Sunday, May 5, 2013

වර්තමානයේ දෘශ්‍යමාන සමාජීය අර්බුධවල ප්‍රභවය.



(පරමාදර්ශී සමාජයක් ගොඩනැගීම උදෙසා ගත යුතු පියවර ලෙස, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ශිෂ්‍ය දෙව්මාල් නිලංක හඳපාන්ගොඩ සහෝදරයා විසින් යෝජනා කරන ලද, ආයතනමය ප්‍රතිස්ථාපනයක් සිදුකිරීමේ යෝජනාවකට, ෆේස් බුක් මාධ්‍යයෙන්, ප්‍රගමී ව්‍යාපාරයේ තාවකාලික මධ්‍යම කාරක සභාවේ සභික පංකජ මිනුෂ ජයවික්‍රම සහෝදරයා දුන් පිළිතුර)

මේකට පිළිතුරක් දෙද්දී මූලිකවම කියන්න ඕනි කාරණා දෙකක් තියෙනවා. ඒකෙන් පලවෙනි එක තමයි, මේකට පිලිතුරක් මෙවැනි මාධ්‍යකින් දීම ලෙහෙසි කාරණයක් නෙවෙයි කියන එක. ඒ හින්ද ඉදිරිපත් කරන පිළිතුර සාරාංශ ගත එකක් වීම වලක්වන්න බැහැ. ඊලග කාරනාව තමයි, මේකට මම දෙන පිලිතුර දෙන්නේ, මම මාක්ස්වාදියෙක් කියන පදනමේ ඉදල. එම නිසා මේක මාක්ස්වාදය මත පදනම් වෙච්ච පිළිතුරක් වීමත් වලක්වන්න බෑ.

දැන් අපි සංවාදය දිහාවට හැරෙමු. සංවාදය ආරම්භයේ ඉදලම බැලුවොත් සංවාදය ඉදිරියට ගලාගෙන ගිහින් තියෙන්නේ යම් කිසි සුවිශේෂී පදනමක් මත කියල අපිට දකින්න පුළුවන්. ඒ තමයි දැනට මෙරට පවතින තත්වය අයහපත්ය, එය යම් කිසි වෙනසකට භාජනය විය යුතුය කියන පදනමේ ඉදල. එතැනදී සහෝදරයා ඒ තත්වයට විකල්පයක් විදිහට පාර්ලිමේන්තුව අහෝසි කිරීම, නව ආයතන ගෙන එම වගේ දේවල් යෝජනා කරා. නමුත් විකල්පයක ඉදිරිපත් කිරීමට පෙර අපි මූලිකවම සිදු කල යුතුදේ වෙන්නේ, වර්තමාන තත්වය අයහපත් වන්නේ ඇයි, වර්තමාන තත්වයේ ඇති අර්බුධ මොනවාද, ඒවායේ මූලයන් මොනවාද යන්න හදුනා ගැනීමයි. ඒ දේ සිදු නොකර විකල්ප ඉදිරිපත් කිරීම අදුරේ අතපත ගෑමක් විතරයි.

ශ්‍රී ලංකාවත් ඇතුළුව අද ලෝකයේම තියෙන ධනවාදී සමාජවල සාමාන්‍ය ජන විඥානයට දෘශ්‍යමානවන ගැටළු සැලකුවොත් ඒවා ප්‍රධාන ප්‍රවර්ග දෙකක් යටතේ ගොනු කරන්න පුළුවන්. ඉන් එකක් තමයි, මිනිසාට හිමි, ස්වකීය ජීවිතයේ කටයුතු වල තීරක බලය සීමා සහිත වීමට අදාළ ගැටළු. අනිත් එක තමයි. සමාජ විරෝධී ක්‍රියාවන්ගේ වර්ධනයට අදාලව මතුවන ගැටළු. මේවා ඉරක් ගහල වෙන්කරන්න බැරි, අන්තර් සබඳතා සහිත ඒවා උනත් සාකච්චා කිරීමේ පහසුව තකා මේ ප්‍රවර්ග දෙක යටතේ සාකච්චා කරමු. අනිත් එක තමයි මෙතනදී සාකච්චා වෙන්නේ ජන විඥානයට ලෙහෙසියෙන් දෘශ්‍යමාන ගැටළු විතරයි කියන එකත් නැවත මතක් කරන්න කැමතියි.

පලවෙනි ප්‍රවර්ගයට අදාල ගැටළු සම්බන්ධව අවධානය යොමු කලොත්, ජීවිතය විඳීමට කාලයක් නොමැති වීම, කුටුම්භය තුල අන්තර් සබඳතා බිඳ වැටීම, ජීවිතය අතෘප්තිකර තත්වයකට පත් වීම, ජීවිතය විඩාවට පත්වීම වගේ දේවල් දක්වන්නට පුළුවන්. අද සමාජයේ බහුතරයකගේ ජීවිත දිහාවට ලංවෙලා බැලුවොත් දකින්න ලැබෙන දේ තමයි, ඔවුන්ගේ සාමාන්‍ය දිනයක් සැලකුවොත් එයින් වැඩි කාලයක් ගතවෙන්නේ මිනිස්සු තමන්ට “අවශ්‍ය නිසා කරන වැඩ” වලට නෙවෙයි කියන එක, ඔවුන්ට වැඩි කාලයක් වැය කරන්න වෙලා තියෙන්නේ තමන්ට “කරන්න සිද්ද වෙලා තියෙන නිසා කරන වැඩ” කරන්න කියන එක. ඒවගේම තමයි තාක්ෂණයේ දියුණුවට, මනුෂ්‍යායාගේ නිදහස් කාලය අනුලෝමව සමානුපාතික විය යුතුව තිබුනත්, එක සිදු වෙලා නෑ කියන එක. මන් මෙතන අවසානයට සඳහන් කරපු අර්බුද දෙක, ඊට ඉහත සඳහන් කරපු අර්බුද ඇති කරන්න හේතුවක් වශයෙනුත් ක්‍රියා කරනවා කියල ඕනිම කෙනෙකුට තේරෙනවා ඇති. පලවෙනි ප්‍රවර්ගයට අදාලව මේ වගේ ගැටළු රාශියක් අපිට මේ සමාජය ඇතුලේ හදුනා ගන්න පුළුවන්.

ඊලගට අපි අනෙක් ප්‍රවර්ගය දිහාවට අවධානය යොමු කලොත්, ඒ සම්බන්ධ කරුණු කාරණා මම මෙතන විශේෂයෙන් සඳහන් නොකලත් සමාජයතුළ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට ඒ ප්‍රවර්ගයට අදාල ගැටළු ගැන ප්‍රාමාණික අවබෝධයක් තියෙනවා. කුලියට මිනී මැරීම, සොරකම් කිරීම, ලිංගික වෙළදාම, මත් ද්‍රව්‍ය වෙළදාම ආදී බොහෝ සමජවිරෝධී ක්‍රියාවන් සමාජය තුල දකින්නට පුළුවන්. නමුත් මෙතැනදී විශේෂ අවධානයක් යොමු වියයුතු කරුණක් තියෙනවා. ඒ තමයි, මේ සියල්ල අද වෙනකොට දැවැන්ත කර්මාන්ත(Industy) තත්වයට පත්ව තිබීම. එම නිසා මේ කර්මාන්ත ප්‍රවර්ධනයට අදාලව නිමක් නැති සදාචාරාත්මක බිඳ වැටීමක් සමාජය තුල දකින්න පුළුවන්. මෑත කාලීන සමාජයේ දකින්න ලැබුන ඝාතන, ස්ත්‍රී දුෂණ මේවට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්.

මේ ප්‍රවර්ග දෙකටම අදාළ ගැටළු දිහා තාර්කිකව බැලුවොත් මේවා සියල්ලටම හේතුව වර්තමාන සමාජයේ තියෙන ආර්ථික සැකැස්ම කියල අපිට පැහැදිලි වෙනවා. පළවැනි ප්‍රවර්ගයට අදාළ ගැටළු දිහා බැලුවොත් ඒවා සියල්ලට හේතුව ශ්‍රම සූරා කෑම. ඒ ශ්‍රම සූරාකෑම ඇතුලේ අපිට අපේ පැවැත්මට විතරක් නෙවයි ධනපතියාගේ පැවැත්ම වෙනුවෙනුත් වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා. ඉතින් කොහෙද අපිට ජීවතේ විඳින්න වෙලාවක්, ඉතින් කොහෙද අපිට කුටුම්භය ඇතුලේ අන්තර් සබඳතා ගොඩ නගන්න වෙලාවක්, ඉතින් කොහෙද අපිට තෘප්තිමත් ජීවිතයක්..

දෙවැනි ප්‍රවර්ගයට අදාළ ගැටළු ගැන සැලකුවත් ඒවයේ හේතුව වෙන්නෙත් වර්තමාන ආර්ථික සැකැස්මමයි. වර්තමාන ආර්ථික ක්‍රමය සමාජයේ ඉන්න මනුෂ්‍යයාගේ මිලදී ගැනීමේ හැකියාව අඩු කරලා තියෙනවා.(ශ්‍රම සැපයුම,ඉල්ලුමට වඩා ඉතා ඉහල මට්ටමක පැවතීම ප්‍රයෝජනයට ගෙන ධනපතියා කම්කරුවාගේ වැටුප අවම මට්ටමක පවත්වා ගැනීම නිසා) ඒ නිසා නිෂ්පාදන වර්ධනය බාධා සිදු වෙලා තියෙනවා (සැබෑ අවශ්‍යතාවය වඩා අඩුවෙන් නිපදවනවා, නිෂ්පාදන අවශ්‍ය මිනිසුන් කොපමණ සිටියත් “විකිණීමට” නොහැකි නිසා ) එම නිසා රැකියා අවස්ථා නිර්මාණය වීම අඩු එල තියෙනවා. එම නිසා විරැකියාව වැඩි වෙලා තියෙනවා(තාක්ෂණයේ දියුණුව, වෙළද අර්බුධ වැනි දේත් මීට හේතු වෙනවා. නමුත් වෙළද පොළ තරගයක් නොමැතිනම් තාක්ෂණයේ දියුණුව විරැකියාවට හේතුවක් වන්නේ නැත. එවිට වන්නේ සේවකයෙකුගේ වැඩ දිනයක පැය ගණන අඩු වීම පමණකි) ඉතින් සමාජයේ කොටසක් විරැකියාවට පිළිතුරක් විදිහට සමාජ විරෝධී කර්මන්ත තෝරා ගන්න එක තමයි මේ තත්වයන්ගේ තර්කානුකූල ප්‍රතිඵලය.

ඉතින් ආර්ථික සැකැස්ම ප්‍රභවය වෙච්ච මේ ගැටළු ගොන්න විසදන්න නව පාලකයෝ, නව ආයතන, ආගමික මැදිහත්වීම් වගේ විකල්ප කොච්චර ඉදිරිපත් කලත් වැඩක් නෑ. ඒ සියල්ල වර්තමාන සැකැස්මටම ගොදුරු වෙලා විනාශ වෙලා යනවා. ඒ හින්ද අපි කල යුත්තේ ආර්ථික සැකැස්ම වෙනස් කිරීමයි. ඒ හරහා තමයි අපිට පරමාදර්ශී සමාජයක් බිහිකරන්න හැකි වෙන්නේ. හොදට මතක තියාගන්න, සමාජයේ බහුතරයක් තව කෙනෙකුට කන්න දෙන්නේ තමන් බඩගින්නේ නැත්නම් විතරයි..

-ප්‍රගාමී ව්‍යාපාරය

No comments:

Post a Comment