Sunday, May 5, 2013

වර්තමානයේ දෘශ්‍යමාන සමාජීය අර්බුධවල ප්‍රභවය.



(පරමාදර්ශී සමාජයක් ගොඩනැගීම උදෙසා ගත යුතු පියවර ලෙස, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ශිෂ්‍ය දෙව්මාල් නිලංක හඳපාන්ගොඩ සහෝදරයා විසින් යෝජනා කරන ලද, ආයතනමය ප්‍රතිස්ථාපනයක් සිදුකිරීමේ යෝජනාවකට, ෆේස් බුක් මාධ්‍යයෙන්, ප්‍රගමී ව්‍යාපාරයේ තාවකාලික මධ්‍යම කාරක සභාවේ සභික පංකජ මිනුෂ ජයවික්‍රම සහෝදරයා දුන් පිළිතුර)

මේකට පිළිතුරක් දෙද්දී මූලිකවම කියන්න ඕනි කාරණා දෙකක් තියෙනවා. ඒකෙන් පලවෙනි එක තමයි, මේකට පිලිතුරක් මෙවැනි මාධ්‍යකින් දීම ලෙහෙසි කාරණයක් නෙවෙයි කියන එක. ඒ හින්ද ඉදිරිපත් කරන පිළිතුර සාරාංශ ගත එකක් වීම වලක්වන්න බැහැ. ඊලග කාරනාව තමයි, මේකට මම දෙන පිලිතුර දෙන්නේ, මම මාක්ස්වාදියෙක් කියන පදනමේ ඉදල. එම නිසා මේක මාක්ස්වාදය මත පදනම් වෙච්ච පිළිතුරක් වීමත් වලක්වන්න බෑ.

දැන් අපි සංවාදය දිහාවට හැරෙමු. සංවාදය ආරම්භයේ ඉදලම බැලුවොත් සංවාදය ඉදිරියට ගලාගෙන ගිහින් තියෙන්නේ යම් කිසි සුවිශේෂී පදනමක් මත කියල අපිට දකින්න පුළුවන්. ඒ තමයි දැනට මෙරට පවතින තත්වය අයහපත්ය, එය යම් කිසි වෙනසකට භාජනය විය යුතුය කියන පදනමේ ඉදල. එතැනදී සහෝදරයා ඒ තත්වයට විකල්පයක් විදිහට පාර්ලිමේන්තුව අහෝසි කිරීම, නව ආයතන ගෙන එම වගේ දේවල් යෝජනා කරා. නමුත් විකල්පයක ඉදිරිපත් කිරීමට පෙර අපි මූලිකවම සිදු කල යුතුදේ වෙන්නේ, වර්තමාන තත්වය අයහපත් වන්නේ ඇයි, වර්තමාන තත්වයේ ඇති අර්බුධ මොනවාද, ඒවායේ මූලයන් මොනවාද යන්න හදුනා ගැනීමයි. ඒ දේ සිදු නොකර විකල්ප ඉදිරිපත් කිරීම අදුරේ අතපත ගෑමක් විතරයි.

ශ්‍රී ලංකාවත් ඇතුළුව අද ලෝකයේම තියෙන ධනවාදී සමාජවල සාමාන්‍ය ජන විඥානයට දෘශ්‍යමානවන ගැටළු සැලකුවොත් ඒවා ප්‍රධාන ප්‍රවර්ග දෙකක් යටතේ ගොනු කරන්න පුළුවන්. ඉන් එකක් තමයි, මිනිසාට හිමි, ස්වකීය ජීවිතයේ කටයුතු වල තීරක බලය සීමා සහිත වීමට අදාළ ගැටළු. අනිත් එක තමයි. සමාජ විරෝධී ක්‍රියාවන්ගේ වර්ධනයට අදාලව මතුවන ගැටළු. මේවා ඉරක් ගහල වෙන්කරන්න බැරි, අන්තර් සබඳතා සහිත ඒවා උනත් සාකච්චා කිරීමේ පහසුව තකා මේ ප්‍රවර්ග දෙක යටතේ සාකච්චා කරමු. අනිත් එක තමයි මෙතනදී සාකච්චා වෙන්නේ ජන විඥානයට ලෙහෙසියෙන් දෘශ්‍යමාන ගැටළු විතරයි කියන එකත් නැවත මතක් කරන්න කැමතියි.

පලවෙනි ප්‍රවර්ගයට අදාල ගැටළු සම්බන්ධව අවධානය යොමු කලොත්, ජීවිතය විඳීමට කාලයක් නොමැති වීම, කුටුම්භය තුල අන්තර් සබඳතා බිඳ වැටීම, ජීවිතය අතෘප්තිකර තත්වයකට පත් වීම, ජීවිතය විඩාවට පත්වීම වගේ දේවල් දක්වන්නට පුළුවන්. අද සමාජයේ බහුතරයකගේ ජීවිත දිහාවට ලංවෙලා බැලුවොත් දකින්න ලැබෙන දේ තමයි, ඔවුන්ගේ සාමාන්‍ය දිනයක් සැලකුවොත් එයින් වැඩි කාලයක් ගතවෙන්නේ මිනිස්සු තමන්ට “අවශ්‍ය නිසා කරන වැඩ” වලට නෙවෙයි කියන එක, ඔවුන්ට වැඩි කාලයක් වැය කරන්න වෙලා තියෙන්නේ තමන්ට “කරන්න සිද්ද වෙලා තියෙන නිසා කරන වැඩ” කරන්න කියන එක. ඒවගේම තමයි තාක්ෂණයේ දියුණුවට, මනුෂ්‍යායාගේ නිදහස් කාලය අනුලෝමව සමානුපාතික විය යුතුව තිබුනත්, එක සිදු වෙලා නෑ කියන එක. මන් මෙතන අවසානයට සඳහන් කරපු අර්බුද දෙක, ඊට ඉහත සඳහන් කරපු අර්බුද ඇති කරන්න හේතුවක් වශයෙනුත් ක්‍රියා කරනවා කියල ඕනිම කෙනෙකුට තේරෙනවා ඇති. පලවෙනි ප්‍රවර්ගයට අදාලව මේ වගේ ගැටළු රාශියක් අපිට මේ සමාජය ඇතුලේ හදුනා ගන්න පුළුවන්.

ඊලගට අපි අනෙක් ප්‍රවර්ගය දිහාවට අවධානය යොමු කලොත්, ඒ සම්බන්ධ කරුණු කාරණා මම මෙතන විශේෂයෙන් සඳහන් නොකලත් සමාජයතුළ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට ඒ ප්‍රවර්ගයට අදාල ගැටළු ගැන ප්‍රාමාණික අවබෝධයක් තියෙනවා. කුලියට මිනී මැරීම, සොරකම් කිරීම, ලිංගික වෙළදාම, මත් ද්‍රව්‍ය වෙළදාම ආදී බොහෝ සමජවිරෝධී ක්‍රියාවන් සමාජය තුල දකින්නට පුළුවන්. නමුත් මෙතැනදී විශේෂ අවධානයක් යොමු වියයුතු කරුණක් තියෙනවා. ඒ තමයි, මේ සියල්ල අද වෙනකොට දැවැන්ත කර්මාන්ත(Industy) තත්වයට පත්ව තිබීම. එම නිසා මේ කර්මාන්ත ප්‍රවර්ධනයට අදාලව නිමක් නැති සදාචාරාත්මක බිඳ වැටීමක් සමාජය තුල දකින්න පුළුවන්. මෑත කාලීන සමාජයේ දකින්න ලැබුන ඝාතන, ස්ත්‍රී දුෂණ මේවට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්.

මේ ප්‍රවර්ග දෙකටම අදාළ ගැටළු දිහා තාර්කිකව බැලුවොත් මේවා සියල්ලටම හේතුව වර්තමාන සමාජයේ තියෙන ආර්ථික සැකැස්ම කියල අපිට පැහැදිලි වෙනවා. පළවැනි ප්‍රවර්ගයට අදාළ ගැටළු දිහා බැලුවොත් ඒවා සියල්ලට හේතුව ශ්‍රම සූරා කෑම. ඒ ශ්‍රම සූරාකෑම ඇතුලේ අපිට අපේ පැවැත්මට විතරක් නෙවයි ධනපතියාගේ පැවැත්ම වෙනුවෙනුත් වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා. ඉතින් කොහෙද අපිට ජීවතේ විඳින්න වෙලාවක්, ඉතින් කොහෙද අපිට කුටුම්භය ඇතුලේ අන්තර් සබඳතා ගොඩ නගන්න වෙලාවක්, ඉතින් කොහෙද අපිට තෘප්තිමත් ජීවිතයක්..

දෙවැනි ප්‍රවර්ගයට අදාළ ගැටළු ගැන සැලකුවත් ඒවයේ හේතුව වෙන්නෙත් වර්තමාන ආර්ථික සැකැස්මමයි. වර්තමාන ආර්ථික ක්‍රමය සමාජයේ ඉන්න මනුෂ්‍යයාගේ මිලදී ගැනීමේ හැකියාව අඩු කරලා තියෙනවා.(ශ්‍රම සැපයුම,ඉල්ලුමට වඩා ඉතා ඉහල මට්ටමක පැවතීම ප්‍රයෝජනයට ගෙන ධනපතියා කම්කරුවාගේ වැටුප අවම මට්ටමක පවත්වා ගැනීම නිසා) ඒ නිසා නිෂ්පාදන වර්ධනය බාධා සිදු වෙලා තියෙනවා (සැබෑ අවශ්‍යතාවය වඩා අඩුවෙන් නිපදවනවා, නිෂ්පාදන අවශ්‍ය මිනිසුන් කොපමණ සිටියත් “විකිණීමට” නොහැකි නිසා ) එම නිසා රැකියා අවස්ථා නිර්මාණය වීම අඩු එල තියෙනවා. එම නිසා විරැකියාව වැඩි වෙලා තියෙනවා(තාක්ෂණයේ දියුණුව, වෙළද අර්බුධ වැනි දේත් මීට හේතු වෙනවා. නමුත් වෙළද පොළ තරගයක් නොමැතිනම් තාක්ෂණයේ දියුණුව විරැකියාවට හේතුවක් වන්නේ නැත. එවිට වන්නේ සේවකයෙකුගේ වැඩ දිනයක පැය ගණන අඩු වීම පමණකි) ඉතින් සමාජයේ කොටසක් විරැකියාවට පිළිතුරක් විදිහට සමාජ විරෝධී කර්මන්ත තෝරා ගන්න එක තමයි මේ තත්වයන්ගේ තර්කානුකූල ප්‍රතිඵලය.

ඉතින් ආර්ථික සැකැස්ම ප්‍රභවය වෙච්ච මේ ගැටළු ගොන්න විසදන්න නව පාලකයෝ, නව ආයතන, ආගමික මැදිහත්වීම් වගේ විකල්ප කොච්චර ඉදිරිපත් කලත් වැඩක් නෑ. ඒ සියල්ල වර්තමාන සැකැස්මටම ගොදුරු වෙලා විනාශ වෙලා යනවා. ඒ හින්ද අපි කල යුත්තේ ආර්ථික සැකැස්ම වෙනස් කිරීමයි. ඒ හරහා තමයි අපිට පරමාදර්ශී සමාජයක් බිහිකරන්න හැකි වෙන්නේ. හොදට මතක තියාගන්න, සමාජයේ බහුතරයක් තව කෙනෙකුට කන්න දෙන්නේ තමන් බඩගින්නේ නැත්නම් විතරයි..

-ප්‍රගාමී ව්‍යාපාරය

නලින් ද සිල්වාගේ මහා විසංවාදය.



වාස්තවිකත්වයට එරහිව නලින් ද සිල්වා සිය ප්‍රබලතම ශාස්ත්‍රීය අවිය ලෙස යොදා ගනුලබන්නේ, වාස්තවිකත්වය මනසින් ස්වායත්තව ඔප්පු කර පෙන්වන්න, යන අභියෝගයයි. මෙහිදී, එසේ කිරීමට නොහැකි වීම තුල වාස්තවිකත්වයක් නැතැයි යන්න ඔප්පුවේයැයි, ඔහුගේ නිගමනයයි. නමුත් එලෙස එම නිගමනයට එළඹීම, චතුෂ්කෝටික තර්ක ක්‍රමය පිළිගන්නා නලින් ද සිල්වාගේම දර්ශනයට, අදාලව විසංවාදී වෙයි. මන්ද එලෙස එම නිගමනයට එළඹීම ද්විකෝටික තර්කන ක්‍රියාවලියක් වන බැවිනි. නලින් ද සිල්වාට, ඔහුගේ අභියෝගයට අදාලව චතුෂ්කෝටික තර්කනය යෙදු විට එක විට "ඇත" හැරුණු විට "නැත" පමණක් නොව, "ඇත-නැත" අවස්ථාවක් සහ "ඇත්තේද නැත-නැත්තේද නැත" අවස්ථාවක් වලංගු වන බව එක්කෝ ඔහුට අමතක වී ඇත. නැත්නම් ඔහු දැන් පිළිගන්නේ ද්විකෝටිකය විය හැක. ඒ පිලිබඳ අපි නොදනිමු. කෙසේ වුවද අපට නම් මෙය නලින් ද සිල්වාගේ මහා විසංවාදයයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

මාක්ස්වාදී මහැදුරෙකුගේ නික්ම යාම.



අප හා සමපාත නොවුනද අපට සමාන්තර මගක ගමන් කල, සම්භාව්‍ය මාක්ස්වාදය සම්බන්ධයෙන් අපටද වරෙක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහැදුරෙකු වූ මහැදුරු සුචරිත ගම්ලත් ලාංකීය විප්ලවීය භූමිය තුල ජීව විද්‍යාත්මකව තව දුරටත් ජීවමාන නැත. මේ මොහොතේ ඔබ වැනි මිනිසුන් තවත් බිහි වේවායි පැතීම අවශ්‍යයයි අපි නොසිතමු. මන්ද ඒ උදෙසා දැවැන්ත වැඩ කොටසක් ඔබ විසින්ම ඉටු කර අවසන් බැවිනි. එබැවින් අපි අපගේ විප්ලවීය ආචාරය පමණක් පුද කර ඔබට සමු දෙමු.

විප්ලවවාදී මහැදුරානනි ඔබට අපගේ විප්ලවීය ආචාරය!!!!!!!!

-ප්‍රගාමී ව්‍යාපාරය

ත්‍රස්තවාදී ජාතික සංහිඳියාව සහ ආගමානුකූල වර්ගවාදය???????

“මගේ අර්ථදැක්වීම අනුව ඔබ ජාතිද්‍රෝහියෙක්, දේශද්‍රෝහියෙක්, එක්තරා අකාරයකට ත්‍රස්තවාදියෙක්..... සමාවෙන්න තව එකක් අමතක උනා... පැහැදිලිවම මෝඩයෙක්”

ඉහත දැක්වෙන්නේ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පටු, අදූරදර්ශී, ප්‍රතිගාමී වර්ගවාදය සම්බන්ධ සංවාදයකදී වර්ගවාදියෙකු අප සංවිධානයේ සහෝදරයෙකුට බැන වැදුණු කොමෙන්ටුවකින් උපුටා ගත් කොටසකි. අප සංවිධානයේ නියෝජිතයෙකුට මෙසේ බැන වැදීමට හේතු වූ, අප සංවිධානයේ, මෙරට පවතින මුස්ලිම් විරෝධී ක්‍රියාකාරීත්වය පිලිබඳ මතය, ප්‍රධාන කරුණු තුනක් මත පදනම් විය.

ඉන් පලමු කරුණ වුයේ, “සියලු ජාතිකත්වයන් නියෝජනය කරමින් අන්තවාදීන් සිටිනා බව අප පිළිගනිමු” යන්නයි. සිංහල, දෙමල, මුස්ලිම් බේදයක නැතිව සියලු ජාතිකත්වයන් සම්බන්ධයෙන් සලකා බැලූ විට තත්වය එයය.

දෙවැනි කරුණ වුයේ පළමු කරුණට අප ඉදිරිපත් කල විසඳුමය. එනම් “සියලු ජාතිවාදයන්(Racism) පරදමු” යන සටන් පාඨය ජයග්‍රහණය කරවීමය. මෙහිදී අප අවධාරණය කිරීමට උත්සහ කලේ, මෙම සටන් පාඨය ජයග්‍රහණය තුල එකිනෙකාගේ ආගමික නිදහසට බාදා නොවන ආගමික නිදහසක් සර්ව ආගමිකයන්ට හිමි වන බවත්, එතුල බහුතරය රැකීමට හෝ සුළුතරය බහුතරය බවට පරිවර්තනය කිරීමට කඩිමුඩියේ දරුවන් සෑදීම වැනි වර්තමාන, බහුතරයකගේ ආර්ථික තත්වය හා නොගැලපෙන ක්‍රියාකාරීත්වයක යෙදීමට සිදු නොවන බවය.

තුන් වන කරුණ ලෙස අප ඉදිරිපත් කරනු ලැබුවේ, ඕනෑම ආගමිකයෙකු, අන්‍ය ආගමික සාමකාමී ප්‍රවර්ධන කටයුතු වාරණය කිරීම, ස්වකීය ආගමික ප්‍රවර්ධනයේ මගක් ලෙස නොසලකා, ඊට විකල්පය ලෙසට අන්‍ය ආගමික සාමකාමී ප්‍රවර්ධන කටයුතු වලට තරගයක් දිය හැකි සාමකාමී ව්‍යාපාරයක් අරබන ලෙසය.

මේ කරුණු මත පදනම්ව අප සමාජ ව්‍යාපාරයක් ලෙස අපගේ මතය ඉදිරිපත් කරද්දී වර්ගවාදීන් සිදු කලේ භාවිතයට ගත හැකි සියලු ආකාරයේ අපහාසාත්මක වදන් යොදා ගනිමින් අපට බැනවැදීම මිස අප කියන්නට තැත් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට උත්සහ ගැනීම නොවේ.

මේ වන විට සිදුවී ඇත්තේ අපි වැනි සුළුතරයක් වූ ප්‍රගතිශීලී පාර්ශව කිහිපයක විරෝධතාවයන් මධ්‍යයේ ඒවා තුට්ටුවකට මායිම් නොකල මෙම අමන වර්ගවාදී රැලෙහි වර්ගවාදී වියරුවෙහි ප්‍රතිපල එකින් එක අප ඉදිරියට පැමිණීමයි. පසුගිය දා ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ට බොදු බල සේනාවෙන් හිරිහැර වන බව ප්‍රකාශ කරමින් මුස්ලිම් ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිලිබඳ මහලේකම් නවනීදම් පිල්ලේට සහ ජගත් මහා ලේකම් බැන්කී මූන්ට ලිපියක් යැවීම එහි පළමු පියවර ලෙස අපට දකින්නට ලැබුණි.මේ හරහා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පැවතෙන කාලය තුල, එයට ශ්‍රී ලංකාවට එරහි යෝජනාවක් ඉදිරිපත්වීමට නියමිතව තිබෙන මොහොතක, මෙවැනි සිදුවීමක් සිදුවීමට අවශ්‍ය පසුබිම සකස් කරමින්,ඇමරිකන් කෙටුම් පතේ ශ්‍රී ලංකා විරෝධී භාවයට ඔක්සිජන් සපයමින් ලංකාවට සිදු කරන විදේශීය මැදිහත්වීම වලට මග විවරකර දුන් ඊනියා දේශප්‍රේමී වර්ගවාදීන්ට සිය ගෝත්‍රික ක්‍රියාදාමයන්හි අවසාන විනාශකාරී ඵල අතරට මේවාද එකතුවෙයි කල් තියා දැකීමට තරම් දූරදර්ශී බවක් කිසිදාක තිබුනේද, ඇත්තේද, ඇතිවන්නට නියමිතද නැත.

එම සිදු වීමෙන්ද පාඩමක් ඉගන ගත බවක් පෙනෙන්නට නොමැති අමන වර්ගවාදීන් සිය වියරුව තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් දැන් බිත්තර ප්‍රහාර හරහා ඔවුන්ගේ නාමික අවිහින්සාවාදයෙන් එළිපිටම හිංසාවට විතැන් වී ඇත. මෙවාතුල වාසි ලබාගන්නේ අවස්ථාවාදී ව්යාපාරීකයන් බව තේරුම් නොගන්න මෝඩ වර්ගවාදීයෝ ඒවාට හුරේ දමති.

දැන් මේ සියල්ල විමසා බැලූ විට අවසානයේ අපට දැවැන්ත ප්‍රශ්නයක් පැන නැගී. එනම් ජාතික සංහිඳියාව ඒකීය රටක් තුල ගොඩනැගීමට ගන්නා අපේ උත්සාහය ත්‍රස්තවාදී එකක් නම් වර්ගවාදීන්ගේ වර්ගවාදී ක්‍රියාවලිය ආගමානුකුලද?????????? යන්නයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

පෞද්ගලික දේපල අයිතිය අහෝසි කිරීම කාන්තා විමුක්තියේ එකම මාර්ගයයි - ප්‍රගාමී ව්‍යාපාරයේ කාන්තා දින පණිවිඩය.


ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේදී අප ස්ත්‍රී විමුක්තිය හඳුනාගත යුත්තේ පරමාදර්ශී සමාජයක් ගොඩ නැගීමේ ක්‍රියාවලියෙන් වියුක්ත නොවූ දෙයක් ලෙසටය.

මිනිස් ශ්‍රමයේ ඒකක එකක් නිෂ්පාදනය කිරීමට යන මුදලට වඩා වැඩි මුදලක් මිනිස් ශ්‍රමයේ ඒකක එකකින් නිෂ්පාදනය කල හැක. ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලිය තුල කම්කරුවාට සිය ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන මුළු වටිනාකම ලැබෙන්නේ නැත. කම්කරුවා ශ්‍රමය ඒකක එකක් වැය කල පසු ධනපතියා කම්කරුවාට ගෙවන්නේ ශ්‍රමය ඒකක එකක් නිෂ්පාදනයට අවශ්‍ය වියදම මිසක ශ්‍රමය ඒකක එකකින් නිෂ්පාදනය කරන වටිනාකම නොවේ. ශ්‍රමය ඒකක එකකින් නිෂ්පාදනය කරන වටිනාකමෙන් ශ්‍රමය ඒකක එකක් නිෂ්පාදනයට යන මුදල අඩුකළ විට ඉතිරිය “අතිරික්ත වටිනාකම” ලෙස හදුන්වයි. මෙය යන්නේ ධනපතියාගේ සාක්කුවටය. අපි සරලව සූරාකෑම ලෙස හදුන්වන්නේ මෙම ක්‍රියාවලියයි. මෙම තත්වය තුල සිය ආදරණීයයන් ගෙන් සමන්විත පවුලට වඩා යහපත් ජීවන තත්වයක් උදා කරදීම උදෙසා කාන්තාවටද ධනවාදී සමාජය තුල සිය ශ්‍රමය විකිණීමට බල කෙරෙයි. සූරා කෑමට ලක්වීමට බල කෙරෙයි.

අනෙක් අතට, ඉහත විස්තර කල ආකාරයට ශ්‍රමය විසින් නිපදවන මුළු වටිනාකම කම්කරුවෙකු වශයෙන් කාන්තාවට නොලැබීම නිසා දිනකට වැඩි කාලයක් වැඩෙහි යෙදීමට සිදුවීමෙන්, ගතානුගතිකව නිවාස තුල අට පැවරුණු සුවිශේෂී වැඩ කොටස සඳහා කොතරම් නවීන පහසුකම් තිබුනද, උදාහරණයක් ලෙස මිරිස්ගල්, වංගෙඩි වෙනුවට බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර් තිබුනද, දර ලිප් වෙනුවට ගෑස් කුකර්, රයිස් කුකර් තිබුනද වර්තමාන කාන්තාව මෙම ධනවාදී සමාජය තුල දැඩි කාර්ය බහුලත්වයෙන් පිරි, සැනසුම, සතුට,විනෝදය රහිත පීඩිත ජීවිතයක් ගත කරමින් සිටි. ඒ හැරුණු විට යම් ආකාරයකට මෙම සමාජය තුල කිසියම් ස්ත්‍රියක් සිය ශ්‍රමය විකිණීමෙන් වැළකී සිටියහොත් ඇයට සිදුවන්නේ පෞද්ගලික දේපල අයිතියට සම්බන්ධවූ පුරුෂයාට යටත්ව සිටීමටය.

එපමණක් නොව ධනවාදය තුල ඇති අනවරත වෙළද තරගය හේතු කොටගෙන ධනපතියාට සිය භාණ්ඩ හැකිතාක් අඩුවට විකිණීමට සිදුවේ ඒ සඳහා ඔහු නිරන්තරයෙන් දියුණු වන නිෂ්පාදන මාධ්‍ය සඳහා ආයෝජනය කල යුතුය. මේ සඳහා හැකිතාක් ලාබා වැඩිකරගනීමට වැටුප් හැකිතාක් අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා කම්කරුවන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවේ. ධනපතීනට භාණ්ඩ නිපදවුවාට ඒවා විකිණීමට නොහැකිවේ. එවිට කම්හල් වස දැමීමට සිදුවේ. විරැකියාව වැඩිවේ. ඒ හැරුන විට නිරන්තරයෙන් දියුණු වන නිෂ්පාදන මාධ්‍යන් නිසාද රැකියාවන් කප්පාදුවේ. මෙලෙස ඇතිවන විරැකියා තත්වය අවසානයේ කාන්ත්වට සිය ජීවත් වීමේ මාධ්‍යන් උදෙසා ලිංගික ශ්‍රමය විකල්පයක් ලෙස තෝරා ගැනීමටද බල කරයි.

එමෙන්ම ධනවාදයේ වර්තමාන කාර්තුව වන නව ලිබරල් වාදයේ පරිබෝජනයේ ස්භාවය වන පරිබෝජනවාදයේ ප්‍රතිපලයක් ලෙසට ලිංගිකත්වය පරිබෝජනවාදී තත්වයකට පත්කිරීම හරහා ද ස්ත්‍රිය දැවැන්ත ආකාරයෙන් පීඩාවට පත්වෙමින් පවතී. එහි ආසන්නතම උදාහරණය ලෙස පසුගිය සිකුරාදා ඉන්දියානු තරුණියක් දූෂණයට ලක් වීම දැක්විය හැක.

ඉහත දැක්වූ කාන්තව පීඩනයට පත් කරන්නා වූ සියලු ආකාරයන් පිලිබදව විමසා බැලුවහොත් එම ආකාරයන් සියල්ලෙහි මූලය ලෙස හදුනා ගත හැකිවන්නේ ධනවාදයේද පදනම වන පෞද්ගලික දේපල අයිතියි. එබැවින් එය අහෝසිකිරීම හරහා ධනවාදය පරාජයකොට පරමාදර්ශී සමාජයක් ගොඩනගන ප්‍රගතිශීලී අරගලය ජයග්‍රහණය කරීමට අදිටන් කරගෙන ඒවෙනුවෙන් කල හැකි සියලු මැදිහත්වීම සිදු කිරීම මම කාන්තා දිනයේදී මෙන්ම ඉදිරියට එන සියලු කාන්තා දිනයන්හිදී කාන්තා විමුක්තිය අපේක්ෂා කරන සියල්ලන්ගේ ප්‍රමුඛතම කාර්යභාරය බව‍ට පත් වේ.

-ප්‍රගාමී ව්‍යාපාරය

මුස්ලිම් විරෝධීන්ට බොර තෙල් ආශ්‍රිත නිෂ්පාදන කැපද...


ප්‍රධාන වශයෙන් ප්‍රගාමී ව්‍යාපාරය හැටියටත්, පෞද්ගලිකව අපගේ භාවිතාව තුලත් අප දිගින් දිගටම වර්තමානයේ මෙරට ක්‍රියාත්මක ප්‍රතිගාමී මුස්ලිම් විරෝධයට එරහිව ක්‍රියා කළෙමු. විශේෂයෙන්ම, එහිදී අප කියා සිටියේ අන්තවාදීන් සියලු ජාතිකත්වයන් නියෝජනය කරමින් සිටින බව අප පිළිගන්න බවත්, ඊට විසඳුම වන්නේ පටු, ප්‍රතිගාමී මුස්ලිම් විරෝධය නොව “සියලු ජාතිවාදයන් පරදමු” යන සටන් පාඨය ජයග්‍රහණය කරවීම බවත්ය.

ඒ හැරුණු කොට, යම් කිසි ආගමක උන්නතිය උදසා කටයුතු කිරීම යනු, අන්‍යාගමිකයන් ඔවුන්ගේ ආගමේ උන්නතිය උදෙසා සිදු කරන ක්‍රියාකාරීත්වයන්(අප මෙහිදී අදහස් කරන්නේ සාමකාමී ක්‍රියාකාරීත්වයන් පිළිබඳවය. සාමකාමී නොවන ක්‍රියාකාරීත්වයක යෙදේ නම් අප කලින් ප්‍රකාශ කල පරිදි ඊට විසඳුම වන්නේ “සියලු ජාතිවාදයන් පරදමු” සටන් පාඨය ජයග්‍රහණය කිරීමය ) වාරණය කිරීම හරහා නොව ඊට සමකාමී තරගයක් දිය හැකි වැඩ පිළිවෙලක් තම ආගමට අදාලව ගොඩනැගීම බවත් එය වෛරය පදනම් කරගත් මුස්ලිම් විරෝධයට වඩා දස දහස් ගුණයක් වටිනා සහ ඵලදායි ක්‍රියාදාමයක් බවත්, ප්‍රගීත් අරවින්ද සහෝදරයා ගේ “බොදු විලාසිතාව සහ සිංහලය” යන ලිපිය වැනි ලිපි හරහා අපි පැහැදිලි කළෙමු.

කෙසේ වුවද තවමත් මුස්ලිම් විරෝධය සරුවට වැඩෙයි. ආරම්භයේ සිටම රාජපක්ෂ රෙජීමයේ ෆැසිස්ට්වාදය පවත්වා ගැනීමට උදව් කල, රාජපක්ෂ හෙජමොනියේ (රාජපක්ෂ හෙජමොනියේ ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් විරෝධය නිර්මාණය වූ ආකාර "රාජපක්ෂ හෙජමොනියේ ප්‍රථිපල: මුස්ලිම් විරෝධය..","මුස්ලිම් විරෝධීනි, ඔබ සිදුකරන්නේ රාජපක්ෂගේ ෆැසිස්ට්වාදයට මුක්කු ගැසීමකි.."යන ලිපිමගින් අප පැහැදිලි කර ඇත.) ප්‍රතිඵලයක් ලෙසට හට ගත් මුස්ලිම් විරෝධය, ධන ලෝබී ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිය ලාබය වැඩිකර ගැනීමට යොදාගැනීම නිසා සමාජය තුල දැඩිව ව්‍යාප්ත වී මේ වන විට මුස්ලිම් ජාතිය මත ජාතික පීඩනයක් ඇති කරන මට්ටමටම වර්ධනය වී ඇත. දැන් මුස්ලින් විරෝධයේ අලුත්ම ස්වරූපය වී ඇත්තේ හලාල් විරෝධයයි මෙම හලාල් විරෝධය සාධාරණීකරණය කිරීමට මුස්ලිම් විරෝධීන් දක්වන හේතුන් වන්නේ හලාල් සහතිකය ලබාදීමට අයකරනා මුදල් පහත දේ සඳහා යොදා ගැනීමයි.

1.ඉස්ලාම් මතවාද ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට යෙදවීම.
2.මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම.
3.ඉස්ලාම් ආගම අනුව ඉස්ලාම් සුබ සාධක තත්වයන් නැංවීම
4.ඉස්ලාම ආගම පිලිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීම
5.ඇතැම් ත්‍රස්ත සංවිධාන සඳහා යෙදවීම

යන ආදී කරුණුය.

මෙම කරුණු සාරාංශ ගත කලොත් මුස්ලිම් විරෝධීන් ප්‍රකාශ කරන්නේ අන්තවාදී හා අන්තවාදී නොවන මුස්ලිම් ආගමික කටයුතු ප්‍රවර්ධනය සඳහා හලාල් මුදල් යෙදීම හේතුවෙන් හලාල් වර්ජනය කරන බවය.මේ සමබන්ධව පසුගිය දිනක අප සමග සංවාදයක යෙදී සිටි මිතුරෙකු අපූරු ප්‍රකාශයක් කළේය ඔහු කීවේ හලාල් වර්ජනය කරන මුස්ලිම් විරෝධීන් වාහන වල යාමද වර්ජන කල යුතු බවය. මන්ද ඒවාට ඛනිජ තෙක් යොදා ගන්න බැවිනි.

අප ඛනිජ තෙල් මිල දී ගන්න රටවල් බහුතරයක් මුස්ලිම් රටවල් වේ. එම රටවල් අපට ඛනිජ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් අන්තවාදී හා අන්තවාදී නොවන මුස්ලිම් ආගමික කටයුතු ප්‍රවර්ධනය සඳහා යොදවන බව අත දරුවෙකු වුවද දන්නා කරුණකි. ඒ අනුව හලාල් වර්ජනය කරනා පදනමෙන් මුස්ලිම් විරෝධීන්ට බොරතෙල් ආශ්‍රිත සියලු නිෂ්පාදන අකැපය. එබැවින් දර ලිපෙන් පිසූ ආහාර ගෙන, ගොන් කරත්තව වලින් ගමනා ගමන පහසුකම් සපයා ගන්න මුස්ලිම් විරෝධීන් අපට නුදුරු අනාගතයේදීම දැක ගන්නට හැකි වෙනු නොඅනුමානය.

-ප්‍රගාමී ව්‍යාපාරය