් මෙලෙස වටිනාකම සහ හාවිත වටිනාකම ලෙස දෙබිඩි ජීවිතයක් පවත්වාගෙන යන්නේද මෙම ධනවාදී සමාජයේ පමණකි.

-ප්‍රගාමී ව්‍යාපාරය

Sunday, December 23, 2012

ධනපති රජය ගැන සත්‍ය සිදුවීමකින් පාඩමක්...

ධනපති රජය සම්බන්ධයෙන් අගන පාඩමක් ඉගෙන ගත හැකි සිද්ධියක් පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. ඒ සිද්ධිය පහත පරිදිය.

පසුගියදා, මුදල් අමාත්‍යංශය විසින් වාර්ෂිකව බදු නිදහස් කිරීම යටතේ වාහන ගෙන්වීම සඳහා නිකුත් කරන බලපත්‍රය මගින් ගෙන්වන වාහන, එම බලපත්‍රය නිකුත් කල දින සිට වසර තුනක් යන තෙක් වෙනත් පාර්ශවයකට  පැවරීම හෝ විකිණීමට නොහැකි වනසේ පනවා තිබු නීතිය රජය විසින් ඉවත් කරන ලදී. මාධ්‍ය විසින් හෙළිකරන අන්දමට මීට හේතුව වී ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාට අයත් LB Finance ආයතනය එම බලපත්‍රය යටතේ වාහන ගත් අයට ලීසිං පසුකම් සපයා එම ලීසිං වාරික නොගෙවූ වාහන අත්පත් කර ගත පසු ඒවා වෙනත් පර්ශවයකට පැවරිය නොහැකි වීම හේතුවෙන් LB Finance ආයතනයට  ලක්ෂ 700 ක පමණ පාඩුවක් සිදුවීමට නියමිතව තිබූ නිසයි.

කෙසේ වෙතත් මෙහිදී අපට වැදගත් වන කරුණ වන්නේ ව්‍යාපාරිකයෙකුගේ වුවමනාවට රජය විසින් නීතියක් වෙනස් කිරීම යන්නයි. මෙහිදී රජය සම්පූර්ණයෙන්ම ක්‍රියා කර ඇත්තේ ධම්මික පෙරේරා යන ධනපතියාගේ වුවමනාවන් ඉටු කරදීම වෙනුවෙන්ය. මෙමගින් අප ඉගෙන ගත යුතු පාඩම වන්නේ ධනපති රජය යනු ධනපති පන්තියේ වුවමනාවන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නකි යන්නයි.

"...සමකාලීන රාජ්‍ය බලය, අන් කිසිවක් නොව මුළු මහත් ධනපති පන්තියේම පොදු කටයුතු මෙහෙයවන කාරක මණ්ඩලයක් පමණකි"
                                          (Manifesto of the Communist Party-Karl Marx,Frederick Engels)

ධම්මික පෙරේරා සිද්ධිය සම්බන්ධ ගොසිප් 9 වාර්තාව:- 

 http://www.gossip9.com/2012/12/blog-post_6877.html#more 

-ප්‍රගාමී ව්‍යාපාරය 
                                       

Saturday, December 22, 2012

කප්පම් දී ආගමට නැඹුරු කිරීමේ රහස..


පසු ගිය දිනක පළවූ පුවතකින් කියැවුණේ දහම් පාසල් ධර්මාචාර්ය විභාගයේ සහතිකයට, රජයේ රැකියාවක් සඳහා පවත්වන සම්මුඛ පරීක්ෂණ වලදී ලකුණු පහක් වත් අවම වශයෙන් පිරිනැමෙන වැඩපිළිවෙලක් රජය විසින් සකස් කරමින් පවතින බවයි. මේ ආකාරයට කප්පම් ප්‍රධානය කරමින් ජනතාව ආගමට නැඹුරු කරවීමට,සමාජය කෙරෙහි ආගමෙහි ආධිපත්‍ය වැඩි කිරීමට, රජය උත්සහ ගන්නේ ඇයි?

අප මීට ඉහතදීත් කිහිප වතාවක්ම සඳහන් කල පරිදි සතුරු පන්ති සහිත සමාජයක රජය දේශපාලන අවියකි. ආර්ථික ආධිපත්‍ය උසුලන, එනම් නිෂ්පාදන මාධ්‍යයන් අයත් කරගෙන සිටින පංතිය පීඩිතයන් හා සූරාකනු ලබන්නන් යටත් කර තබා ගැනීම සඳහා  යොදා ගන්නා බල සම්පන්න අවියකි.

"එක් පංතියක පාලන බලයට තවත් පන්තියක් යට කර තබා ගැනීම සඳහා වූ යන්ත්‍රයකි." ලෙනින් රජය ගැන ලියුවේ එසේය. එය (රජය) පුද්ගලික දේපල අයිතිය අහෝසි කොට පරමාදර්ශී සමාජයක් ඇතිවීම වලක්වයි. ආගම ඒ සදහා ප්‍රයෝජනයට ගත හැකි දෙයකි.

"උඩු ව්‍යුහයේ මූලිකාංගයක් වන ආගම පන්ති ප්‍රතිවිරෝධතා සහිත සමාජයේදී එය රඳා පවතින ආර්ථික පදනම ශක්තිමත් කිරීමටත් සූරා කන ක්‍රමය තහවුරු කිරීමටත් කටයුතු කරයි. සූරාකන්නන්ට කොන්දේසි විරහිතව යටත් වන ලෙසත් ඉරණම ඉදිරියේ හිස නමන ලෙසත් දුෂ්ටත්වයට හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධව නොනැගිටින ලෙසත් දේශනා කරන ආගම එයින් පොදු ජනතාවගේ විප්ලවීය ධෛර්යය සිඳ දමා ඔවුන් හැම දෙයක්ම දේව කැමැත්ත අනුව සිදු වෙන තෙක් බල සිටින අහිංසකයන් බවට පත් කරයි. ස්වර්ග රාජ්‍ය හා මරණින් මතු ලැබෙන ප්‍රීතිමත් ජීවිතය පිලිබඳ කතා මගින් වැඩ කරන ජනතාවගේ සිත් යථාර්ථයේ දැවෙන ප්‍රශ්නවලින්ද, සූරා කෑමට විරුද්ධව හා සාධාරණත්වය සඳහාත්, සැබෑ මානවවාදී සමාජයක් සඳහාත් ගෙන යන විප්ලවවාදී අරගලයෙන්ද ඉවතට යොමු කිරීම ආගම විසින් කරනු ලැබේ."
                                                                           (ඓතිහාසීය භෞතිකවාදය-වී.ජී අපනාසියෙව් )

එම නිසා සමාජය කෙරෙහි ආගමෙහි ආධිපත්‍ය වැඩි කිරීමට රජය ක්‍රියා කරයි. රජය විසින් කප්පම් දී ආගමට නැඹුරු කිරීමේ රහස මෙයයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

Thursday, December 20, 2012

මාක්ස්වාදයට ආධුනිකයන් සඳහා "ප්‍රාග්ධනය"(1)- වෙළඳ භාණ්ඩ



මිනිස්සු වෙළඳ භාණ්ඩ සාදති, විකුණති, මිලදී ගනිති. මේ සියළු කළබල එනිසාය. හැමදාම, හැම පැත්තකින්ම අපි වෙළඳ භාණ්ඩ සංචිතයක් සමඟ ගැටෙමු. විකිණීමට සූදානමින්, අපගේ පොකට්ටුවේ මුදල් වියදම් කරවීමට බලාසිටින, සුපුරුදු සලකුණූ සහිත අශෝභන සුදු පැහැ ලේබල සහිත මෙම සියළු ලෞකික දේ, වෙළඳ භාණ්ඩ නම් වේ.
මිල නළලේ කොටාගෙන, රුපියල් සත වලින් කතා කරන මෙම වෙළඳ භාණ්ඩ දිස්වන්නේ මේ අයුරිනි - මිල සටහන් ඇමිණුම(price tag) වෙළඳ භාණ්ඩක නිල ලාංඡනයයි. මෙම වෙළඳ භාණ්ඩ සංචිතය; මිල සටහන් ඇමිණුම සහිත වස්තු සමූහය “ධනවාදී සමාජයේ වත්පොහොසත්කම” ලෙස අප නම් කර ගෙන සිටින්නෙමු.
වෙළඳ භාණ්ඩය විකාරරූපී දෙයක්(oddity) ලෙස(මෙහි විකාරරූපි යනු තේරුම්ගත් නොහැකි, අමුතු යන්නයි)
දෙබිඩි ජීවිතයක් පවත්වාගෙන යන නිසා වෙළඳ භාණ්ඩය විකාරරූපී දෙයකි. එය කම්කරුවෙකු විසින් හුදු ප්‍රයෝජනය තකා නිමවන්නක් පමණක් නොව හුවමාරුව තකාද නිමවන්නකි. විකිණීම සඳහා යම් නිෂ්පාදනයක් ස්වභාවයෙන් විද්‍යාමාන නොවන යම් ගුණාංගයක් අත්පත් කරගනී. එය නමින් හුවමාරු හැකියාව(exchangeability) වේ. වෙළඳ භාණ්ඩයක් වශයෙන් එය ප්‍රයෝජනවත් පමණක් නොව හුවමාරු කළ හැකිද වියයුතුය. උදාහරණ ලෙස, ලෝම අපව සීතලෙන් ආරක්ෂාකරන අතර මුදල් ද අද්දවා ගනී. කුළුබඩු අපේ ආහාර රසගන්වන අතර මුදලකටද අලෙවි වේ. වෙළඳ භාණ්ඩය සතු අනන්‍ය ලක්ෂණය මෙයයි. එයට මාන දෙකකි; ඒවා නම්, එය කුමක්ද? සහ එහි වටිනාකම කුමක්ද? යන්නයි. වෙළඳ භාණ්ඩක් යනු හුදු වස්තුවක් පමණක් නොවන, මිලක් සහිත වස්තුවකි. පුරාණ ආර්ථික විශේෂඥයින්ගේ බසින් කියතොත්, “වෙළඳ භාණ්ඩය යනු භාවිත වටිනාකම(use value) සහ වටිනාකම(value) යන ද්විත්වයම වේ”.
වටිනාකම යන්න අවබෝධ කර ගැනීමට ප්‍රථම වටිනාකම හා භාවිත වටිනාකම අතර ඇති සම්බන්ධය වටහා ගත යුතුය. එකව ගත් කල මෙම කාරණා ද්විත්වය වෙළඳ භාණ්ඩයක නිවුන් පාර්ශව දෙක වේ - එහි දෙබිඩි ජීවිතයේ ප්‍රතිවිරුද්ධ ධ්‍රැව දෙක වේ.
භාවිත වටිනාකම යනු අපෙන් පරිබාහිරව පවතින, අපි අවශ්‍ය ලෙස, ප්‍රයෝජනවත් ලෙස, නෙත්කළු ලෙස දකින, ඕනෑම දෙයකි. එහි ගතිලක්ෂණයන්ගෙන් ප්‍රයෝජනවත් දෙය අපගේ යම් යම් අවශ්‍යතා සහ ආශාවන් සපුරාලයි.
සැබැවින් මෙහි කිසිඳු අද්භූත බවක් නැත. ප්‍රයෝජනවත් නිශ්පාදනයක් ලෙස, වෙළඳ භාණ්ඩයක් විකාරරූපි දෙයක් නොවේ. නමුත් වෙළඳ භාණ්ඩයක් යනු සරල භාවිත වටිනාකමකට බෙහෙවින් එහා ගිය දෙයකි. භාවිත වටිනාකමක් ලෙස ප්‍රයෝජනවත් රෝස මල සමාජීය වශයෙන් වෙළඳ භාණ්ඩයක් ලෙස ප්‍රයෝජනවත්ය(exchangeable). සුගන්ධවත් සහ අලංකෘත රෝස මල මුදලකට අලෙවි කළ හැකිය. චොකලට් අහුරකට හුවමාරු කළ හැකිය. කොටින්ම කියතොත් “වෙළඳ භාණ්ඩය භාවිතයටත් හුවමාරුවටත් යන දෙකටම වටින්නේය”.
-ප්‍රගාමී ව්‍යාපාරය 

මාක්ස්වාදයට ආධුනිකයන් සඳහා "ප්‍රාග්ධනය"-හැඳින්වීම


වර්තමාන සමාජ ක්‍රමය වෙනස් කර පරමාදර්ශී සමාජයක් ගොඩ නැගිය යුතුයැයි ප්‍රගාමී ව්‍යාපාරය වශයෙන් අපි විශ්වාස කරමු. වර්තමාන සමාජ ක්‍රමය වෙනස් කොට පරමාදර්ශී සමාජයක් ගොඩ නැගීමේදී එය ගොඩ නගන ගාමක බලවේග වලට සිය අවසාන අරමුණ සම්බන්ධව පැහැදිලි වැටහීමක්, සිය පන්ති සතුරන්ට විරුද්ධව සටන් කිරීමේ නියම සහ ප්‍රථිපල දායක සටන් මාර්ගයක්, සමාජ සංවර්ධනයේ නියමයන් ගැන දැනගැනීමක්, අවශ්‍යය.

 මෙම සියලු අවශ්‍යතාවන් සදහා විද්‍යාත්මක න්‍යායක අවශ්‍යයතාව මතුවේ. එම න්‍යායික අවශ්‍යතාව මාක්ස්වාදය විසින් සපුරනු ලැබේ.

නමුත් ලංකාව තුල ඇති ප්‍රධාන අර්බුධයක් වන්නේ සිංහල බසින් මාක්ස්වාදයේ න්‍යායික කරුණු අධ්‍යනය කරන අයෙකුට ඊට අවශ්‍ය මූලාශ්‍ර සිංහල බසින් සොයා ගැනීමේ ඇති දුෂ්කරතාවයි. එම අර්බුධය හදුනාගත් ප්‍රගාමී ව්‍යාපාරයේ තාවකාලික මධ්‍යම කාරක සභාව ඊට විසදුමක් ලෙස මාක්ස්වාදයේ න්‍යායික කරුණු අඩංගු ඉංග්‍රීසි බසින් පළවුණු ලේඛන සිංහල බසට හැකි තරමක් පරිවර්තනය කලයුතුයි තීරණයකට එලබුනි.

එහි ප්‍රතිපලයක් ලෙසට ඩේවිඩ් ස්මිත් සහ පිල් ඊවන්ස් විසින් රච්ත Marx's Kapital for Beginners කෘතිය මෙසේ "මාක්ස්වාදයට ආධුනිකයන් සඳහා ප්‍රාග්ධනය" යන නමින් ඔබ අතට පත් වේ. මෙම කෘතිය ලාංකීය වාමාංශික ව්‍යාපාරය ශක්තිමත් කර පරමාදර්ශී සමාජයක් ගොඩනැගීමට තල්ලුවක් සපයනු ඇති අපි විශ්වාස කරමු.

ප්‍රගීත් අරවින්ද
ප්‍රගාමී ව්‍යාපාරය 
අධ්‍යාපන  අංශය වෙනුවෙන් 

Tuesday, December 18, 2012

වාදය,ප්‍රතිවාදය සහ සහවාදය අපෙන් ඉගෙන ගන්න...

සමාජ සංවර්ධනයේ දයලෙක්තික ස්භාවය සම්බන්ධයෙන් විවේචනයක් පසුගිය දිනෙක නලීන්වාදියෙකු වන කැළුම් සංජීව අභයවික්‍රම විසින් ඉදිරිපත් කර තිබුණි. ඔහුගේ එම විවේචනය තුල ආරම්භයේදීම ඔහු පොට වරද්දා ගෙන තිබෙනු අපි නිරීක්ෂණය කළෙමු. ඔහු පොට වරද්දා ගෙන තිබුනේ ධනපති ක්‍රමයේ වාදය, ප්‍රතිවාදය හදුනා ගැනීමේදීය. එබැවින් අප ඔහුට ධනපති ක්‍රමයේදී  සමාජ සංවර්ධනය සිදුවීම සඳහා  තීරක කාරභාරය ඉටු කරන වාදය, ප්‍රතිවාදය සහ ඒවා අතර අරගලයෙන් පැන නගින සහවාදය ගැන ඔහුට ඉගැන්වීමට අපි  තීරණය කළෙමු.

කැළුම් සංජීව අභයවික්‍රමට අනුව ධනපති ක්‍රමයේ වාදය සහ ප්‍රතිවාදය වන්නේ ධනපති පන්තිය සහ කම්කරු පන්තියයි. එය එසේ නොවේ. ධනපති ක්‍රමයේ වාදය වන්නේ ධනපති නිෂ්පාදන සබඳකම්ය. ප්‍රතිවාදය වන්නේ ධනපති නිෂ්පාදන සබඳකම් වලට නොගැලපෙන දියුණු නිෂ්පාදන බලවේගයන්ය මේ දෙක අතර ඇති ප්‍රතිවිරෝධය හේතුවෙන් ඇතිවන අරගලයෙන් සහවාදය ලෙස සමාජවාදී නිෂ්පාදන සබඳතා බිහිවෙයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

ඔබත් නිර්ධන පාංතිකයෙක්ද? මෙය කියවා තීරණය කරන්න..

"යම් කිසි ප්‍රග්ධනයකින් ලබන ලාබයකින් නොව තම ශ්‍රමය මගින් පමණක් ජීවත් වීමේ මාධ්‍යයන් ලබා ගන්නා සමාජයික පන්තිය නිර්ධන පන්තිය ලෙස හැදින්වේ."
                                                                      (The Principles of Communism-Frederick Engels)

"මෙම පන්තිය(නිර්ධන පන්තිය) තමන්ට වැඩ සොයා ගත හැකි තාක් පවතී. එයට වැඩ ලැබෙන්නේ ද සිය ශ්‍රමයෙන් ප්‍රාග්ධනය වැඩිකරන තාක් පමණි. තමන් එක එකා වශයෙන් වෙන් වෙන්ව විකුණා ගත යුතු මේ කම්කරුවෝ වෙළදාමට තබා ඇති අන් හැම භාණ්ඩයක්ම මෙන්ම වෙළද භාණ්ඩයක් වන්නාහ. මෙහි විපාකයක් වශයෙන් ඔවුහූ තරගයේ සියලු ජය පරාජයන්ටද, සියලු උච්චාවචනයන්ටද ගොදුරු වෙති"
                                                (Manifesto of the Communist Party-Karl Marx,Frederick Engels)

-ප්‍රගාමී ව්‍යාපාරය

Monday, December 17, 2012

සියලු ජාතිවාදයන් පරදමු!


ප්‍රතිගාමී මුස්ලිම් විරෝධයට එරහිව "මුස්ලිම් විරෝධීනි, ඔබ සිදු කරන්නේ රාජපක්ෂගේ ෆැසිස්ට්වාදයට මුක්කු ගැසීමකි" යන හිසින් අප විසින් පල කරන ලද ලිපිය මුල් කරගෙන සංවාදයක් සිදු කෙරෙමින් පවතින පසුබිමක සංවාදයට අදාළ වන පරිදි, මුස්ලිම් විරෝධීන් විසින් ඇතිව තිබේයැයි ප්‍රකාශ කරන මුස්ලිම් විරෝධීන්ගේ ආගමට, ජාතිකත්වයට අතවර සිදුවීම යන ගැටලුවට විසදුම් ලෙස කල යුත්තේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට ප්‍රමුඛත්වයක් දෙමින්, නැවත වරක් අපේ අදහස පුළුල්ව පැහැදිලි කිරීමට අපි තීරණය කළෙමු.

දැඩි මුස්ලිම් විරෝධියෙකු වන ශෂික සාරංග අතුකෝරල සහ  ඔහුගේ අනෙකුත් මුස්ලිම් විරෝධී සගයන් ඇතුළු සමස්ත මුස්ලිම් විරෝධීන්  ප්‍රධාන වශයෙන් පොට වරද්දා ගෙන ඇත්තේ  ඔවුන්ගේ ආගමට, ජාතිකත්වයට අතවර සිදුවීම යන ගැටලුව විග්‍රහ කර ගැනීමේදී හා ඊට විසදුම් ඉදිරිපත් කිරීමේදීය. මුස්ලිම් විරෝධීන් විසින් ගැටලුව විග්‍රහ කිරීමේදී සිදු කර ඇති වරද වන්නේ එය සමස්ත මුස්ලිම් ජාතිකත්වයේ ක්‍රියාකාරිත්වයක් ලෙස අර්ථ නිරූපණය කරගැනීමයි. එම ක්‍රියාවන් මුස්ලිම් ජාතිකත්වය නියෝජනය කරන අන්තවාදීන්ගේ ක්‍රියාවක් ලෙස හදුනා නොගැනීමට අමතරව එවැනි ක්‍රියා මුස්ලිම් මෙන්ම වෙනත් ජාතිකත්වයන්  නියෝජනය කරන අන්තවාදීන් ගෙන් සිදුවී ඇති බව ගැන දැනුවත් නොවීම යන වරදද ගැටලුව විග්‍රහ කිරීමේදී සිදු කර ඇත. ගැටලුවට විසදුම් ඉදිරිපත් කිරීමේදී විසදුම ලෙස මුස්ලිම් විරෝධය ඉදිරිපත් කරමින් සිදු කර ඇත්තේද වරදක් වන්නේ එය ගැටලුවට විසදුමක් නොව ගැටලුව තිව්ර කරන්නට දෙන තල්ලුවක් බැවිනි.

මුස්ලිම් විරෝධීනට ඇතැයි ප්‍රකාශ කරන ගැටලුවට විසදුම ලෙස අප ඉදිරිපත් කරන්නේ "සියලු ජාතිවාදයන් පරදමු" යන සටන් පාඨය දිනවීමයි. මුස්ලිම් විරෝධීන්ට ඇතැයි පවසන ගැටලුවට ස්ථිරසාර සහ පළල් විසදුමක් එවිට ලැබේ. මහා ජාතියක් වුවද සුළු ජාතියක් වුවද ඕනෑම ජාතිකත්වයක අයිතිවාසිකම් ආරක්ෂා වීමක් එම සටන් පාඨය දිනවීම හරහා සිදුවේ. එවිට කිසිවෙකුටත් බහුතරය රැක ගැනීම සඳහා කඩිමුඩියේ ළමයින් සෑදීමට සිදුවන්නේද නැත.

-ප්‍රගාමී ව්‍යාපාරය        

Thursday, December 13, 2012

මුස්ලිම් විරෝධීනි, ඔබ සිදුකරන්නේ රාජපක්ෂගේ ෆැසිස්ට්වාදයට මුක්කු ගැසීමකි..



රාජපක්ෂ ආණ්ඩුවේ න්‍යායාචාර්යවරුන් වූ  නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර, පාඨලී චම්පික රණවක වැනි පිරිස් සහ ජවිපෙ වැනි  කණ්ඩායම් විසින් 2005 දී රාජපක්ෂ පාලනය ලංකාව තුල පලමුව ස්ථාපිත වන පසුබිමේදී, ලාංකික සමාජය තුල සමාජගත කර තිබූ මතයක් වන්නේ සිංහල ජාතිකත්වයේ පැවැත්ම අභියෝගයට ලක්ව ඇත යන්නයි. සමාජගත වූ එම මතවාදයේ ඇති අහියෝගකරන්නාගේ භූමිකාව එම මතවාදය වැළඳගත් පිරිස් විසින් පුරවාගත්තේ විවිධාකාර පාර්ශවයන්ගෙන්ය. ඒවා පහත පරිදි විය.

1.ඇතැමුන්ට අනුව අභියෝගකරන්නා ජාතිකත්වයක් (දෙමල ජාතිකත්වය) විය.

2.ඇතැමුන්ට අනුව අභියෝගකරන්නා ජාතිකත්වයක් තුල සිටින ජාතිවාදීන්(L.T.T.E සංවිධානය) විය.

3.ඇතැමුන්ට අනුව අභියෝගකරන්නා රටින් පරිභාහිර පිරිසකි.

4.ඇතැමුන්ට අනුව අභියෝගකරන්නා, රටින් පරිභාහිර සිටින අතර රට තුල සිටින ජාතිකත්වයක් උපයෝගීකරගෙන අභියෝග කිරීම් සිදුකරන්නෙක් විය.

5.ඇතැමුන්ට අනුව අභියෝගකරන්නා, රටින් පරිභාහිර සිටින අතර රට තුල සිටින ජාතිවාදී බලවේගයක්  උපයෝගීකරගෙන අභියෝග කිරීම් සිදුකරන්නෙක් විය.

සමාජගත කෙරුණු "සිංහල ජාතිකත්වයේ පැවැත්ම අභියෝගයට ලක්ව ඇත" යන මතය මගින් පැන නංවන අවශ්‍යතාවක් වන්නේ සිංහල ජාතිකත්වයේ පැවැත්මට අභියෝගකරන්නාගෙන් සිංහල ජාතිකත්වය ගලවගන්නා නායකත්වයක අවශ්‍යතාවයි.එම අවශ්‍යතාවය හා සමපාත වන අන්දමේ නායකත්වයකට එවකට තිබුනේ රාජපක්ෂ නායකත්වය වන අතර "සිංහල ජාතිකත්වයේ පැවැත්ම අභියෝගයට ලක්ව ඇත" යනුවෙන් මතයක් සමාජ ගත කල පිරිස් සහ කණ්ඩායම් ඊට විසදුම ලෙස ඉදිරිපත් කලේද රාජපක්ෂ පාලනයයි. මෙසේ ගොඩනැගුනු රාජපක්ෂ පාලනය ෆැසිස්ට්පාලනයක් ලෙස හැදින් විය හැක  මන්ද ෆැසිස්ට්වාදයේදී එකම ආගමේ එකම ජාතියේ වශයෙන් වූ සම්බන්ධතාවයන් ඉස්මතුකරමින් ජනතාව දිනාගැනීම සිදුවන බැවිනි. පාලක පන්තිය කෙරෙහි ජනතාව තුල ගොඩනංවන ලද කැමැත්තක් මගීන් පාලනය සිදුකරන බැවිනි.

 2009 දී යුද්ධය අවසන් වීමත් සමග, සිංහල ජාතිකත්වයේ පැවැත්මට අභියෝගකරන්නා, ජාතිකත්වයක් (දෙමල ජාතිකත්වය) ලෙස  සහ සිංහල ජාතිකත්වයේ පැවැත්මට අභියෝගකරන්නා, රටින් පරිභාහිර සිටින අතර රට තුල සිටින ජාතිකත්වයක් උපයෝගීකරගෙන අභියෝග කිරීම් සිදුකරන්නෙක් ලෙස සිතූ කොටස් වලින් බහුතරය විසින්, අභියෝග කරන්නාගේ භූමිකාවට දක්වන සම්බන්ධයෙන් දෙමල ජාතිකත්වය ඉවත් කරන ලදී .නමුත් අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි නම් දේශපාලනික චින්තකයාට අනුව දෘෂ්ටිවාදයක් කාලාන්තරයක් තිස්සේ ජනතාව අතර ව්‍යවහාරයක් බවට පත් වීමෙන් මිනිසුන් එය ස්වභාවික යැයි පිළිගනී. ලංකාව තුල "සිංහල ජාතිකත්වයේ පැවැත්ම අභියෝගයට ලක්ව ඇත" යන මතය සම්බන්ධයෙන් තත්වය එයම විය. එම තත්වය තුල අබියෝග කරන්නාගේ භූමිකාවට ඇබෑර්තුවක් ඇතිවිය. ඇතැම් අන්තවාදීන්ගේ ක්‍රියා සහ ජනගහන වර්ධන වේගය වැඩි වීම වැනි තවත් හේතු කිහිපයක් හේතුවෙන් එය මුස්ලිම් ජාතිකත්වයෙන් පිරවිණි.

යුධමය තත්වයෙන් පසු කෙමෙන් දියාරු වීමට තිබූ රාජපක්ෂ ෆැසිස්ට්වාදයේ පදනම නැවත වරක් මුස්ලිම් විරෝධීන් සිය ක්‍රියා කලාපය හරහා යාවත්කාලීන කිරීමට පටන් ගෙන ඇත. ෆැසිස්ට්වාදයන් ශක්තිමත් කිරීමට දායකත්වය දීම හරහා ඇතිවූ විනාශයන් අතරින් ජර්මනියට සිදු වූ දේ පාඩමක් ඉගෙනීමට හොදින්ම සෑහේ. එබැවින් සියලුම ආකාරයේ ජාතිවාදයන් පරාජය කර, ෆැසිස්ට්වාදය පරදා ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගමු.

-ප්‍රගාමී ව්‍යාපාරය   

Wednesday, December 12, 2012

විප්ලවවාදියාගේ මවගෙන් පාඩමක්...


විප්ලවවාදියා පරමාදර්ශී සමාජයක් ගොඩනගන්නට උත්සහ ගනු දැක, ඔහු ගෙනයෑමට සුදු වෑන් පැමිණේ යැයි, ඔහුගේ සංවේදී අම්මා බිය විය...

සෙනෙහෙබර අම්මා තැවුනි...

නමුත්, අවසානයේ ඔහුගේ දේශපාලන බුද්ධියකින් හෙබි අම්මා ඔහුගේ එම පරමාදර්ශී සමාජයක් ගොඩනැගීමේ  උත්සාහයට උපරිම දායකත්වය ලබා දුන්නාය.....

දේශපාලන බුද්ධියකින් හෙබි ජනතාවක් නිර්මාණය කරමු - පරමාදර්ශී සමාජයක් ගොඩනගමු.

-ප්‍රගාමී ව්‍යාපාරය 

Tuesday, December 11, 2012

අපේ අරගලයෙන් සමාජය, කොහේ සිට කොහොම කොතැනටද...



පසුගිය කාලය පුරාවට පවතින සමාජ ක්‍රමයට එරහිව, එම ක්‍රමයේ අර්බුදය පිට දමන අවස්ථාවන් වලදී පද්ධතිමය අර්බුදයෙන් වියුක්ත නොවන අර්ථ නිරූපනයන් එම පිට දැමීම් වලට දෙමින්, එමගින් මෙරට ජන විඥානය භාවාත්මක වරණයන්ගෙන් ගලවාගෙන තාර්කික වරණයන් වෙත කැදවාගෙන යෑමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරමින්, දේශපාලනික වශයෙන් පරිණත ජනතාවක් ඇති කිරීම අපගේ යුතුකම හා වගකීම ලෙස සලකා අපි කටයුතු කළෙමු.

සමාජයක් ලෙස විමුක්තියක් ලබනවා විනා, වියුක්ත වූ පුද්ගලයන් ලෙස ස්ථිරසාර වූ විමුක්තියක් ලැබීම මිරිගුවක් මිස අන් කිසිවක් නොවන බව අප තේරුම් ගත යුතු සත්‍යයි. එම නිසා පරමාදර්ශී සමාජයක් ගොඩ නැගෙන තුරාවට, යම් පුද්ගලයෙකු වියුක්තව කිසියම් විමුක්තියක් ලබා ඇතැයි සිතනවානම් එම රැවටිලිකාර විමුක්තියද පමණක් නොව, ඔබ මෙන්ම ඔබේ ආදරණීයයන්ද පවා සිටිනුයේ අති අනාරක්ෂිත තාවකය.

එම නිසා පරමාදර්ශී සමාජය ගොඩනැගීම සදහා අවැසි අරගලය අපි විසින්, සමාජය දැනට පවතින නරා වලේ සිට, සමාජය තුල මතවාදී මැදිහත්වීමක් සිදු කිරීම හරහා පරමාදර්ශී සමාජය දක්වා ගමන් ගන්නා තෙක් සිදු කරමු. මෙතුවක් කාලයක් පුරාවට අප සගයන්ගේ FB wall මත හුදකලාව කෙරුණු එම අරගලයට මෙසේ එකමුතුව හා පුළුල්ව කිරීමට අද දින සිට අත් පොත් තබන බව ඔබට සතුටින් දන්වා සිටින අතර මෙම අරගලයට ඔබේ දෑත්ද දිගුකරන ලෙස සහෝදරාත්මකව ඉල්ලා සිටිමු...

"කෙසේ වුවද වෘත්තියක් තෝරා ගැනීමේදී අපට මග පෙන්විය යුතු ප්‍රධාන මූලධර්මය නම් මනුෂ්‍ය සංහතියේ සුබ සිද්ධිය සහ අපගේම පරිසමාප්තියයි. මෙම උත්සුකතාවන් දෙක එකිනෙක සමග ගැටෙන බව හෝ එකක් විසින් අනික වනසා දැමිය යුතු යයි හෝ නොසිතිය යුතුය. ඊට ප්‍රතිපක්ෂව, තම සමාජයේ පරිසමාප්තිය සහ සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරීම මගින් පමණක්ම තමන්ගේම පරිසමාප්තිය සාධනය කරගත හැකි වන පරිදි මිනිසාගේ ස්වභාවය සැකසී ඇත."
                                                  (Reflection of a youth on choosing an occupation- Karl Marx)

-ප්‍රගාමී ව්‍යාපාරය