Sunday, May 5, 2013

ත්‍රස්තවාදී ජාතික සංහිඳියාව සහ ආගමානුකූල වර්ගවාදය???????

“මගේ අර්ථදැක්වීම අනුව ඔබ ජාතිද්‍රෝහියෙක්, දේශද්‍රෝහියෙක්, එක්තරා අකාරයකට ත්‍රස්තවාදියෙක්..... සමාවෙන්න තව එකක් අමතක උනා... පැහැදිලිවම මෝඩයෙක්”

ඉහත දැක්වෙන්නේ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පටු, අදූරදර්ශී, ප්‍රතිගාමී වර්ගවාදය සම්බන්ධ සංවාදයකදී වර්ගවාදියෙකු අප සංවිධානයේ සහෝදරයෙකුට බැන වැදුණු කොමෙන්ටුවකින් උපුටා ගත් කොටසකි. අප සංවිධානයේ නියෝජිතයෙකුට මෙසේ බැන වැදීමට හේතු වූ, අප සංවිධානයේ, මෙරට පවතින මුස්ලිම් විරෝධී ක්‍රියාකාරීත්වය පිලිබඳ මතය, ප්‍රධාන කරුණු තුනක් මත පදනම් විය.

ඉන් පලමු කරුණ වුයේ, “සියලු ජාතිකත්වයන් නියෝජනය කරමින් අන්තවාදීන් සිටිනා බව අප පිළිගනිමු” යන්නයි. සිංහල, දෙමල, මුස්ලිම් බේදයක නැතිව සියලු ජාතිකත්වයන් සම්බන්ධයෙන් සලකා බැලූ විට තත්වය එයය.

දෙවැනි කරුණ වුයේ පළමු කරුණට අප ඉදිරිපත් කල විසඳුමය. එනම් “සියලු ජාතිවාදයන්(Racism) පරදමු” යන සටන් පාඨය ජයග්‍රහණය කරවීමය. මෙහිදී අප අවධාරණය කිරීමට උත්සහ කලේ, මෙම සටන් පාඨය ජයග්‍රහණය තුල එකිනෙකාගේ ආගමික නිදහසට බාදා නොවන ආගමික නිදහසක් සර්ව ආගමිකයන්ට හිමි වන බවත්, එතුල බහුතරය රැකීමට හෝ සුළුතරය බහුතරය බවට පරිවර්තනය කිරීමට කඩිමුඩියේ දරුවන් සෑදීම වැනි වර්තමාන, බහුතරයකගේ ආර්ථික තත්වය හා නොගැලපෙන ක්‍රියාකාරීත්වයක යෙදීමට සිදු නොවන බවය.

තුන් වන කරුණ ලෙස අප ඉදිරිපත් කරනු ලැබුවේ, ඕනෑම ආගමිකයෙකු, අන්‍ය ආගමික සාමකාමී ප්‍රවර්ධන කටයුතු වාරණය කිරීම, ස්වකීය ආගමික ප්‍රවර්ධනයේ මගක් ලෙස නොසලකා, ඊට විකල්පය ලෙසට අන්‍ය ආගමික සාමකාමී ප්‍රවර්ධන කටයුතු වලට තරගයක් දිය හැකි සාමකාමී ව්‍යාපාරයක් අරබන ලෙසය.

මේ කරුණු මත පදනම්ව අප සමාජ ව්‍යාපාරයක් ලෙස අපගේ මතය ඉදිරිපත් කරද්දී වර්ගවාදීන් සිදු කලේ භාවිතයට ගත හැකි සියලු ආකාරයේ අපහාසාත්මක වදන් යොදා ගනිමින් අපට බැනවැදීම මිස අප කියන්නට තැත් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට උත්සහ ගැනීම නොවේ.

මේ වන විට සිදුවී ඇත්තේ අපි වැනි සුළුතරයක් වූ ප්‍රගතිශීලී පාර්ශව කිහිපයක විරෝධතාවයන් මධ්‍යයේ ඒවා තුට්ටුවකට මායිම් නොකල මෙම අමන වර්ගවාදී රැලෙහි වර්ගවාදී වියරුවෙහි ප්‍රතිපල එකින් එක අප ඉදිරියට පැමිණීමයි. පසුගිය දා ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ට බොදු බල සේනාවෙන් හිරිහැර වන බව ප්‍රකාශ කරමින් මුස්ලිම් ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිලිබඳ මහලේකම් නවනීදම් පිල්ලේට සහ ජගත් මහා ලේකම් බැන්කී මූන්ට ලිපියක් යැවීම එහි පළමු පියවර ලෙස අපට දකින්නට ලැබුණි.මේ හරහා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පැවතෙන කාලය තුල, එයට ශ්‍රී ලංකාවට එරහි යෝජනාවක් ඉදිරිපත්වීමට නියමිතව තිබෙන මොහොතක, මෙවැනි සිදුවීමක් සිදුවීමට අවශ්‍ය පසුබිම සකස් කරමින්,ඇමරිකන් කෙටුම් පතේ ශ්‍රී ලංකා විරෝධී භාවයට ඔක්සිජන් සපයමින් ලංකාවට සිදු කරන විදේශීය මැදිහත්වීම වලට මග විවරකර දුන් ඊනියා දේශප්‍රේමී වර්ගවාදීන්ට සිය ගෝත්‍රික ක්‍රියාදාමයන්හි අවසාන විනාශකාරී ඵල අතරට මේවාද එකතුවෙයි කල් තියා දැකීමට තරම් දූරදර්ශී බවක් කිසිදාක තිබුනේද, ඇත්තේද, ඇතිවන්නට නියමිතද නැත.

එම සිදු වීමෙන්ද පාඩමක් ඉගන ගත බවක් පෙනෙන්නට නොමැති අමන වර්ගවාදීන් සිය වියරුව තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් දැන් බිත්තර ප්‍රහාර හරහා ඔවුන්ගේ නාමික අවිහින්සාවාදයෙන් එළිපිටම හිංසාවට විතැන් වී ඇත. මෙවාතුල වාසි ලබාගන්නේ අවස්ථාවාදී ව්යාපාරීකයන් බව තේරුම් නොගන්න මෝඩ වර්ගවාදීයෝ ඒවාට හුරේ දමති.

දැන් මේ සියල්ල විමසා බැලූ විට අවසානයේ අපට දැවැන්ත ප්‍රශ්නයක් පැන නැගී. එනම් ජාතික සංහිඳියාව ඒකීය රටක් තුල ගොඩනැගීමට ගන්නා අපේ උත්සාහය ත්‍රස්තවාදී එකක් නම් වර්ගවාදීන්ගේ වර්ගවාදී ක්‍රියාවලිය ආගමානුකුලද?????????? යන්නයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

No comments:

Post a Comment