Thursday, October 10, 2013

කඳුල සිංහලයට නැගී නැත.


ප්‍රගාමී ව්‍යාපාරය වශයෙන් අප, සමාජය පිළිඹඳව මාක්ස්වාදී විග්‍රහයන් සහ මාක්ස්වාදී චින්තන ක්‍රමවේදය සපයමින් සමාජය තුළ ප්‍රගාමී කතිකාවතක් ඇති කිරීමට උත්සහ කරමින් සිටිමු. එම උත්සාහයේ එක් පැතිකඩක් ලෙස, සමාජයේ මුල්බැස තිබෙන පටු චින්තන ධාරාවට එරෙහිව ඉතිහාසය තුළ ප්‍රගතිශීලී මිනිසුන් විසින් ජනිත කරන ලද ප්‍රගතීශීලී අදහස් නැවත සමාජය තුළට එන්නත් කිරීම කාලෝචිත බව හැඟී ගියෙන්, එලෙසින් ජනිත වූ අදහසක කලාකාමී සහ විප්ලවීය ප්‍රතිඵලයක අරුත මෙලෙස විමසා බලමු.

සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට
ආවාදෝ ඉගිල්ලී...............

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වසී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුණ සුරෑපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
විගඟ සෙනග හඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැක ගනින් දේවතාවී....

ගුණදාස කපුගේ ශූරීන් විසින් ගයනු ලබන මෙම ගීයේ පද රචකයා රත්න ශ්‍රී විජේසිංහයන්ය.

ගීයේ නිමිත්ත ලුහුඬින් මෙසේය.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පොලිස් අංශයේ නායක නඩේෂන් එල්.ටී.ටී.ඊ සාමජිකයෙක් වීමට පළමුව කිරුළපන පොලිසියේ සේවය කළ අතර එකලම එහි සේවය කළ විනීතා නම් පොලිස් නිලධාරිනියක හා ඇතිකර ගත් ප්‍රේම සම්බන්ධයක් ප්‍රතිඵලයක් ලෙස ඇය විවාහ කර ගත්තේය. අනතුරුව එල්.ටී.ටී.ඊ සාමජිකයෙක් වූ ඔහු එහි පොලිස් අංශයේ ප්‍රධානියා ලෙසත්, විනීතා මුල්පෙළ නායිකාවක් ලෙසත් එල්.ටී.ටී ඊය තුළ සක්‍රීය විය.

බොහෝ ගීත විචාරයන් මෙම ගීය, ජාති භේද මැද එක්තැන් වූ ප්‍රේමයක මහිම විදාපාන්නක් ලෙසින් ලඝු කරනු ලැබ ඇතත් මෙමඟින් හෙළි කෙරෙන සත්‍යය එතැනින් එහාට විහිදෙන දේශපාලනික සත්‍යක් හෙළි කරයි.

ගීයේ අවසන් කොටසට අවධානය යොමු කරමු.

"ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ විගඟ සෙනග හඩාවී"

විහඟ සෙනඟ යනු එල්.ටී.ටී ඊයයි. ගීයෙන් කියවෙන්නේ ඔවුන් හඬන බවකි. ඔවුන්ගේ ඒ හැඬුම කුමක් උදෙසාද?

ඊළාම් සටන අහම්බයක් නොවේ. වසර ගණනාවක් මුළුල්ලේ සාමාජීයව හා දේශපාලනිකව දෙමළ ජනතාව වෙත එල්ල වූ සුළුජාතික පීඩනයේ පුපුරා යාම එයයි. ඊළාම් සටනේ ඉතිහාසය කියවා බලන අයෙකුට එය මනා කොට පැහැදිළි කර ගත හැකිය.

(මේ පිළිඹඳ සාර්ථක සංක්ෂිප්ත අදහසක් පහත සිංහල විකිපීඩියා පිටුවෙන් ලබාගත හැකිය)
http://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_ජනවාර්ගික_අර්බුදය

පුරවැසි පනත(1948),රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය(1956),රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ ප‍්‍රශ්නය(1965),විශ්ව විද්‍යාල ප‍්‍රවේශය පිළිබඳ ගැටළුව(1970) ආදී කොටගත් අත්තනෝමතික දේශපාලනයේ ආපසු හැරවිය නොහැකි වැරදි දෙමළ විමුක්ති සටනට පාර කැපීය.

ගීයේ සඳහන් "හැඬුම"උක්ත අත්තනෝමතික දේශපාලනය විසින් ඔවුන් මත පටවන ලද පීඩනයයි.

"ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී"

"ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කර ඇත" වත්මන් පාලකයින්ගේ උදාන වාක්‍යය මෙයයි. එහෙත් ගැටළුව තවම නිරාකරණ වී නැත. මන්දයත් අදවන විටත් පාලක පන්තිය ක්‍රියාත්මක් වන්නේ ඉතිහාසය තුළ එය හැසිරුනු අත්තනෝමතික හා මුග්ධ ස්ව්භාවයෙන් මිස ගැටළුවට නිසි විසඳුම් ලැබෙන අන්දමින් නොවන නිසාවෙනි. යුද ජයග්‍රහණයට ආවඩනු විනා දෑස් බැඳි සමාජය වෙතටද ඇත්ත අතිසැටියෙන් කාන්දු වී නැත. "මිලිටරි රියැලිටිය" පළමුවර, දෙවනු වර පමණකින් නොනැවතී තෙවනුවත් සමාජයට යුද ජයග්‍රහණයේ ඕජාව ඉසිමින් ඡන්ද පදනමම තර කර ගැනීමට තතනමින් සිටී.

ගීය ආශ්‍රයෙන්ම කියතොත් තවමත් කඳුල සිංහලයට නැගී නැත


-ප්‍රගාමී ව්‍යාපාරය

No comments:

Post a Comment