Thursday, December 13, 2012

මුස්ලිම් විරෝධීනි, ඔබ සිදුකරන්නේ රාජපක්ෂගේ ෆැසිස්ට්වාදයට මුක්කු ගැසීමකි..



රාජපක්ෂ ආණ්ඩුවේ න්‍යායාචාර්යවරුන් වූ  නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර, පාඨලී චම්පික රණවක වැනි පිරිස් සහ ජවිපෙ වැනි  කණ්ඩායම් විසින් 2005 දී රාජපක්ෂ පාලනය ලංකාව තුල පලමුව ස්ථාපිත වන පසුබිමේදී, ලාංකික සමාජය තුල සමාජගත කර තිබූ මතයක් වන්නේ සිංහල ජාතිකත්වයේ පැවැත්ම අභියෝගයට ලක්ව ඇත යන්නයි. සමාජගත වූ එම මතවාදයේ ඇති අහියෝගකරන්නාගේ භූමිකාව එම මතවාදය වැළඳගත් පිරිස් විසින් පුරවාගත්තේ විවිධාකාර පාර්ශවයන්ගෙන්ය. ඒවා පහත පරිදි විය.

1.ඇතැමුන්ට අනුව අභියෝගකරන්නා ජාතිකත්වයක් (දෙමල ජාතිකත්වය) විය.

2.ඇතැමුන්ට අනුව අභියෝගකරන්නා ජාතිකත්වයක් තුල සිටින ජාතිවාදීන්(L.T.T.E සංවිධානය) විය.

3.ඇතැමුන්ට අනුව අභියෝගකරන්නා රටින් පරිභාහිර පිරිසකි.

4.ඇතැමුන්ට අනුව අභියෝගකරන්නා, රටින් පරිභාහිර සිටින අතර රට තුල සිටින ජාතිකත්වයක් උපයෝගීකරගෙන අභියෝග කිරීම් සිදුකරන්නෙක් විය.

5.ඇතැමුන්ට අනුව අභියෝගකරන්නා, රටින් පරිභාහිර සිටින අතර රට තුල සිටින ජාතිවාදී බලවේගයක්  උපයෝගීකරගෙන අභියෝග කිරීම් සිදුකරන්නෙක් විය.

සමාජගත කෙරුණු "සිංහල ජාතිකත්වයේ පැවැත්ම අභියෝගයට ලක්ව ඇත" යන මතය මගින් පැන නංවන අවශ්‍යතාවක් වන්නේ සිංහල ජාතිකත්වයේ පැවැත්මට අභියෝගකරන්නාගෙන් සිංහල ජාතිකත්වය ගලවගන්නා නායකත්වයක අවශ්‍යතාවයි.එම අවශ්‍යතාවය හා සමපාත වන අන්දමේ නායකත්වයකට එවකට තිබුනේ රාජපක්ෂ නායකත්වය වන අතර "සිංහල ජාතිකත්වයේ පැවැත්ම අභියෝගයට ලක්ව ඇත" යනුවෙන් මතයක් සමාජ ගත කල පිරිස් සහ කණ්ඩායම් ඊට විසදුම ලෙස ඉදිරිපත් කලේද රාජපක්ෂ පාලනයයි. මෙසේ ගොඩනැගුනු රාජපක්ෂ පාලනය ෆැසිස්ට්පාලනයක් ලෙස හැදින් විය හැක  මන්ද ෆැසිස්ට්වාදයේදී එකම ආගමේ එකම ජාතියේ වශයෙන් වූ සම්බන්ධතාවයන් ඉස්මතුකරමින් ජනතාව දිනාගැනීම සිදුවන බැවිනි. පාලක පන්තිය කෙරෙහි ජනතාව තුල ගොඩනංවන ලද කැමැත්තක් මගීන් පාලනය සිදුකරන බැවිනි.

 2009 දී යුද්ධය අවසන් වීමත් සමග, සිංහල ජාතිකත්වයේ පැවැත්මට අභියෝගකරන්නා, ජාතිකත්වයක් (දෙමල ජාතිකත්වය) ලෙස  සහ සිංහල ජාතිකත්වයේ පැවැත්මට අභියෝගකරන්නා, රටින් පරිභාහිර සිටින අතර රට තුල සිටින ජාතිකත්වයක් උපයෝගීකරගෙන අභියෝග කිරීම් සිදුකරන්නෙක් ලෙස සිතූ කොටස් වලින් බහුතරය විසින්, අභියෝග කරන්නාගේ භූමිකාවට දක්වන සම්බන්ධයෙන් දෙමල ජාතිකත්වය ඉවත් කරන ලදී .නමුත් අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි නම් දේශපාලනික චින්තකයාට අනුව දෘෂ්ටිවාදයක් කාලාන්තරයක් තිස්සේ ජනතාව අතර ව්‍යවහාරයක් බවට පත් වීමෙන් මිනිසුන් එය ස්වභාවික යැයි පිළිගනී. ලංකාව තුල "සිංහල ජාතිකත්වයේ පැවැත්ම අභියෝගයට ලක්ව ඇත" යන මතය සම්බන්ධයෙන් තත්වය එයම විය. එම තත්වය තුල අබියෝග කරන්නාගේ භූමිකාවට ඇබෑර්තුවක් ඇතිවිය. ඇතැම් අන්තවාදීන්ගේ ක්‍රියා සහ ජනගහන වර්ධන වේගය වැඩි වීම වැනි තවත් හේතු කිහිපයක් හේතුවෙන් එය මුස්ලිම් ජාතිකත්වයෙන් පිරවිණි.

යුධමය තත්වයෙන් පසු කෙමෙන් දියාරු වීමට තිබූ රාජපක්ෂ ෆැසිස්ට්වාදයේ පදනම නැවත වරක් මුස්ලිම් විරෝධීන් සිය ක්‍රියා කලාපය හරහා යාවත්කාලීන කිරීමට පටන් ගෙන ඇත. ෆැසිස්ට්වාදයන් ශක්තිමත් කිරීමට දායකත්වය දීම හරහා ඇතිවූ විනාශයන් අතරින් ජර්මනියට සිදු වූ දේ පාඩමක් ඉගෙනීමට හොදින්ම සෑහේ. එබැවින් සියලුම ආකාරයේ ජාතිවාදයන් පරාජය කර, ෆැසිස්ට්වාදය පරදා ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගමු.

-ප්‍රගාමී ව්‍යාපාරය   

No comments:

Post a Comment