Tuesday, October 22, 2013

මාක්ස්වාදය මත පදනම්ව ගොඩනැගුනු විචාරකලාවක් කෙසේ විය යුතුද?



මාක්ස්වාදයට අනුව සත්‍යයේ මිනුම බවට පත් වන්නේ ව්‍යවහාරයයි. එබැවින් මාක්ස්වාදී චින්තනය මත පදනම්ව කලා නිර්මාණ විචාරයෙහිදී(එය වලංගු විචාරයක් බවට පත්වීමටනම්), කලා නිර්මාණයෙහි මූලික වශයෙන් අවධානය යොමු කල යුතු කොටස බවට පත් විය යුත්තේ කලා නිර්මානයෙහි කාර්යභාරයයි. එමෙන්ම කලා විචාරය තුල නිර්මාණයෙහි ගුණාත්මක බව ඇගයුමෙහිදී යොදා ගත යුතු නිර්ණායකය බවට, එම කාර්යභාරය මාක්ස්වාදී චින්තනයම මත පදනම් කෙරෙමින් අර්ථදැක්වෙන “උසස් කලා නිර්මාණයක කාර්යභාරයෙන්” සිදුකරන අපගමනය කොතෙක් වේද යන්න පත්විය යුතුය.

මෙහිදී මතුවන ක්ෂණික ගැටලුව බවට පත්වන්නේ, මාක්ස්වාදී චින්තනය පදනම් කෙරෙමින් අර්ථදැක්වෙන, “උසස් කලා නිර්මාණයක කාර්යභාරය” කවරේද යන්නයි. මාක්ස්වාදී චින්තනය පදනම් කෙරෙමින් අර්ථදැක්වෙන, “උසස් කලා නිර්මාණයක කාර්යභාරය” විය යුත්තේ, සමාජ සංවර්ධනයේ නියාම අනුව යතාර්ථය වෙනස් කිරීම හෙවත් මිනිස් සංහතියේ ප්‍රගතිශීලී සංවර්ධනය පිලිබඳ ඓතිහාසික අවශ්‍යතාව ක්‍රියාවට නැංවීම සඳහා වූ මිනිසාගේ සවිඥානික මැදිහත්වීමට  (මෙම "ඓතිහාසික අවශ්‍යතාව ක්‍රියාවට නැංවීම සඳහා වූ මිනිසාගේ සවිඥානික මැදිහත්වීම" යන්න තව දුරටත් සරල උදාහරණයක් මගින් පැහැදිලි කලහොත්, මනුෂ්‍යවර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා වූ වාස්තවික නියාමයක් වන්නේ මිනිසුන් ගැහැනුන් ලිංගිකව එකතු වීමය. නමුත් මෙය ඔහේ බලාගෙන සිටියාට ඉබේ සිදු නොවේ. එයට මිනිසාගේ සවිඥානික මැදිහත්වීමක් සිදුවිය යුතුය. ගැලපෙන සහකරුවෙකු සහකාරියක තෝරා ගැනීම, ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීම, ගැබ් ගන්නා ආකාරයට නිවැරදිව ලිංගිකව එක වීම ආදී දහසකුත් ඒකක සවිඥානික මැදිහත් වීමක් ඊට අවශ්‍යය.)අවශ්‍ය වන, වාස්තවිකත්වය, වාස්තවිකත්වයේ නියාම,  නිවැරදිව ප්‍රජානනය කරගැනීමේ අවශ්‍යතාව සපුරනු වස්, වාස්තවික යතාර්ථය විශ්ලේෂණාත්මකව, සංශ්ලේෂණාත්මකව සහ නිවැරදිව පිළිබිඹු කිරීම හරහා දායක වීමයි. මෙහි විලෝමය මගින් උසස් කලා නිර්මාණයක් අර්ථ නිරූපණය කිරීම සිදුවේ. ඓතිහාසික භෞතිකවාදයෙන් අනාවරණය කරන සමාජ සත්තාව මගින් සමාජ විඥානය තීරණය කරයි යන නියාමයට උසස් කලා නිර්මානයක් පිලිබඳ එම අර්ථනිරූපනය අනුකූල වන්නේ කලා නිර්මාණය ගෙන එන වාස්තවිකත්වයේ පිළිබිඹුව වාස්තවික වන බැවිනි.  

මෙම අර්ථ නිරූපනයට ප්‍රතිපක්ෂව මූලිකවම පැන නගින ගැටළුවක් බවට පත් වන්නේ වින්දනය ස්ථානගත වී ඇත්තේ කලා නිර්මාණයක කාර්යභාරයේ සීමාවෙන් එපිටද යන්නයි. ඊට පිළිතුරු දීමට ප්‍රථම අප අසන ප්‍රශ්නය වන්නේ කලා නිර්මාණයන් විසින්, යතාර්ථය විකෘති කරමින් නිර්මිත මනකල්පිත පිළිබිඹු තුල වාස්තවිකත්වය සංජානනය වන ස්වරූපය වෙනස් කිරීම හරහා ලබා දෙන වින්දනය තුල වින්දනය හැරෙන්නේට අන් කිසිවක් ලැබේද යන්නයි. ඒ සඳහා කලා නිර්මාණම අවැසි නැත. මත් ද්‍රව්‍ය හරහාද සිදු කෙරෙන්නේ වාස්තවිකත්වය සංජානනය වන ස්වරූපය වෙනස් කිරීමය. කලාවේ සීමාව එපමණ පටු විය යුතුද? එයට ඇත්තේ මුලාව මත පදනම් වූ තාවකාලික වින්දනයක් සපයන ධාරිතාවක් පමණද? ඒ හැරෙන්නට වාස්තවික යථාර්තය මත සක්‍රීය ලෙස එයට බලපෑ නොහැකිද? නමුත් මේ සමග පැන නගින තවත් ගැටළුවක් වන්නේ යථාර්තය නිවැරදිව පිළිබිඹු කිරීම වින්දනාත්මක නොවේද යන්නයි.

කලා නිර්මාණයක් සැලකීමේදී වින්දනය කිසිවිටක කලා නිර්මාණයේ කාර්යභාරයන්හී සීමාව තුල ස්ථානගත නොවිය යුතු අතර එසේ නොවිය යුත්තේ එහි(වින්දනයේ) සීමාව මනකල්පිත ලෝකයක් මැවීම සඳහා යථාර්තය විකෘති කිරීමක් දක්වා දිවෙන බැවිනි. එම නිසා සිදු විය යුත්තේ, ඇමෙරිකානු ජාතික කවියෙකු වු රොබට් ෆ්රොස්ට් කවිය සම්බන්ධයෙන් ඉදිරිපත් කල ආනන්දයෙන් පටන් ගෙන් ප්‍රඥාවෙන් අවසන් විය යුතුය යන මතයට ප්‍රතිපක්ෂව කලා නිර්මාණය හරහා යතාර්ථය නිවැරදිව පිළිබිඹු වීම මගින් එය නිවැරදිව සංජානනය කර ගැනීමෙන් ලැබෙන ප්‍රඥාව හේතුකොටගෙන වින්දනයක් කලා නිර්මාණය ඇසුරු කරන්නා විසින් උත්පාදනය කරගැනීමයි. කෙසේ වෙතටත් සංජානනය කර ගැනීමේ කර්තව්‍ය උදෙසා ලබාදෙන සහයක් වශයෙන් වින්දනය භාවිත කිරීම කලා නිර්මාණයක සැබෑ කාර්යභාරයයෙන් විතැන් වීමක් ලෙස අපි නොසලකමු.

-ප්‍රගාමී ව්‍යාපාරය


2 comments:

  1. මාස්ක්වාදය ගැඹුරින් අධ්‍යයනය කරන්න ආසයි. නමුදු පහසුවෙන් වටහා ගත හැකි ප්‍රාථමික මූලාශ්‍ර හිඟකම මෙහි දී මතු වෙනවා. කරුණාකර උපකාරයක් කළ හැකි නම් එසේ කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන්නේ ඉංග්‍රීසි මධ්‍යයෙන් නම් ඔබට. මාක්ස්වාදී චින්තකයන්ගේ ලේඛනයන් බහුතර සංඛ්‍යාවක් http://www.marxists.org/ වැනි වෙබ් අඩවි වලට පිවිස අන්තර්ජාලය භාවිතයෙන් ඉතාම පහසුවෙන් සොයාගත හැකිය. ඇතැම් අත්‍යවශ්‍යයම ලේඛන වල සිංහල පරිවර්තනයන්ද http://www.marxists.org/ වෙබ් අඩවියේ අඩංගු වන නමුදු ගැඹුරින් කරන අධ්‍යනයකට ඒවා පමණක් ප්‍රමාණවත් නොවේ.

      Delete