Sunday, May 5, 2013

පෞද්ගලික දේපල අයිතිය අහෝසි කිරීම කාන්තා විමුක්තියේ එකම මාර්ගයයි - ප්‍රගාමී ව්‍යාපාරයේ කාන්තා දින පණිවිඩය.


ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේදී අප ස්ත්‍රී විමුක්තිය හඳුනාගත යුත්තේ පරමාදර්ශී සමාජයක් ගොඩ නැගීමේ ක්‍රියාවලියෙන් වියුක්ත නොවූ දෙයක් ලෙසටය.

මිනිස් ශ්‍රමයේ ඒකක එකක් නිෂ්පාදනය කිරීමට යන මුදලට වඩා වැඩි මුදලක් මිනිස් ශ්‍රමයේ ඒකක එකකින් නිෂ්පාදනය කල හැක. ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලිය තුල කම්කරුවාට සිය ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන මුළු වටිනාකම ලැබෙන්නේ නැත. කම්කරුවා ශ්‍රමය ඒකක එකක් වැය කල පසු ධනපතියා කම්කරුවාට ගෙවන්නේ ශ්‍රමය ඒකක එකක් නිෂ්පාදනයට අවශ්‍ය වියදම මිසක ශ්‍රමය ඒකක එකකින් නිෂ්පාදනය කරන වටිනාකම නොවේ. ශ්‍රමය ඒකක එකකින් නිෂ්පාදනය කරන වටිනාකමෙන් ශ්‍රමය ඒකක එකක් නිෂ්පාදනයට යන මුදල අඩුකළ විට ඉතිරිය “අතිරික්ත වටිනාකම” ලෙස හදුන්වයි. මෙය යන්නේ ධනපතියාගේ සාක්කුවටය. අපි සරලව සූරාකෑම ලෙස හදුන්වන්නේ මෙම ක්‍රියාවලියයි. මෙම තත්වය තුල සිය ආදරණීයයන් ගෙන් සමන්විත පවුලට වඩා යහපත් ජීවන තත්වයක් උදා කරදීම උදෙසා කාන්තාවටද ධනවාදී සමාජය තුල සිය ශ්‍රමය විකිණීමට බල කෙරෙයි. සූරා කෑමට ලක්වීමට බල කෙරෙයි.

අනෙක් අතට, ඉහත විස්තර කල ආකාරයට ශ්‍රමය විසින් නිපදවන මුළු වටිනාකම කම්කරුවෙකු වශයෙන් කාන්තාවට නොලැබීම නිසා දිනකට වැඩි කාලයක් වැඩෙහි යෙදීමට සිදුවීමෙන්, ගතානුගතිකව නිවාස තුල අට පැවරුණු සුවිශේෂී වැඩ කොටස සඳහා කොතරම් නවීන පහසුකම් තිබුනද, උදාහරණයක් ලෙස මිරිස්ගල්, වංගෙඩි වෙනුවට බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර් තිබුනද, දර ලිප් වෙනුවට ගෑස් කුකර්, රයිස් කුකර් තිබුනද වර්තමාන කාන්තාව මෙම ධනවාදී සමාජය තුල දැඩි කාර්ය බහුලත්වයෙන් පිරි, සැනසුම, සතුට,විනෝදය රහිත පීඩිත ජීවිතයක් ගත කරමින් සිටි. ඒ හැරුණු විට යම් ආකාරයකට මෙම සමාජය තුල කිසියම් ස්ත්‍රියක් සිය ශ්‍රමය විකිණීමෙන් වැළකී සිටියහොත් ඇයට සිදුවන්නේ පෞද්ගලික දේපල අයිතියට සම්බන්ධවූ පුරුෂයාට යටත්ව සිටීමටය.

එපමණක් නොව ධනවාදය තුල ඇති අනවරත වෙළද තරගය හේතු කොටගෙන ධනපතියාට සිය භාණ්ඩ හැකිතාක් අඩුවට විකිණීමට සිදුවේ ඒ සඳහා ඔහු නිරන්තරයෙන් දියුණු වන නිෂ්පාදන මාධ්‍ය සඳහා ආයෝජනය කල යුතුය. මේ සඳහා හැකිතාක් ලාබා වැඩිකරගනීමට වැටුප් හැකිතාක් අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා කම්කරුවන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවේ. ධනපතීනට භාණ්ඩ නිපදවුවාට ඒවා විකිණීමට නොහැකිවේ. එවිට කම්හල් වස දැමීමට සිදුවේ. විරැකියාව වැඩිවේ. ඒ හැරුන විට නිරන්තරයෙන් දියුණු වන නිෂ්පාදන මාධ්‍යන් නිසාද රැකියාවන් කප්පාදුවේ. මෙලෙස ඇතිවන විරැකියා තත්වය අවසානයේ කාන්ත්වට සිය ජීවත් වීමේ මාධ්‍යන් උදෙසා ලිංගික ශ්‍රමය විකල්පයක් ලෙස තෝරා ගැනීමටද බල කරයි.

එමෙන්ම ධනවාදයේ වර්තමාන කාර්තුව වන නව ලිබරල් වාදයේ පරිබෝජනයේ ස්භාවය වන පරිබෝජනවාදයේ ප්‍රතිපලයක් ලෙසට ලිංගිකත්වය පරිබෝජනවාදී තත්වයකට පත්කිරීම හරහා ද ස්ත්‍රිය දැවැන්ත ආකාරයෙන් පීඩාවට පත්වෙමින් පවතී. එහි ආසන්නතම උදාහරණය ලෙස පසුගිය සිකුරාදා ඉන්දියානු තරුණියක් දූෂණයට ලක් වීම දැක්විය හැක.

ඉහත දැක්වූ කාන්තව පීඩනයට පත් කරන්නා වූ සියලු ආකාරයන් පිලිබදව විමසා බැලුවහොත් එම ආකාරයන් සියල්ලෙහි මූලය ලෙස හදුනා ගත හැකිවන්නේ ධනවාදයේද පදනම වන පෞද්ගලික දේපල අයිතියි. එබැවින් එය අහෝසිකිරීම හරහා ධනවාදය පරාජයකොට පරමාදර්ශී සමාජයක් ගොඩනගන ප්‍රගතිශීලී අරගලය ජයග්‍රහණය කරීමට අදිටන් කරගෙන ඒවෙනුවෙන් කල හැකි සියලු මැදිහත්වීම සිදු කිරීම මම කාන්තා දිනයේදී මෙන්ම ඉදිරියට එන සියලු කාන්තා දිනයන්හිදී කාන්තා විමුක්තිය අපේක්ෂා කරන සියල්ලන්ගේ ප්‍රමුඛතම කාර්යභාරය බව‍ට පත් වේ.

-ප්‍රගාමී ව්‍යාපාරය

No comments:

Post a Comment