Saturday, August 17, 2013

බෝම්බ සහ ගින්දර



බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි, සිය සිරුරට ගිනි තබාගැනීමේ සිදුවීම, පසුගිය කාලය පුරාවට සිංහල බෞද්ධ ජන සමාජය තුල විවිධ අන්තවාදී කණ්ඩායම් විසින් වර්ගවාදය පදනම් කරගෙන සිදු කරන ලද අන්තවාදී උසිගැන්වීම් වල තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස හදුනා නොගෙන, එම සිදුවීම විස්මයට පත්විය යුතු හෝ පරමාදර්ශී කාරණයක් ලෙස හෝ හදුනාගැනීම, පැවති ප්‍රතිගාමී සමාජීය ප්‍රවණතාව හා ආගමෙහි වාස්තවික මූලයන් පිලිබඳ අවිඥානිකව සිටියවුන්ට පමණක් අයිති කාරණයක් වේ.

“අද ආගමේ ගැඹුරටම බැස ඇති මුල වූ කලී, වැඩ කරන ජනතාවගේ සමාජීය වශයෙන් පීඩිත තත්වය සහ ධනවාදයේ අන්ධ බලවේග ඉදිරියේ ඔවුන්ගේ ප්‍රත්‍යක්ෂ, පූර්ණ අසරණ භාවයයි. ධනවාදයේ මේ අන්ධබලවේග සෑම දවසකම, සෑම පැයකම, වැඩ කරන සාමාන්‍ය ජනතාවට ඉතාමත් භයානක පීඩාවන් සහ ඉතාමත් අමානුෂික හිරිහැර සිදු කරයි. මේවා යුද්ධ, භූමි කම්පා යන ආදී, අති විශේෂ සිදුවීම් වලින් ජනිත කරන්නා වූ හිරිහැර හා පීඩාවන්ට වඩා දහස් ගුණයකින් සැහැසිය. “බිය දෙවියන් සෑදීය” ධනවාදයේ අන්ධ බලවේගය කෙරෙහි බය- අන්ධයැයි කියනු ලබන්නේ එය බහු ජනතාව විසින් කලින් දැකිය නොහැකි බැවිනි - නිර්ධන පාන්තිකයාගේ සහ සුළු දේපල හිමියාගේ ජීවිතයේ සෑම පියවරකදී හදිසි, බලාපොරොත්තු රහිත,අකාස්මික, නස්පැත්තිය, විනාශය, දරිද්‍රතාව, ගණිකා වෘත්තිය, සාගින්නේ මිය යාම සිදු කිරීමට තර්ජනය හා සිදු කරන බලවේගය කෙරෙහි බිය-නූතන ආගමේ මුල මෙයයි. ” 
                                                                                                                                                                                                                      (ලෙනින්-සම්පූර්ණ කෘති, වෙළුම 15)

ඉහත උධෘතය මගින් පැහැදිලි කරන ආගමේ මූලය පිලිබඳ කරුණු පදනම් කරගනිමින් ගනිමින් ආගම පිළිබද අර්ථනිරූපනය සරලව ඉදිරිපත් කලහොත්, ආගම යනු, මිනිසාට බියජනක විනාශයක් උරුම කරන්නාවූ මෙතෙක් පැවතී සහ පවතින නිෂ්පාදන සබඳතාවන්ගේ බිහිසුණු ව්‍යුත්පන්නයන් නමැති දියේ ගිලෙන්නාට, අවසානයට එල්ලෙන්නට ඉතිරිව ඇතැයි ඔහු සිතන, පිදුරු ගහකට වැඩියමක් ලෙස ඔහුට දෘශ්‍යමානවන දෙයයි. දුකින් පීඩිතව, හෙම්බත්ව ඇති මනුෂ්‍ය ජීවිතය ලාංකීය සන්දර්භය තුලනම් වෙනත් ජන්මයක හෝ දිව්‍යලෝකයේ හෝ කලාතුරකින් කෙනෙකුට නිවන තුලදී සනසාගත හැකි බවට ආගම පොරොන්දු දෙයි. එවැනි පසුබිමක එහි පැවැත්ම අභියෝගයට ලක්කෙරෙන බලවේගයක්(මෙම බලවේගය ලෙස වෙනත් ආගමක් හදුනාගැනීමද සිදුවිය හැක මන්ද සෑම ආගමකම මිත්‍යාදෘෂ්ටිය අදාල ආගමික විමුක්තියට බාධා කරන්නක් ලෙස ඉගැන්වේ.) ගහෙන් වැටුණු මිනිහාට අනින්නට එන ගොනෙකු ලෙස දැකීමත්, එම බලවේගයන් මරාගෙන මැරෙන (බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ සිය ක්‍රියාමාර්ගය අර්ථනිරූපනය කලේ ස්වකීය ආගමෙහි පැවැත්ම අභියෝගයට ලක්කෙරෙන බලවේගයන්යැයි උන්වහන්සේ විශ්වාස කල බලවේගයන්ට එරහි, ඒවායේ පැවැත්ම අහෝසිකරන ක්‍රියාමාර්ගයක් ලෙසටය) අන්දමේ හැගීමක් ජනිත වීමත් අරුමයක් වේද!!!

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ සිදුවීම සම්බන්දව අවධානය යොමු කරන විට, උන්වහන්සේගේ එම පැවතී වාස්තවික තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමෙහි මූලයන් සෙවීමට එහා ගිය, එහි සමාජීය ස්ථානගත වීම අලලා පළල් විග්‍රහයකට එළඹිය යුතුව ඇති අතර, එසේ එළඹීමේදී එය සම්බන්ධව අවධානය යොමුකළ යුත්තේ, එම සිදුවීම වර්ගවාදී දේශපාලනික වපසරිය මත තබාය. එතකුදු වුවද එසේ සිදු කිරීමේදී එය සිදුවීමක් ලෙස වියුක්තව නිරීක්ෂණය කරමින් එය වර්ගවාදී දේශපාලනික ව්‍යාපාරයක්(දේශපාලනික ව්‍යාපාරය = මතවාද = මෙම සිදුවීමට අදාලව අන්‍යාගමිකගමිකකරණය වැලැක්වීම, ගව ඝාතනය වැලැක්වීම) ප්‍රවර්ධනය කිරීම උදෙසා වූ, සමාජීය සර්වත්‍ර කුලකයෙහි උප කුලකයක් වූ ස්වකීයත්වය නියෝජනය කරන්නාවූ කුලකයේ, අනුපූරකයෙහි අවයවයක් බවට පත්වන අනෙකාගේ කුමන නිදහසක් උලංගනය වීම මතවත් පරායත්ත නොවන, භාවිත පරාසයක් අත්කරගන්නා ක්‍රියාකාරීත්වයක් ලෙස දැකීමට සීමා වීම බරපතල සමාජීය අනතුරක් සංවේදනය නොවීමට හේතුවක් බවට පත් වේ. මන්ද ආගම උදෙසා ස්වයංව ඝාතනය වීම ආගම උදෙසා ඝාතනය කිරීම දක්වා ප්‍රසාරණය වීමේ ඉහල සම්භාවිතාවක් පවතින බැවිනි.

මේ තත්වය සරල උදාහරණයකින් පැහැදිලි කළ හැක. මුස්ලිම් අන්තවාදී මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සිදු කරන්නේද තමන් ආගම උදෙසා ස්වයංව ඝාතනය වීම, එසේ ඝාතනය වීමට උපයෝගීකර ගන්නා බෝම්බය හරහා ආගම උදෙසා ඝාතනය කිරීම දක්වා ප්‍රසාරණය කිරීමයි.මීට අනුරූපව බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි ආගම උදෙසා ස්වයංව ඝාතනය වීමට භාවිතා කල ගිනි දැල් -උන්වහන්සේ විසින්ම නොවුවත් -ආගම උදෙසා ඝාතනය කිරීම දක්වා ප්‍රසාරණය වීමට ඇති අවධානම, පවතින ධනපති පාලන තන්ත්‍රය පිලිබඳ සවිඥානික වෙමින් අපි තේරුම් ගත යුතුය .

“ප්‍රතිගාමී ධනේශ්වර පන්තිය සෑම තැන්හීම ආගමික කලහා ඇවිස්සවීමට කටයුතු කර ඇති අතර දැන් ඔවුන් රුසියාවේ එසේ කිරීමට ආරම්භකර ඇත.ඔවුන් මෙසේ කරන්නේ අද විප්ලවීය අරගලයේ ඒකරාශී වී සිටින සමස්ත රුසියා නිර්ධන පන්තිය විසින් ප්‍රායෝගික ලෙස විසඳනු ලබමින් ඇත්තාවූ සැබවින්ම වැදගත් සහ මූලික ආර්ථික දේශපාලන ගැටලුවලින් පොදු ජනතාවගේ අවධානය එමගින් වෙනතකට හැරවීම සඳහාය”
                                                                                                                                                                                                    (1905/12/03-ලෙනින්-සම්පූර්ණ කෘති, වෙළුම 12)

එබැවින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිගේ සිදුවීම පරමාදර්ශී සිදුවීමක් ලෙස සමාජීයව ඔසවාතබනවාට ප්‍රතිපක්ෂව එය පිටුදැකිය යුතු අගතියක් ලෙස මූලිකව හදුනාගැනීම වර්ගවාදී බලවේගයන්ගේ අනාගත විනාශකාරී පියවරයන් වැලකීමට ගන්නා බුද්ධිමය ප්‍රවේශයක් බවට පත්වනු නොඅනුමානය. 

-ප්‍රගාමී ව්‍යාපාරය


No comments:

Post a Comment