Thursday, April 17, 2014

මාක්ස් හරි!!!


වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය කියන කාල් මාක්ස් විසින් සම්පාදිත කෘතියට, තමන් විසින් සපයපු ප්‍රස්ථාවනාව තුළ ෆෙඩ්රික් එංගල්ස් මෙහෙම සඳහන් කරනවා.

“එක අතකින් ගැනුම්කරුවාට මිලදී ගත නොහැකි අතිමහත් ධනයක් සහ අධික වූ භාණ්ඩ තොගයකි. අනික් අතින් සමාජයේ බහු ජනතාව නිර්ධනීන් බවට පැමිණ වැටුප් ලබන කම්කරුවන් බවට පත්වී ඇත. මෙන්න මේ හේතුව නිසාම මේ අධික භාණ්ඩ තොගය මිලදී ගැනීමට ඔවුනට ශක්තියක් නොමැත. ඉමහත් ධනයක් ඇති කුඩා පන්තියකට සහ දේපොළ රහිත වේතන කම්කරුවන්ගේ විශාල පන්තියකට සමාජය බෙදීයාම ස්වකීය සමෘධිමත් භාවය නිසා හුස්ම ගැනීමට බැරි වනසේ හිරවී සිටින සමාජයක විපාක ඵලයෙකි. මේ සමාජයේ සාමාජිකයන්ගේ අධික බහුතරය අත්‍යවශ්‍ය වුවමනාවන්ගෙන් එක්කෝ කොහෙත්ම ආරක්ෂා කැරැ නැත, නැත්තම් ඉතාම අඩුවෙන් ආරක්ෂා කැරැ ඇත. සමාජයේ මෙවැනි තත්වයක් දිනපතාම වඩාත් මුග්ධ දෙයක් බවටත් වඩාත් වුවමනා නැති දෙයක් බවටත් පත් වෙයි. එය අහෝසි කල යුතුයි. එය අහෝසි කල හැකියි.”

(වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය කෘතියේ ප්‍රස්ථාවනාව - ෆෙඩ්රික් එංගල්ස්)

මාක්ස්වාදය විසින් අනාවරණය කරපු ධනවාදයේ අනිවාරණීය අර්බුධයට යෑම සහ එය විසින්ම මතු කරපු එම තත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ, ඉහත දක්වපු  මතය, ඍජුව හෝ වක්‍රව තහවුරු කරන  පිරිස මේ මොහොත වෙනකොට මාක්ස්වාදීන්ගේ ඉදල ධනවාදයේ ඉහල අවධිය වෙච්ච අධිරාජ්‍යවාදයේ වර්තමාන මූලස්ථානය වෙච්ච ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ හිටපු කම්කරු ලේකම්ලා දක්වා පරාසයකට විහිදිලා තියෙනවා.  මෙන්න මේ කියන කරුණ සනාථ කරන සාධකයක් විදිහට තමයි ප්‍රගාමී ව්‍යාපාරයේ මාධ්‍ය අංශය විසින් සිංහල උපසිරසි ගන්වපු, ඉහත වීඩියෝව අපි ඔබට ඉදිරිපත් කරන්නේ. මේ වීඩියෝව මගින් වරක් බිල් ක්ලින්ටන්ගේ කම්කරු ලේකම් විදිහට හිටපු රොබට් රයිච් විසින් ධනවාදයේ අනිවාරණීය අර්බුධය යෑම සහ එම තත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ඉදිරිපත් කරනවා.

මේ වීඩියෝව තුල ඔහු ධනවාදය අර්බුදයට යෑමේ පිළිබිඹු වීම් වන වටිනාකම් සංකේන්ද්‍රණය, එහි ප්‍රතිපලයක් විදිහට ආර්ථික විෂමතාවය ඉහල යෑම සහ  කම්කරු පංතියේ ජීවන තත්වය අර්බුධයට යෑම, එම තත්වයන් සියල්ල පෙරලා පද්ධතියම තුල ගැඹුරු ආර්ථික අර්බුධයන් නිර්මාණය කිරීමට සම්බන්ධ වීම ඉතාම සාරාංශ ගතව ඉදිරිපත් කරනවා. අපි දන්නව ආරම්භයේදී ධනේශ්වර සමාජයක් ඇතුලේ ප්‍රාග්ධනය වැඩෙන්න වැඩෙන්න ධනපතීන්ගේ සංඛ්‍යාව වැඩිවෙනවා. එකේ ප්‍රතිඵලය වෙන්නේ ඔවුන්ගේ අතර තියෙන තරගය වැඩි වෙන එක. මේ තරඟයෙන් දිනන එක කෙසේ වෙතත්, මේ තරඟය ඇතුලේ ඉන්නත් ඔවුනට තව තවත් ආයෝජනා කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ඔවුන්ට ගන්න වෙන පියවර තමයි වටිනාකම් සංකේන්ද්‍රණය.

“එක ධනපතියෙකුට තවත් ධනපතියෙක් ක්ෂේත්‍රයෙන් පන්න දමා ඔහුගේ ප්‍රාග්ධනය අල්ලා ගත හැක්කේ ලාබෙට විකිනීමෙනි. තමා විනාශ නොවී ලාබෙට විකිනීමට නම් ඔහු වඩාත් ලාබෙට ඒවා නිපදවිය යුතුයි.එනම් ශ්‍රමයේ ඵලදායී ශක්තිය හැකි තරම් වැඩි කල යුතුයි. එහෙත් අන් හැමටම පෙර ශ්‍රමයේ ඵලදායී ශක්තිය වැඩි කරන්නේ ශ්‍රමයේ වඩාත් විශාල විභජනයකිනි යන්ත්‍ර සූත්‍ර වඩාත් පුළුල් ලෙස යොදවමින් සහ යන්ත්‍ර නොකඩවාම උසස් කරලීමෙනි.”

(වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය - කාල් මාක්ස්)

මෙම තත්වය තවත් අර්බුධ ගණනාවකට මග පාදනවා.වටිනාකම් වැඩි වැඩියෙන් සංකේන්ද්‍රණය කරගන්න වැඩි වැඩියෙන්  ලාභය අවශ්‍ය වෙන නිසා මතුවෙන වැඩි වැඩියෙන් වියදම් අඩු කර ගැනීමේ අවශ්‍යතාවයේ ප්‍රතිපලයක් තමයි විරැකියාව.

“දැන් අපි සංක්ෂිප්ත ලෙස ධනපතීන් අතර කෙරෙන කාර්මික යුද්ධය ගැන චිත්‍රයක් ඇඳ පෙන්වමු. මෙම යුද්ධයට ආවේනික විශේෂතාවක් නම්, කම්කරුවන් නමැති යුද්ධ හමුදාව බඳවා ගන්නවාට වඩා ඔවුන් ඇස කර දැමීමෙන් යුද්ධය ජය ගැනීමය.යුද්ධ හමුදා සෙනවියන් ධනපතීන්, කර්මාන්ත සෙබළුන් ඇස කර දැමීම වැඩියෙන් කල හැක්කේ කාටද යන්න ගැන එකිනෙකා සමඟ තරඟයක යෙදී සිටිති”

(වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය - කාල් මාක්ස්)
  
මේ තත්වය අධිරාජ්‍යවාදී යුගය දක්වා වර්ධනය වුනහම තත්වය තවත් නරක වෙනවා. නිදහස් වෙළඳ තරඟය එහෙම්පිටින්ම නොනිල මට්ටමෙන් අහෝසි කරලා දානවා. ඒක භාණ්ඩ මිල සම්බන්ධයෙන් නිදහස් තරඟය ලබා දුන්නු සහනයත් අහෝසි වෙන්න හේතුවක් වෙනවා.

“සමාජීය නිෂ්පාදන මාර්ග අතලොස්සකගේ පෞද්ගලික දේපල වශයෙන් තවදුරටත් පවතී. බාහිර පෙඅනුම අතින් නිදහස් තරඟයේ රාමුව එසේම පවතින අතර ජනතාව මත පැටවුන ඒකාධිකාරයන්ගේ ග්‍රහණය සිය ගුණයකින් වැඩි වෙයි, වඩ වඩාත් පීඩාකාරී වෙයි, දැරිය නොහැකි බවට පත් වෙයි”

(අධිරාජ්‍යවාදය-ධනවාදයේ ඉහලම අවධිය-වී.අයි.ලෙනින්)  

නමුත් මාක්ස්වාදීන්ට වෙනස්ව ධනවාදය අර්බුධයට යෑම ධනවාදය තුලම අතික්‍රමණය කිරීමට හැකි ශක්‍යතාවක් ගැන අදහසක් සහ ඒ සඳහා ක්‍රියා මාර්ගයක්, ඔහු විසින් ඉදිරිපත් කරනවා. ඒත් ඒ අදහස සහ ක්‍රියාමාර්ගය පවා අවසානයේදී ධනවාදයේ අනිවාරණීය අර්බුධය යෑම පිලිබඳ ඔහුගේම මතයන් හමුවේ විසංවාදයක් නිර්මාණය කිරීම හරහා එතනදීත්, ඒ අදහස සහ ක්‍රියාමාර්ගයට අදාළ මාක්ස්වාදී මතයම, වක්‍රව වුවත් සනාථ කිරීම සිදු කරනවා

ධනවාදය අර්බුධයට යෑම ධනවාදය තුලම අතික්‍රමණය කිරීමට හැකි ශක්‍යතාවක් ගැන අදහස සහ ඒ සඳහා ක්‍රියා මාර්ගය ඉදිරිපත් කරන්න රොබට් රයිච් පදනම් කරගන්නනේ, මේ අර්බුධ සියල්ලට හේතුව  ආර්ථිකයට බල පැවැත්වෙන ඇමරිකාවේ වර්තමාන නෛතික ස්ථාවරයයි, කියන කරුණයි. ඒ නිසා දැනට පවතින නෛතික තත්වයේ වෙනසක් මගින් මේ අර්බුධයෙන් ගොඩ එන්න පුළුවන් කියල ඔහු මතයක් ඉදිරිපත් කරනවා. නමුත් මේ වීඩියෝව තුළ ඔහුම කියනවා වර්තමාන අර්බුධයට විසඳුම ලෙස ඔහු ගොඩනගන්න යෝජනා කරන තත්වයේ සමාජ සැකැස්මක් වරෙක පවතින්න හේතු වුන  ආර්ථික බලයේ පිහිටුම පහල සහ මධ්‍යම ආදායම් ලාභී  පවුල් වලින්  ධනවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන තැනකට  ප්‍රතිපත්තිමය තීරණයන් මගින් විතැන් කළාය කියල.

“දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක තුන තුල ඇමරිකානු ආදායම වේගයෙන් සහ සමානව වර්ධනය වුණා. නමුත් 1970 අගභාගයෙන් ඇරඹෙමින් මේ දේවල් වෙනස් වෙන්න පටන් ගත්තා. අද ඇමරිකානුවන්ගෙන් සියයට එකක් රටේ මුළු ආදායමෙන් සියයට විස්සක් ගෙදර ගෙනයමින් සිටිනවා සහ ඇමරිකානු ආදායමෙන් සියට තිස්පහකට වැඩි ආදායමක් අයිතිව සිටිනවා. එක ඉබේම සිද්ධ වුනේ නෑ එක තමයි, බදු, අධ්‍යාපනය, වෙළඳාම, ශුද්‍ර ආර්ථිකය සහ මුල්‍ය රෙගුලාසි කෙරෙහි වු, ආර්ථික බලය පහළ පහල සහ මධ්‍යම ආදායම් සහිත සහිත ඇමරිකානු පවුල් වලින් ඉවතට විතැන් කල ප්‍රතිපත්තිමය තීරණයන් සියල්ලගේ ප්‍රතිඵලය”

ඒවගේම ඔහුම මේ මුළු වීඩියොව පුරාවට පෙන්වන දේ තමයි, බදු වලට, වෙළඳ ප්‍රතිපත්ති වලට අදාලව ඉදිරිපත් කරපු සංශෝධන සියල්ල සේවය කරලා තියෙන්නේ ධනවතුන්ගේ අවශ්‍යතා වලට කියන එක. ඒකෙන් පැහැදිලි වෙනවා මේ සංශෝධන වලින් වාසි වෙලා තියෙන්නේ ධනවතුන්ට,එහෙනම් මේ සංශෝධන සේවය කලේ ධනවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කියන එක. ඉතින් රොබට් රයිච් කියනවා වගේ  මේ අර්බුධයෙන් ගොඩ එන්න නෛතික තත්වයේ වෙනසක් කලත් - ඒකට ඉඩක් ලැබෙන්නේ නැතිවග ඉතාම පැහැදිලියි. හොඳම උදාහරණය තමයි ලෝකේ පළමුවැනි ජනාධිපති වෙච්ච චිලී රජයේ හිටපු ජනාධිපති සැල්වදෝර් අයියන්දේගේ ඉරණම - කලින් වගේම ඒක වෙනස් කිරීමේ හැකියාව ධනවතුන්ට තියෙනවා කියන එක ඉතිහාසය විසින්ම ඔප්පු කරලා අවසන්.

-ප්‍රගාමී ව්‍යාපාරය

Friday, April 11, 2014

කියා කට ගත්තා පමණි - ලාංකීය ජනතා ව්‍යාපාරයන්හී සාංසිද්ධික අවධිය, අතික්‍රමණය කරමු..!!! - II





ලංකාව ඇතුලේ වැඩකටයුතු සිද්ධවෙන ආකාරය දිහා බැලුවහම පැහැදිලි වෙන දෙයක් තමයි, රාජපක්ෂ ආණ්ඩුව කල්පනා කරනවා, මේ රටේ තියෙන අර්බුධ වලට හේතුව ලංකාවේ ධනවාදයේ තිබෙන ඌන සංවර්ධනය කියල. මේ තත්වයේ ප්‍රතිඵලයක් විධියට තමයි අපිට එස්. බී. දිසානායක මහත්තය හැම තිස්සෙම කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න දීල ඒවායින් සියට පහක කෝටාවක් ශිෂ්‍යත්ව විදිහට ඉල්ලා ගැනීමක් ගැන කතාව එහෙමත් අහන්න වෙලා තියෙන්න. මොකද අපි කලිනුත් කියපු විදිහට සුබසාධන සඳහා අතිරික්තයක් නොමැතිවීමත් “ධනවාදයේ ඌන සංවර්ධනයේ” ප්‍රතිඵලයක් විදිහට ඔවුන් දකිනවා. නමුත් රට ඇතුලේ උද්ගත වෙලා තියෙන අර්බුධ වලට ඇත්තම හේතුව වෙන්නේ ලංකාවේ ධනවාදයේ “ඌන සංවර්ධනය” නෙවෙයි, “පසුගාමී සංවර්ධනය”. සරලව කියනවනම්, ධනේශ්වර සංවර්ධන ක්‍රියාවලියෙදී ලංකාව දියුණු ධනේශ්වර රටවලට සාපේක්ෂව පස්සෙන් සිටීම. කෙනෙකුට මේ දෙකේම තේරුම එකක් වගේ පෙන්න පුළුවන්. නමුත් මේ දෙක දෙකක්. ලංකාවේ අර්බුධ වලට හේතුව වෙන්නේ ලංකාවේ ධනවාදයේ ඌන සංවර්ධනය නම්, මුලිකවම, පසුකාලීනව හරි ඒ ඌන සංවර්ධිත තත්වය පිටු දකින්න පුළුවන් වෙන්න ඕනි. අනිත් කරුණ තමයි. එසේ පිටු දැකල ධනවාදය එහි දියුණුවෙම ප්‍රතිඵලයක් විදිහට අනිවාර්යය අර්බුධයට යන්න කලින් තාවකාලිකව හරි ලංකාව ඇතුලේ දැන් තියෙන අර්බුධ වලට විසඳුම් ලැබෙන කාල සීමාවක් නිර්මාණය වෙන්න ඕනි. නමුත් ආර්ථිකය දිහා හොඳට බැලුවොත් හීනෙකින්වත් එහෙම තත්වයක් උදා වෙන්නේ නෑ කියල ඔබට පැහැදිලිව පෙන්න පටන් ගනියි. 

යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ ධනවාදයේ ආරම්භය විදේශීය ප්‍රාග්ධනයෙන් සිද්ධවීම හින්ද, ඒ ප්‍රාග්ධනය හිමිවුනු රටවලට සාපේක්ෂව ලංකාවේ ධනවාදයේ සංවර්ධනය පසුගාමී තත්වයකට පත් වුනා . ලංකාවේ ධනවාදය එහෙම පසුගාමී තත්වයක පැවතීම, තවදුරටත් එම පසුගාමී තත්වය විසින්ම නඩත්තු කිරීමක් මේ දක්වාම සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ සරලව කියනවනම් ධනවාදී සංවර්ධනය කියන රේස් එක ලංකාවයි, යටත් විජිත පවත්වාගෙන ගිය රටවලුයි දුවන්න පටන්ගත්තේ එකම ආරම්භක ස්ථානයක ඉදන් නෙවෙයි. යටත්විජිතවාදය හින්ද යටත්විජිත පවත්වාගෙන ගිය රටවල් තරගය පටන්ගන්න කලින්ම ලංකාවට සෑහෙන තරම් දුරකින් ලීඩ් එකක් තියල තිබුනා. පසුගාමී තත්වයක පැවතීම තවදුරටත් පසුගාමී තත්වය විසින්ම නඩත්තු කරනවා කියන්නේ, හිතන්න මෙහෙම තරඟ කරන්නෙ මිනිස්සු දෙන්නෙක් කියල. එතකොට පස්සෙන් ඉන්න එක්කෙනාගේ හිතට “තමන් කොහොමත් පස්සෙන් ඉන්නේ”, “තමන්ට දිනන බැරිවෙයි” වගේ හැගීම් හිතට එනවා ඒ නිසා ඒ පමා වෙලා සිටීමේ තත්වය තව දුරටත් ඔහුව පහු කරන්න හේතුවක් වෙනවා. මීට සමානවම යටත්විජිතවාදී රටවල් ධනේශ්වර සංවර්ධනය අතින් ඉදිරියෙන් සිටිමින් අධිරාජ්‍යවාදී යුගයෙදී ජාත්‍යන්තර සංගත ව්‍යාපාර, කාටල සහිත ඒකාධිකාර තත්වෙට පත් වීම හින්ද දේශීය ප්‍රාග්ධනයට ප්‍රසාරණය වෙන්න වෙළඳ පොලක් නැති වෙනවා. තියෙන වෙළඳ පොළවල් වලදීත්, ජාත්‍යන්තර සංගත ව්‍යාපාර, කාටල සහිත ඒකාධිකාර වල ලාබ මිල හින්ද දේශීය ප්‍රාග්ධනය වෙළඳ තරගයෙන් පරාජයට පත් වෙනවා. මේ හින්ද වගේම, මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අඩුවීම, වෙළඳ පොළ ක්ෂේත්‍ර අල්පවීම වගේ හේතු හින්ද වෙළඳ පොළ කුඩා වීමෙන් දේශීය ප්‍රාග්ධනයේ ස්වයං ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ අඩුවෙන්. තවත් සරලව කිව්වොත් එක අතකින් වෙළඳ පොලක් නෑ. අනික් අතින් ප්‍රාග්ධන සංචිත වීම සිද්ධ වෙන්නේ අඩුවෙන්. ඒ හින්ද තමයි ආණ්ඩුව තමන්ගේ ආයෝජන අභිලාශයන් වල විදේශීය ආයෝජන වලට සැලකිය යුතු ඉඩක් වෙන් කරන්නෙ. 

විදේශීය ආයෝජන කොටස් දෙකක් යටතේ සිදු කරනවා එකක් තමයි තමන්ගේ වෙළඳ පොළ ප්‍රසාරණය කිරීම වෙනුවෙන්. අනිත් එක ලාබ ශ්‍රම ශක්තිය වෙනුවෙන්. කලින් දේශීය ප්‍රාග්ධනය ගැන කතා කල අවස්ථාවේදී වගේම, තමන්ගේ වෙළඳ පොළ ප්‍රසාරණය කිරීම කියන කාරණයේදී ඔවුනුත් ආයෝජනය කරන්නේ යම්කිසි සීමාවක් ඇතුලේ මොකද ලංකාවේ ධනවාදයේ පසුගාමී සංවර්ධනය නිසා මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අඩුයි. ඒ හින්ද ලංකාව ඇතුලේ පුළුල් වෙළඳ පොලක් නෑ. මෙතැනදී කියන ඕනි කාරණයක් තමයි. මෙහෙම අඩුවෙන් ආයෝජනය කිරීම නැවත වරක් ලංකාවේ ක්‍රය ශක්තිය අඩුවෙන්න හේතුවක් වෙනවා කියන එක. මොකද ඒ හින්ද නව රැකියා උත්පාදනය සිද්ධ වෙන්නේ අඩුවෙන් වීම. ශ්‍රම ශක්තිය මිලට ගැනීම වෙනුවෙන් ආයෝජනය ගැන කතා කරද්දී ඒ ආයෝජනයත් මිනිසුන්ගේ අඩු ක්‍රය ශක්තියත් කියන දෙක අනොන්‍ය වශයෙන් පරායත්තයි. මිනිස්සුන්ගේ ශ්‍රම ශක්තිය අඩුවට මිලට ගන්න පුළුවන් තාක්කල් තමයි ඔවුන් ඒ වෙනුවෙන් මෙහෙ ආයෝජනය කරන්නේ. ක්‍රය ශක්තිය වැඩි වෙන්නනම් ශ්‍රම ශක්තියේ මිල වැඩිවෙන්න ඕනි. නමුත් ඒක වැඩි වුනහම ඊට වැඩිය අඩුවෙන් ශ්‍රම ශක්තිය ලබා ගන්න පුළුවන් දිහාවල ඔවුන් ආයෝජනය කරනවා මිසක ඔවුන් ලාබෙට ශ්‍රම ශක්තිය මිලට ගන්න පුළුවන් තැන් තියෙද්දී මෙහෙ වැඩි මුදලට ශ්‍රම ශක්තිය මිලට ගන්න නවතින්නේ නෑ. මෙතැනදී තව දෙයක් කියන්න ඕනි. කවුරු හරි හිතන්න පුළුවන් විදේශීය ප්‍රාග්ධනය ලාභ ශ්‍රම ශක්තිය වෙනුවෙන් ලංකාවේ ආයෝජනය කිරීම පුළුල්ව සිද්ධ කරොත් පුද්ගලයෙක් සැලකුවහම ඔහුගේ ක්‍රය ශක්තිය වැඩි නොවුනත් සේවා නියුක්තිය වැඩි වෙන එකේ ප්‍රතිපලයක් විදිහට වෙළඳ පොළ පුළුල් වෙලා, එකේ ප්‍රතිඵලයක් විදිහට වෙළඳ පොළ ඌනතාවෙන් පෙලෙන දේශීය වගේම විදේශීය ප්‍රාග්ධනය සම්බන්ධ කරගෙන (involve) සිදුවෙන ආර්ථික ක්‍රියාකාරකම් වැඩිවෙලා, ලංකාවේ ධනවාදයට තවත් දුර යාගන්න පුළුවන් කියල. නමුත් අපි අමතක කරන්න හොඳ නෑ, 2007 - 2008 කාල සීමාවේදී ලෝක පරිමානෙන් ආර්ථික අර්බුධයක් ආවා කියන එක. ඒක අපිට පෙන්නුවා අපේ රටේ ආයෝජනය කරන විදේශ ප්‍රාග්ධනය හිමි රටවල ධනවාදයට තවත් “සංවර්ධනය” වෙන්න බෑ කියල. වෙනවනම් වෙන්න පුළුවන් විනාශයට පත් වෙලා “නැවත ගොඩනැගෙන්න(rebuild)” විතරයි කියල. ඉතින් ආර්ථික අර්බුධය එන මොහොත වෙන කොට ලාභ ශ්‍රම ශක්තිය වෙනුවෙන් ආයෝජනය කරලා ලංකාවේ ආයෝජන ඇතුලේ විදේශීය ආයෝජන හිමි කරන හිටපු අනුපාතය වැඩිවෙයි කියල හිතන එක විහිළුවක්. මොකද එහෙම කරලා නිෂ්පාදනය වැඩි කරගෙන ඔවුන් ඒවා විකුනන්නේ කාටද. ආර්ථික අර්බුධය හින්ද ක්‍රය ශක්තිය අඩුවෙලා, මෙච්චර කල් නිරත වෙලා හිටපු ආර්ථික ක්‍රියාකාරකම් වලවත් නිරත වෙන්න බැරුව ඉන්න තමන්ගේ රටවල ආර්ථික වශයෙන් ආබාධිත ජනතාවටද. මේ ඔක්කොම ඇරුනහම ලංකාවේ ඔවුන්ගේ ආයෝජනයන් මගින් නිපදවන සියලුම වටිනාකම් ලංකාව ඇතුලේ ඉතුරු වෙන්නේ නෑ. ඒවා එකතු වෙන්නේ රටින් පිට. ඒක නැවතත් රට ඇතුලේ ආයෝජන අඩුවෙන්න හේතුවක් වෙනවා. දැන් ඔබට තේරෙන ව ඇති ලංකාවේ ධනවාදයට යන්න පුළුවන් උපරිම දුර මේකයි කියල. මීට වැඩිය මේ ආර්ථිකයේ කොතැනට මුක්කු ගහල උස්සන්න ගියත් වෙන තැනකින් කඩාගෙන වැටෙනවා. නිෂ්පාදන තව වර්ධනය කරන්න ගියොත් අඩු ක්‍රය ශක්තිය හින්ද ඒවා මිලදී ගන්න මිනිස්සු නැතුව අධි නිෂ්පාදනයක් ඇති වෙලා වෙළඳ පොළ තුල නිෂ්පාදන වල මිල පහල වැටිලා ආර්ථක අර්බුධයක් කරා ගමන් කරන්න පුළුවන්, නැත්තම් හානි අඩුම පියවර විදිහට ඒ නිශ්පාදන විනාශ කරලා ස්ථාවර මිලක් කරා ගෙන එන්න පුළුවන්. ඒ ඇරුනහම මොන ක්‍රමයකින් හරි ක්‍රය ශක්තිය වැඩි වුනොත් ඒ කියන්නේ ලාබ ශ්‍රම ශක්තිය වෙනුවෙන් සිද්ධ කරන ආයෝජනය කඩා වැටුන කියන එක. එකේ ප්‍රතිථලයක් විදිහට ක්‍රය ශක්තිය තවත් අඩුවෙනවා. ඒ තත්වයේ බලපෑම වෙළඳ පොළටත් බලපානවා.වෙළඳ පොළ තුල අවපාතයක් නිර්මාණය වෙනවා. ආයෝජකයෝ අධෛර්යමත් වෙනවා. රැකියා අවස්ථා නිර්මාණය වීම අඩු වෙනවා. ආපහු ක්‍රය ශක්තිය අඩු වෙනවා. නැවතත් මුලට එනවා. එක හින්ද අපිට පැහැදිලියි ලංකාවේ ධනවාදයට විනාශය කරා මිසක තව දුර යන්න බෑ, තව දුර යන්නේ නෑ කියන එක. 

මෙන්න මේ තත්වය තේරුම් ගන්න අසමත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හිතනවා, තමන් කල්පනා කරන විදිහට ලංකාවේ ධනවාදයේ තියෙන ඌන සංවර්ධිත තත්වය පිටු දකින්න පුළුවන් වුනොත්. සරලව කිව්වොත් වැඩි වැඩියෙන් ආයෝජන සිද්ධ වුනොත් මේ හැම අර්බුධයකටම විසඳුම් ලැබෙනවා කියල. ඒ සඳහා අවශ්‍ය මූලික දෙයක් තමයි ආයෝජකයන්ට අවශ්‍ය ඉඩම්. ප්‍රගාමී ව්‍යාපාරය හැටියට, ලාංකීය ජනතා ව්‍යාපාරයන් පසුවන සාංසිද්ධික අවධිය, අතික්‍රමණය කිරීමේ අවශ්‍යතාවය මතු කරමින් සිටින මොහොතක, ඊට අදාලව අපිට මග හැරයා නොහැකි සුවිශේෂී සිදුවීමක් තමයි වනාතමුල්ල නිවාස ඉවත් කිරීමේ සිදුවීම පාදක කරගෙන පැන නැගුනු ජනතා ව්‍යාපාරය. මේ ජනතා ව්‍යාපාරය අපි කලින් සඳහන් කරපු, ආයෝජකයන්ට අවශ්‍ය ඉඩම් ලබාදෙන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව දරන වෑයමේ ප්‍රතිඵලයක් විදිහට තමයි පැනනගින්නේ. ලංකාවේ ජනතා ව්‍යාපාර සාංසිද්ධික අවධියේ පසුවීමේ විපාක සම්බන්ධයෙන් අපි - සාමන්‍යය වහරෙන් කියනවනම් -කියල කටගන්නත් කලින්, මෙන්න මේ කියන වනාතමුල්ල ජනතා ව්‍යාපාරයේ ගමන් මග, ඒවා සනාථ කරන්න පටන් අරන් තියෙනවා. 

ගිය සති අන්තය වෙන කොට අපි දැක්ක මේ ජනතා ව්‍යාපාරයේ නායකත්වය අරන් සටන් කරපු සුනිල් කියන පුද්ගලයා මේ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙමින් තියෙන අතරතුර එක්තරා මොහොතක පැහැරගැනීමකට ලක්වෙනවා. ඒ පැහැරගැනීමෙන් පැය කිහිපයකට පස්සේ ඔහු නැවත පැමිණෙනවා. එහෙම ඇවිත් ඔහු මාධ්‍යයට අදහස් දක්වන අතරතුරේදී, තමන් මත් කුඩු අලෙවි කිරීමේ නිරත වෙලා හිටි බව අනාවරණය කෙරෙන ප්‍රකාශයක් සිදුකරනවා. දැන් මේ වෙනකොට ස්වාධීන රූපවාහිනිය වනාතමුල්ල ජනතා ව්‍යාපාරය දියාරු කරන්න, විශේෂයෙන්ම ඒ ව්‍යාපාරයට බහුජන සහය අහිමි කරල හුදකලා කරන්න මේ ප්‍රකාශය භාවිතා කරමින් සිටිනවා. මේ සිදුවීම් පෙළගැස්ම විසින් අපිට නැවත නැවතත් සනාථ කරන දේ තමයි ප්‍රතිගාමී බලවේග වලට මෙහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ව්‍යාපාර සාංසිද්ධික අවධියේ පැවතීම හින්ද කියන එක. මොකද එහෙම නොවුනානම් සුනිල් කුඩු විකිණීම කියන කාරණය වනාතමුල්ල ජනතා ව්‍යාපාරයට එරහි අවියක් විදිහට පාවිච්චි වෙනවා වෙනුවට, වනාතමුල්ල ජනතා අරගල විදිහට පුපුරා ගිය, ජනතාව පීඩාවට පත් කරපු වාස්තවික තත්වයන්ගෙන් එකක් විය යුතුව තිබුන. නමුත් අපි ඉතා පැහැදිලිව කියපු විදිහට, සාංසිද්ධික අවධියේ පවතින ජනතා ව්‍යාපාර විනාශයන්, දියාරු වී යෑම් හැරුණු විට, උපරිම වශයෙන් තාවකාලික, ලාභ ජයග්‍රහණ වලින් එහාගිය දෙයක් සාක්ෂාත් කර ගන්න අසමත් කියන කාරණය සනාථ කරමින් සිද්ධ වුනේ ඊට සම්පූර්ණයෙන් ප්‍රතිපක්ෂ දෙයක්. මේ මොහොතේදී එහෙම වුනේ, ලංකාවේ විදේශීය රූපවාහිනී කතා මාලාවන් බලන අය අතර මෑත ඉතා ජනප්‍රිය වුනු කතා මාලාවක් වෙච්ච, Breakig Bad කියන කතා මාලාවේ Walter White ට වගේ වනාතේ සුනිල්ටත්, මත් ද්‍රව්‍ය වෙළඳාමට යොමු වෙන්න බල කෙරුනේ, අවාසි සහගත ගනුදෙනුවක් හරහා වනාතමුල්ලේ ජනතාව තමන්ගේ ගෙවල් වලින් එලියට ඇදල දාන්න වලිකන, පණ අදින ධනවාදී ආර්ථික ක්‍රමය විසින්මයි කියන කාරණ අවබෝධ කරගන්න ලංකාවේ ජනතා ව්‍යාපාරයන් අසමත් වීම හින්ද. කෙටියෙන් කිව්වොත් ලංකාවේ ජනතා ව්‍යාපාර සාංසිද්ධික අවධිය අතික්‍රමණය කරන්න අසමත් වීම හින්ද.

-ප්‍රගාමී ව්‍යාපාරය

ලාංකීය ජනතා ව්‍යාපාරයන්හී සාංසිද්ධික අවධිය, අතික්‍රමණය කරමු..!!!!




ලංකාවේ ජනතා ව්‍යාපාර ගැන අවධානය යොමු කරද්දී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වුන දෙයක් තමයි, ඒවා තවමත් පසුවෙන්නේ සාංසිද්ධික අවධියේ කියන එක. 

ඒ කියන්නේ මොකක්ද කියන එක ලෙනින්ව උපුටා දක්වමින්ම පැහැදිලි කරනවා නම්, ලංකාවේ ජනතා ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න කොටස් “පලිගැනීම් ස්වරූපයෙන් කරන කඩා පැනීම්” වල ඉදලා, උපරිම වශයෙන්, “නිශ්චිත ඉල්ලීම ඉදිරිපත් කිරීමත්, වැඩ වර්ජන සඳහා සුපරික්ෂාකාරී ලෙස කල්යල් නියම කර ගැනීමත්, දන්නා වෙනත් ස්ථාන වල ඇතිවූ මෙවැනි සිදුවීම් හා අවස්ථා ගැන සාකච්ඡා කිරීමත්” වගේ පියවර අනුගමනය කිරීමක් හැරෙන්න, ඔවුන් සතුව “ස්වකීය වුවමනාවන්, මුළු මහත් දේශපාලන හා සමාජ ක්‍රමයම සමග නොපෑහෙන ලෙසින් පවතින සතුරුතාවය පිලිබඳ විඥානය” නොතිබීමේ තත්වය තමයි, අපි මේ විදිහට හඳුන්වන්නේ. කටුනායක ජනතා ව්‍යාපාරය, හලාවත ජනතා ව්‍යාපාරය, රතුපස්වල ජනතා ව්‍යාපාරය වගේ, ජනතා ව්‍යාපාර පිලිබඳ මෑතකාලීන හැම අත්දැකීමක්ම දිහා බලද්දී ඒක අපට සනාථ වෙනවා.

මේ හින්දම, මේ ජනතා ව්‍යාපාර අනන්ත අප්‍රමාණ දහදිය, කඳුළු, ලේ විතරක් නෙවෙයි, ජීවිත පවා පරිත්‍යාගයෙන් ලගා කරගන්න හදන ජයග්‍රහණ ලඟා කරගන්න කලින් ඒ ව්‍යාපාර දියාරු කරලා දාන්න ප්‍රතිගාමී බලවේග වලට හැකි වෙලා තියෙනවා. ජයග්‍රහණයක් ලඟා කරගන්න අවස්ථාවකදී වුනත්, ඒ ජයග්‍රහණය, ආපසු හැරවීමේ අවධානමක් සහිත, තාවකාලික බවට පත්වෙන, තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කලිනුත් සඳහන් කරපු, මේ ව්‍යාපාර වල දැවැන්ත පරිත්‍යාගයන්ගේ, ඵලදායීතාව, උපරිමයක් කරා ගෙන යන්න නොහැකි වෙලා තියෙනවා. මේ තත්වය ඇතුලෙ මිනිස්සු අධෛර්යයට පත්වීම හින්ද සමාජය ඇතුලේ ජනතා ව්‍යාපාර ගැන විශ්වාසය හීන වෙලා තියෙනවා. මේ තත්වය හින්ද තමයි කටුනායකදි රොෂේන් චානක ජීවිතය පවා පූජා කරලා පුද්ගලික විශ්‍රාම වැටුප් පනත අකුළමින් ලබා ගත්ත ජයග්‍රහණයේ පැවැත්ම, මහින්ද රාජපක්ෂගේ ධනපති ආණ්ඩුව ආපහු වටෙකින් එම පනත ගෙන එනවා කියන ආරංචියෙන් අවධානමකට ලක් වෙලා තියෙන්නේ. හලාවතදී ඇන්ටනී ජීවිතය විතරක් නෙවෙයි, තමන්ගේ දරුවන්ගේ අනාගතෙත් පූජා කරලා දිනා ගත්ත ඉන්ධන සහනාධාරය වෙනුවෙන් ඇන්ටනීගේ මළගමට යාන්තන් දෑවුරුද්දක් පිරෙන කොට, ධීවරයන්ට ආයේම පාරක් සටන් කරන්න වෙලා තියෙන්නේ.

මේ ඔක්කොගෙම ප්‍රතිඵලයක් විදිහට දැන් වෙනකොට ලංකාව ඇතුලේ සමාජ ප්‍රගමන ක්‍රියාවලිය හිරවීමකට ලක්වෙලා තියෙනවා. ඊට එරහිව අපිට අවශ්‍ය වෙන්නේ ඒ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය, මනුෂ්‍යයාගේ සවිඥානික මැදිහත් වීම. වෙනත් විදිහකට කියනවනම් ලංකාවේ ජනතා ව්‍යාපාර වල සාංසිද්ධික අවධිය, විප්ලවවාදී විඥානය සහිත කොටස් වල මැදිහත් වීමෙන් අතික්‍රමණය කිරීම.

-ප්‍රගාමී ව්‍යාපාරය

සුඛෝපභෝගී වෙළඳ සන්නාම - ධනේශ්වර අර්බුදයේ පිළිබිඹුවක් ලෙස




කොළඹ කොටුවේ ඉදන් ගෝල් ෆේස් එක දිහාවට ඇවිදන් එද්දී දකුණු අත පැත්තෙන් අපිට පෙන්නේ ලංකාවේ ධනවාදයේ උපරිමය. හිල්ටන්, ගලදාරි හෝටල් වගේම, ආපනශාලාවන් කිහිපයකින්ම සමන්විත පරණ ලන්දේසි ඉස්පිරිතාලේ ඇතුලෙ තියෙන, සංගක්කාර මහේල සුසංයෝගය හිමිකම් කියන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් වගේ සුඛෝපභෝගී ආපනශාලා වෙළඳ සන්නාමත්, ඒ අස්සෙන් අපිට දකින්න පුළුවන්. ඒවා පාමුලම තියෙන ගෝල් ෆේස් එකට, යන එන සියගානක් මිනිස්සු අතරින් කීයෙන් කීයටද ඒ තැන් වලින් එකකට ගිහින් කෑම වේලක් ගන්න පුළුවන්? අපි දන්නවා බහුතරයකට බෑ කියල. එහෙම බැරි වෙන්න හේතුව තමයි මේ සන්නාමයන්, එහෙම නැත්තම් සුඛෝපභෝගී සන්නාමයන්(Luxury Brands) විෂයෙදී “මිල” පන්ති පෙරනයක් (filter) විදිහට ක්‍රියාත්මක වීම. සුඛෝපභෝගී වෙළඳ සන්නාම, මේ පන්ති පෙරනයක් විදිහට ක්‍රියා කරන මිල, දැරීමේ හැකියාව ඇති පන්තිය සහ නොහැකි පන්තිය කියන ප්‍රතිවිරෝධතාවන්ගේ ඒකත්වයක් විදිහට තමයි පවතින්නේ. මේකට අපිට කියන්න පුළුවන් සුඛෝපභෝගී වෙළඳ සන්නාමයන් දයලෙක්තික පැවැත්මක පවතිනවා කියලා.

අපි දන්නවා දැනට පවතින ආර්ථික ක්‍රමයේදී, ඒ කියන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයේදී වෙළඳ තරඟය අනිවාර්ය දෙයක්. මේ හින්ද සෑම ප්‍රාග්ධන හිමියෙකුට- අපි සරල අර්ථයෙන් කියමුකො ව්‍යාපාරිකයෙකුටම කියල- ඔහුට හෝ ඇයට සිද්ධ වෙනවා ව්‍යාපාරය ප්‍රසාරණය කරන එක කෙසේ වෙතත්, තියෙන තත්වය රැක ගන්න පවා තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කරන්න. මේක උදාහරණයකින් පැහැදිලි කරනවානම්, අපි සලකමු පරිඝණක මෘදුකාංග කර්මාන්තය. මේ කර්මාන්තයේ යෙදී සිටින සමාගම් වලට තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට මෘදුකාංග නිර්මාණය සඳහා භාවිතා කෙරෙන මෘදුකාංග, පරිගණක යන්ත්‍ර වගේ දේවල් අවශ්‍ය වෙනවා. දැන් අපි දන්නවා, කාලෙන් කාලෙට ඕනෑම වර්ගයක මෘදුකාංග වල නව සංස්කරණයන් එලි දැක්වෙනවා. මෘදුකාංග නිර්මාණය කරන්න භාවිතා කරන මෘදුකාංග වලටත් මේක අදාලයි. ඒ විතරක් නෙවෙයි කාර්යක්ෂමතාව වැඩි පරිගණක යන්ත්‍ර වෙළඳපොලට පැමිණෙනවා.කොයි කර්මාන්ත අංශ සැලකුවත් ඕනෑම කර්මාන්තකරුවෙක් උත්සහ කරන්නේ ලාභය වැඩි කරගන්න. ඒ සඳහා මූලිකව නිෂ්පාදන වියදම අඩුකරගන්න සහ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න අවශ්‍යයි. මෘදුකාංග කර්මාන්තය සැලකුවහම ඒ වෙනුවෙන් නව සංස්කරණ, නව පරිඝණක යන්ත්‍ර යොදා ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආයෝජනය කරන්න වෙනවා. එතකොට කවුරු හරි මෘදුකාංග සමාගම් හිමියක් හිටියත් ව්‍යාපාරය ප්‍රසාරණය කරන්න ඕනි නැති, එයාටත් සිද්ධ වෙනවා අර නව සංස්කරණ, නව පරිගණක යොදාගන්න. මොකද එහෙම නැත්තම් එයාගේ තරඟකරුවෝ ඒ නව සංස්කරණ, නව පරිගණක යන්ත්‍ර භාවිතයෙන් ගුණාත්මකව ඉහල, සහ ලාභ මිල නිෂ්පාදන ඉදිරිපත් කරන කොට එයාට වෙළඳ තරඟයේදී පරාජයට පත්වෙලා වෙළඳ පොලෙන් ඉවතට විසි වෙලා යනවා. දැන් පෙන්වා ඇති කෙනෙකුට ව්‍යාපාරය ප්‍රසාරණය කරන්න ඕනි වුනේ නැතත් ආයෝජනය කිරීම මග හරින්න බෑ කියල. මෙන්න මේ හින්ද සෑම නිෂ්පාදකයෙකුටම සිද්ධ වෙනවා අඩුම තරමේ නොනැසී පැවැත්ම උදෙසා හෝ වැඩි වැඩියෙන් ලාභය හඹාගෙන යන්න.

මෙහෙම ලාභය හඹාගෙන යද්දී නිෂ්පාදන වියදම අඩුකරාට, කාර්යක්ෂමතාව වැඩිකරාට, විතරක් මදි. නිෂ්පාදන සඳහා වෙළඳ පොළකුත් අවශ්‍ය වෙනවා. නමුත් ධනවාදය වර්ධනයත් එක්ක සිද්ධ වෙන තව දෙයක් තමයි, බහුතරයකගේ ක්‍රය ශක්තිය අඩු වීම. මේ තත්වය ඇති වෙන්නේ ව්‍යවසායකයෝ තමන්ගේ නිෂ්පාදාන වියදම අඩු කරන්න ගන්න උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට. මේ කියන තත්වය සංඛ්‍යා දත්ත ඇසුරෙන් පැහැදිලි කරනවනම් ලංකාවේ පොහොසත්ම ගෘහ ඒකක 20% ලංකාවේ සමස්ත ගෘහ ඒකක ආදායමෙන් 54% ආසන්න කොටසක් හිමි කරගන්නවා. ඉතුරු 80%ටම ලැබෙන ආදායම සමස්ත ගෘහ ඒකක ආදායමෙන් 46% විතරයි. ඉතින් ජනගහනයේ බහුතරය සතු ආර්ථිකයේ පංගුව කුඩා වීමත්, විශාල ආර්ථික පංගුව සතු ජනගහනය ඉතා කුඩා වීමත් කියන මේ තත්වය තුල නිෂ්පාදකයාගේ වෙළඳපොළ පටු වෙනවා. මේක තවත් පැහැදිලි කරනවානම්. කොට්ට නිෂ්පාදකයෙක් සලකන්න. ඔහු තමන්ගේ ඉලක්ක ගත පාරිභෝගික ප්‍රජාව විදිහට ලංකාවේ සමස්ත ගෘහ ඒකක සංඛ්‍යාවම තෝරා ගත්තොත්, සමස්ත ගෘහ ඒකක ආදායමෙන් 46% පමණක් හිමි කරගන්න 80% සැලකුවහම ඔහුන් අතර කුඩා ආදායමක් වැඩි පිරිසක් අතර බෙදිලා ගිහින්, ඔවුන්ගේ ක්‍රය ශක්තිය අඩු මට්ටමක තියෙන හින්ද ඊට ගැලපෙන මිලකට තමයි නිෂ්පාදනය අලෙවි කරන්න වෙන්නේ. එතකොට 54% හිමිකරගත්ත 20% කොට්ටයක් ගන්නේත් අර මිලටමයි. ඒ ඇරුනහම ඒ කණ්ඩායම මිලට ගන්න මාධ්‍යන කොට්ට සංඛ්‍යාවත් අනිත් කොටසේ අගයම තමයි. 

දැන් ඔබට පේනවා ඇති යම් කිසි නිෂ්පාදනයක් ධනවාදය ඇතුලේ විකුණන කොට පන්ති පදනමෙන් විකුණුවේ නැතොත් එම භාණ්ඩයට අදාළ වෙළඳපොළ පුළුල් වෙන්නේ නෑ. මොකද එන්න එන්න බහුතරයේ ක්‍රය ශක්තිය ධනේශ්වරයේ අර්බුධකාරී ස්වභාවයේ ප්‍රතිඵලයක් විදිහට අඩු වෙන හින්ද. ධනවාදයේ ප්‍රතිඵලයන්ම වෙච්ච බහුතරයගේ ක්‍රය ශක්තිය අඩුවීම, සුළුතරයක් අත ධනය සංකේන්ද්‍රණය වීම කියන මෙන්න මේ හේතු හින්දා වෙළඳපොළ පුළුල් වීමට ඇති වෙන බාධාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි සුඛෝපභෝගී වෙළඳ සන්නාම ධනේශ්වර වෙළඳ පොල තුල පැන නගින්නේ. ලංකාවේ තත්වය සැලකුවොත් පොහොසත්ම 20% සතු සමස්ත ගෘහ ඒකක ආදායමෙන් 54%ක් වුනු ආර්ථිකයේ, පිවිසෙන්න පුළුවන් කොටස වැඩි කරගන්න ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි මේ සුඛෝපභෝගී වෙළඳ සන්නාම කියන්නේ.

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ විදිහට සුඛෝපභෝගී වෙළඳ සන්නාම බිහි වීම හොද දෙයක්ය. මේක හින්ද ධනපති සුළුතරයක් අතර සංකේන්ද්‍රණය වෙලා තියෙන ධනය විසිරිලා යනවය කියල. නමුත් කරුණු දෙකක් හින්ද එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. එකක් තමයි, ධනය සංකේන්ද්‍රණයට උත්තේජනයක් වෙමින්, සුඛෝපභෝගී වෙළඳ සන්නාම වල පැවැත්ම සහතික කරන අසමානතාවයේ පැවැත්ම, පෙරලා සහතික කරන අනොන්‍ය සබැඳියාවක් අසමානතාව සහ සුඛෝපභෝගී වෙළඳ සන්නාම අතර තිබීම කියන කාරණය. අනිත් එක තමයි, මේ සුඛෝපභෝගී වෙළඳ සන්නාම වල හිමිකාරීත්වය සතු වෙන්නේ ඉහත සඳහන් 20%ටම වීම. එක හින්ද සංකේන්ද්‍රණය වුනු ධනයේ විසිරීමක් සිදු වෙනවා වෙනුවට එතන සිද්ධ වෙන්නේ බල්ලෝ රංචුවක් මස් කට්ටකට පොර කන දර්ශනයේ මිනිස් සංස්කරණය (Human Version) ප්‍රදර්ශනය කෙරෙන එක විතරයි. 

-ප්‍රගාමී ව්‍යාපාරය.

ගෝඨාභය මාක්ස්වාදී ස්ථාවරයක් තහවුරුකරයි.!!!!




පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කර තිබුන ආකාරයට, බුද්ධි අංශ පිලිබඳ වර්තමාන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මතය වන්නේ, එම අංශ සාම කාලයෙදීත් වැදගත්ය යන්නයි. 

එය ඔහු විසින් ඉදිරිපත් කෙරෙන්නේ ජාතික සීමාවෙන් පරිබාහිරව අපේක්ෂිත අභියෝගයන් සැලකිල්ලට ගෙනයැයි උපකල්පනය කළහොත්, පැන නගින ගැටලුව වන, එම අභියෝගයන් අරභයා “ස්වයං ක්‍රියාකාරී අවිගත් කණ්ඩායමක” ක්‍රියාකාරිත්වය යෝග්‍ය නොවේද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී සාක්ෂාත් වන ස්වයං අවබෝධය වන්නේ, - පිළිතුර “නොවේ” යන්න බැවින්- රාජ්‍ය විසින් ජාතික සීමාව තුල ගොනු කෙරුණු ප්‍රජාව සැලකු විට එහි සමස්තයේ හෝ අඩුම තරමේ බහුතරයේ අවශ්‍යතාවය, හිර ගෙවල් සහ අනෙකුත් ආයතන තම අණසක යටතට ගෙන සිටින විශේෂ මණ්ඩල වලට අයත් සන්නාහ සන්නද්ධ පුද්ගලයන්ගෙන් නිර්මිත, රාජ්‍යය මගින්, නියෝජනය නොවන බවයි.මෙම ස්වයං අවබෝධයේ වලංගුභාවය, එය සාක්ෂාත් කරගැනීම කරා මෙහෙයවන ප්‍රශ්නයෙහි නිමිත්ත, ජාතික සීමාව තුලට විතැන් වූ අවස්තාවේදී සැලකූ විටද, අහෝසි වීමකට ලක් නොවේ.ඒ හැරුණු විට රාජ්‍යය සමන්විත මර්ධනකාරී ව්‍යුහයක අකාලික වැදගත්කම දක්වන, රාජ්‍යය නියෝජනය කරන පුද්ගලයකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ මෙම අදහස් දැක්වීම, මර්ධනය රාජ්‍යයේ අකාලික අවශ්‍යතාවක් බව සනාථ කරයි.

රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරය සැලකූවිට එමගින් ප්‍රකාශිත අදහස වන්නේද රාජ්‍යය සමස්තය නියෝජනහිලා අසමත් සහ මර්ධනකාරී ප්‍රපංචයක් වන බවය.

“..විසඳිය නොහැකි සේ සමාජය ප්‍රතිවිරෝධී පන්ති වලට බිඳී ගොස් තිබෙය යන ප්‍රධාන මතය හා මූලික අදහස අඳුරු කරවමින් සාමන්‍ය මිනිසාගේ සිත මනහර ලෙස අන් අතකට යොමු කරවීම පිණිස කරන එවැනි ප්‍රකාශනයක් “විද්‍යාත්මක” ලෙස පෙනේ.

මෙවැනි භේදයක් නොතිබුනුනම් දඬු වන්න මිලේච්ඡ මිනිසුන් සමූහයකින් හෝ එසේත් නැත්නම් ගෝත්‍ර සාමාජ සංවිධානයකින් හෝ “ස්වයං ක්‍රියාකාරී අවිගත් ජනතා සංවිධානය” උසස් වන්නේ සිය සංකීර්ණ බව හා උසස් ශිල්ප ඥානය ආදිය නිසාය. එහෙත් එවැනි සංවිධානයක් තවමත් ඇතිවිය හැක.

එහෙත් එවැනි සංවිධානයක් ඇතිවීම නොහැකි වන්නේ සභ්‍ය සමාජය සතුරු ලෙස භේදවී යාම සහ සමාදාන කල නොහැකි සේ සතුරු පන්ති වලට බෙදී යාමත් නිසා “ස්වයං ක්‍රියාකාරී” අවි ගැනීමකින් ඔවුන් අතර අවිගත් සටන් පැතිර යාමට ඉඩ කඩ ඇතිවිය හැකි බැවිනි. රජයක් ඇතිවීම සමග විශේෂ බලයක් නිර්මාණය වෙයි,අවිගත් මිනිසුන්ගේ විශේෂ හමුදා ඇතිවෙයි. තමන්ට සේවය කරන අවිගත් මිනිසුන්ගෙන් යුත් විශේෂ සංවිධාන සෑදීමට පන්තිය යත්න දරන සැටිත්, මර්ධනයට ගොදුරුවී සිටින සූරාකන්නන්ට සේවය නොකරන, සූරා කණු ලබන්නන්ට සේවය කරන, අලුත් පන්නයේ සංවිධානයක් සෑදීමට යත්න දරන සැටිත් රාජ්‍ය යන්ත්‍රය සුනු විසුනු කරමින් සෑම විප්ලවයක්ම අපට පැහැදිලිව පෙන්වයි.”

(රජය හා විප්ලවය - ලෙනින්)

මෙහිදී ගෝඨාභයගේ ප්‍රකාශයෙන් ආවරණය නොකෙරෙන රාජ්‍ය පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරයේ රාජ්‍යය නියෝජනය කරන සමාජ ස්ථරයේ අනන්‍යතාවය ආදී කොටස් සනාථ කිරීම, කටුනායකදී රොශාන චානක ඝාතනය, හලාවත ඇන්ටනී ඝාතනය, රතුපස්වල සිදුවීම ආදී සිදුවීම් තුල රාජ්‍යයයේ භාවිතයෙන් එම ප්‍රකාශයට පෙරම සනාථ කොට ඇත. එබැවින්, ගෝඨාභයගේ උක්ත අදහස් දැක්වීම, රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරය තහවුරු කිරීමක් ලෙස සැලකිය හැක.

-ප්‍රගාමී ව්‍යාපාරය.

මාක්ස්වාදය- මොකක්ද? මොකටද?


ප්‍රගාමී ව්‍යාපාරයේ අධ්‍යාපන අංශය විසින් ප්‍රකාශිත, මාක්ස්වාදය පිලිබඳ සරල සහ මූලික පැහැදිලි කිරීම් සහිත නිබන්ධ පෙළෙහි මුල් නිබන්ධය වන "මාක්ස්වාදය- මොකක්ද? මොකටද?" නිබන්ධයේ PDF පිටපත පහත දැක්වේ.

PDF පිටපත මෙතැනින්

රාජපක්ෂ පාලනයේ ප්‍රවර්ගය


ප්‍රගමී ව්‍යාපාරයේ තාවකාලික මධ්‍යම කාරක සභාවේ සභික පංකජ මිනුෂ ජයවික්‍රම සහෝදරයා එම ව්‍යාපාරයේ අධ්‍යාපන අංශය වෙනුවෙන් රචිත, වර්තමාන ලාංකීය පාලනය පිලිබඳ සිදුකල මාක්ස්වාදී විග්‍රහය අඩංගු, "රාජපක්ෂ පාලනයේ ප්‍රවර්ගය" කෘතියේ PDF පිටපත පහත දැක්වේ.