Thursday, October 10, 2013

රබර් අත්වැසුමක ආවස්ථික පිරිවැය.


ආර්ථික විද්‍යාවේ යෙදෙන මූලිකම සංකල්පයක් වෙන ආවස්ථික පිරිවැය නම් සංකල්පයේ සරල අදහස තමයි, “යම් භාන්ඩයක් නිපදවීමේදී හෝ පරිභෝජනයේදී කැප කරන අනික් භාණ්ඩයේ වටිනාකම යන්න” යන්න.

ලංකාවේ ජනතාවට ධනවාදය ප්‍රභලව විග්‍රහ කරලා දුන්නු අවස්ථාවක් වුන, රතුපස්වල සිදුවීමට මුල්වුණු, විනිග්‍රෝස් කර්මාන්තශාලාවේ නිපදවුණු අත්වැසුම් නිෂ්පාදනය වෙනුවෙන්, ඒ කර්මාන්ත ශාලාවට ප්‍රාග්ධනය යොදවපු ධනපතීන් ඒ අවට ගම් දහයක ජනතාවගේ පානිය ජල අයිතියේ ඉඳන් ජීවත් වීමේ අයිතිය දක්වා පරාසයක අයිතීන් උදුරා ගත්තා. එහෙම බැලුවොත් අවසාන විග්‍රහයේදී ධනපතියෝ අත්වැසුම් වෙනුවෙන් කැප කරලා තියෙන්නේ මනුෂ්‍යත්වයයි, මානවහිතවාදයයි. පාරිභාෂික වචන වලින් කිව්වොත් අත්වැසුම් වල ආවස්ථික පිරිවැය වෙලා තියෙන්නේ මානවහිතවාදයේ, මනුෂ්‍යත්වයේ වටිනාකමයි. වෙළද පොළ තරගය අනිවාර්යය ලක්ෂණයක් වෙච්ච ධනවාදය ඇතුලේ මේ තත්වය සාමාන්‍යයි. එකේදී මූලිකත්වය හිමිවෙන්නෙ ලාභයට. මොකද මූලිකවම නව ප්‍රාග්ධන ආයෝජන රහිතව (අඩුම තරමේ නව උපකරණ උදෙසා හෝ ) කිසිම ධනපතියෙකුට වෙළද තරගය ඇතුලේ නොනැසී පවතින්න බැරි හින්ද. 

ඉතින් තවත් රතුපස්වල අද්දැකීමක් විඳින්න ලැබෙන එක වලක්වා ගන්න කරන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ එයාට ලැබුණු අලුත් අමාත්‍යංශය යටතේ නීතියයි සාමයයි රකිනකන් බලා ඉන්න එක නෙවෙයි. පරමාදර්ශී කොමියුනිස්ට් සමාජයක් ගොඩ නගන්න වැඩවසම් මානසිකත්වයෙන් මිදිලා පෙළ ගැහෙන එකයි.

ඒ වගේම අවසාන වශයෙන් කියන්න ඕනි දෙයක් වෙන්නේ අපි කලින් සඳහන් කරපු ආවස්ථික පිරිවැය සංකල්පය පැහැදිලි කරන්න, ආර්ථික විද්‍යාවේදී යොදාගන්න "නිෂ්පාදන හැකියා වක්‍රය" සැලකුවොත් සාමාන්‍යයෙන් තර්කානුකුල නිෂ්පාදන හැකියා වක්‍රයක් ලිපිය සමග ඉදිරිපත් කරලා තියෙන රූපයේ වගේ මූලයට අවතලව තමයි පිහිටන්නේ. එකේ සරල අර්ථය වෙන්නේ එක් භාන්ඩයක නිෂ්පාදන ප්‍රමාණය ස්ථාවර ප්‍රමාණයකින් ඉහල දැමීමේදී අනික් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් ඉහල යනවා කියන එකයි. ඒ කියන්නේ, ධනේශ්වර නිෂ්පාදනය වෙනුවෙන් මනුෂ්‍යත්වය, මානවවාදී බව, කැප කරන්න සිදුවෙන අවස්ථා වල, ධනේශ්වර නිෂ්පාදය ස්ථාවරව ඉහල යද්දී, කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරමින්, ධනපතීන් මනුෂ්‍යත්වය, මානවවාදී බව කැප කරනවා කියන එකයි. ඒක හින්ද ධනපති රාජ්‍ය යන්ත්‍රය, මනුෂ්‍යත්වය තමන්ගේ නිෂ්පාදනය වෙනුවෙන් කැප කරපු කොම්පැනිකාරයෙක්ට විරුද්ධව සටනට එකතු වූ පීඩිත මිනිස්සුන්ගෙන් ඒ කොම්පනිකාරයව බේරගන්න තව එකෙකුට දෙන්නෙකුට වෙඩි තිබ්බට පුදුම වෙන්න එපා. අපි කලිනුත් කිව්වා වගේ ඒ ධනවාදයේ හැටි.

-ප්‍රගාමී ව්‍යාපාරය 

No comments:

Post a Comment