Sunday, June 8, 2014

අරගලයන්ට එරහි අරගල..!


පහුගිය  දවස්වල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තිබුණ දෙයක් තමයි, සෞඛ්‍ය ක්ෂේත්‍රයම නියෝජනය කරන පාර්ශව කිහිපයක් ගෙනගිය අරගල. මේ අරගල වල සාමාන්‍ය අරගල වලට වඩා යම් සුවිශේෂීත්වයක් තිබුණා. ඒ සුවිශේෂීත්වය තමයි, මේ අරගල ස්වකීය අයිතීන් දිනා ගැනීම උදෙසා සිද්ධ වෙන අරගල වෙනවට අමතරව තමන්ගේ ක්ෂේත්‍රයම නියෝජනය කරන කොටස් වල අරගලයන්ට එරහි අරගල බවටත් පත්ව තිබීම.

ඇති වෙලා තියෙන මේ තත්වය විග්‍රහ කරගනිද්දී සාමාන්‍ය මනුස්සයෙකුට ඇතැම් විට මේ තත්වය විග්‍රහ කරගන්න පුළුවන් වෙනවා වෙනුවට මේ තත්වය  උහතෝකෝටිකයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, උහතෝකෝටිකයක් වෙලා නතර වෙනවා වෙනුවට ඇති වෙලා තියෙන මේ තත්වය වැරදි විදිහට අර්ථනිරූපණය කරගන්න, විග්‍රහ කරගන්නත් පුළුවන්. අර මහින්ද අබේසුන්දර මහත්තය වගේ ආණ්ඩුවේ වියදමෙන් තමන්ගේ දරුවන්ගේ බිරිඳගේ බඩගිනි නිවන මහත්තයෙකුට නම් තමන්ගේ අසරණකම හින්ද වැඩි කතා බහක් නැතුවම එක පෑන් පාරින් “දේශප්‍රේමී ආණ්ඩුවට විරුද්ධ කුමන්ත්‍රණ” වගේ දෙයක් කියල මේ තත්වය විග්‍රහ කරන්න සිද්ධ  වෙනවා. අපි ඒකට අනුකම්පා කරලා ඒ මහත්තයටත් තමන්ගේ හෘද සාක්ෂිය විකුණගෙන කන්න ඕනි වෙන්නේ නැති සමාජයක් ගොඩ නගන්න අපේ අවධානය යොමු කරන්න ඕනි හින්ද ඒ ගැන කතාව අත ඇරලා දාමු. නමුත් ඊට වඩා සහේතුකව නිගමනයකට එළඹෙන කොටස් පවා  මේ තත්වය නිවැරදිව විග්‍රහ කර නොගැනීමේ අවධානමක් තියෙනවා. මීට වඩා පරමාදර්ශී සමාජයක් ගොඩනගන ක්‍රියාවලියකට මේ අවදානම පිටු දකින්න එක ඉතා වැදගත් වෙනවා. අපේ මේ උත්සහය ඒ වෙනුවෙන් සිදු කරන්න ඕනි මැදිහත් වීම සිදු කරන එකයි.

ධනවාදයේ, සරලව කිව්වොත් දැනට තියෙන නිෂ්පාදන මාදිලියේ, ආරම්භක යුගයේදී වෙළඳ තරඟය කියනදේ ඉතාම තදින් ක්‍රියාත්මක වුණා. මේ වෙළඳ තරගයෙන් අනික් ධනපතියන්ව පරද්දන එක, නැත්තන් තමන් දිනන එක, කෙසේ වෙතත් තරඟය ඇතුලේ ඉන්නත් ඔවුන්ට වැඩි වැඩියෙන් ලාබ පොදි ගහගන්න බල කෙරුනා. මොකද නිෂ්පාදන වියදම අඩු කර ගත්තොත් තමයි අඩු මිලට බඩු විකුනන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි වෙළඳ තරඟය දිනන්න, නැත්තන් අඩුම තරමේ එක ඇතුලේ රැඳිලා ඉන්න  පුළුවන් වෙන්නේ. නිෂ්පාදන වියදම අඩු කරගන්න නම් කාර්යක්ෂම, ඵලදායීතාව වැඩි  උපකරණ  වෙනුවෙන් ආයෝජනය කරන්න ඕනි. මේ වෙනුවෙන් තමයි ඔවුන්ට අනිවාර්යයෙන්ම ලාභ අවශ්‍යය වෙන්නේ. මේ වෙනුවෙන් ඔවුන් ගත්ත පියවරයන්ගෙන්  එකක් වුනේ වෙළඳ පොළ ප්‍රසාරණය කරන එක. මේ වෙළඳ පොළ ප්‍රසාරණය කිරීමේ පියවර තමන්ගේ ජාතික රාජ්‍යයේ සීමාවෙන් ඔබටත් ගෙනියාම හරහා ඔවුන් ලෝක වෙළඳ පොලක් නිර්මාණය කරනවා. මේ ලෝක වෙළඳ පොළ සූරාකෑම හරහා ඔවුන් වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කරගන්නවා. මේකේ අවසාන ප්‍රතිපලය වෙන්නේ ප්‍රාග්ධනයේ ස්වයං ව්‍යාප්තිය හරහා නිෂ්පාදනය සංකේන්ද්‍රණය වීමයි. මෙහෙම නිෂ්පාදනය සංකේන්ද්‍රණය වීම එක අවස්ථාවකදී  එකාධිකාරයන් කරා ගමන් කරනවා. මෙතනදීත් වෙන්නේ පෙරටත් වඩා ලෝක වෙළඳ පොළ තුල ධනපතියන් විසින් සූරා කෑම පෙරටත් වඩා දැඩි කිරීමයි. මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ අද දක්වාම සිද්ධ වෙන්නේ අපේ වගේ රටවල් වල වටිනාකම් අති විශාල ප්‍රතිශතයක් මේ ඒකාධිකාර සතු රටවල් විසින් සූරා කෑමට ලක්කිරීම.

මෙන්න මේ ඓතිහාසික තත්වය සමාජීය වශයෙන් අර්බුධ ගණනාවක් නිර්මාණය කරන්න හේතු වෙනවා. ඒකෙ එක ප්‍රතිඵලයක් විදිහට, විශේෂයෙන්ම අධිරාජ්‍යවාදී සූරාකෑමට ලක්වෙන ලංකාව වගේ ජාතික රාජ්‍ය ව්‍යුහයන් ඇතුලේ, ඒ ව්‍යුහය ඇතුලේ පැන නගින ප්‍රතිවිරෝධයන් සමනය කරන්න සුබ සාධන සපයන්න අවශ්‍ය අතිරික්තයක් නිර්මානයවීම වැළකෙනවා. මේ තත්වයේදි රාජ්‍යට බැරි වෙනව වරප්‍රසාදිත කම්කරුපන්ති ස්ථරයක් නඩත්තු කරන්න. විශ්වවිද්‍යාල ආචාර්යය වරුන්ගේ අරගලය වගේ දේවල් හරහා පිළිඹිබු වෙන්නේ මෙන්න මේ තත්වය තමයි. තවත් ප්‍රතිඵලයක් විදිහට S.B. දිසානායක මහත්තය වගේ අය හරහා ප්‍රකාශ වෙන,  නිර්මාණය වන අතිරික්ත හරහා පණගැන්වෙන සුබසාධන ක්ෂේත්‍ර වලටත් ප්‍රාග්ධනය රින්ගවීමේ අවශ්‍යතාවයෙන්, රාජ්‍ය විසින් සිදු කරන සුබසාධන කප්පාදු කරන්න ප්‍රාග්ධන හිමියන්ට කල හැකි බලපෑම වැඩි වෙනවා. සුබ සාධන ක්ෂේත්‍රය මුහුණ දෙන මේ තත්වයන් ඍජුවම ඒ හරහා නිර්මාණය වන රැකියා අවස්ථා ගණන සඳහා බලපානවා.

මේ තත්වය නිසා තමන්ගේ රැකියාවේ සුරක්ෂිත භාවය පිලිබඳ ප්‍රශ්නාර්ථයක් මතු වෙලා තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නිරත වෙලා ඉන්න වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක වෛද්‍ය සේවයේ නියතු කොටස් ආදී සියලුම වැටුප් ශ්‍රමිකයන්ට තවත් අවධානමකට මුහුණ පාන්න වෙනවා. ඒ තමයි රැකියා අවස්ථා මේ තරම් දුර්ලභ වෙලා තියෙන තත්වයක් යටතේ ශ්‍රම විභාජනයටත් මුහුණ දීමට සිදු වීම.

මේක තව දුරටත් පැහැදිලි කරනවානම්, ශ්‍රමයේ ඵලදායී ශක්තිය වැඩි කරන්න මූලිකව සිදු කරන දේ තමයි ශ්‍රම විභජනය. ශ්‍රම විභාජනයේ ප්‍රතිඵලය වෙන්නේ වැටුප් ශ්‍රමිකයෝ කිහිප  දෙනෙකුගේ වැඩ එක වැටුප් ශ්‍රමිකයෙකුට සපුරන්න පුළුවන් වෙලා වැටුප් ශ්‍රමිකයෝ අතර තරඟය වැඩි වීම සහ ශ්‍රමය ලිහිල් වෙලා වැටුප් ශ්‍රමිකයාගේ විශේෂ දක්ෂතාව නොවටිනා දෙයක් බවට පත් වීම. ඒ විතරක් නෙවෙයි ඔහුගේ ශ්‍රමය ඕනෑම කෙනෙකුට සපුරාලන්න පුළුවන් ශ්‍රමයක් බවටත් පත් වෙනවා. මේකේ අනිවාර්යය ප්‍රතිඵලය වෙන්නේ වැටුප් ශ්‍රමිකයෝ අතර තමන්ගේ ශ්‍රමය විකුනන්න තරඟයක් ඇති වෙන එක. ඒ තරඟය තමයි තමන්ගේම පන්තියේ කොටස් වල අරගලයන්ට එරහි අරගල විදිහට අද වෙන කොට පිළිඹිබු වෙන්න අරන් තියෙන්නේ.

වෛද්‍යවරු සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කරන්න ඉදිරිපත් වෙන්නේ ඔවුන් විසින් තමන්ගේ සේවාව ශ්‍රම විභජනයට ලක් වීම වලක්වා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒවගේම ඔවුන් විසින්ම හෙද හෙදියන්ට දෙන පුහුණුව වලක්වන්න උත්සහ දරන්නෙත් මේ හේතුව මතමයි. ඒ වගේම තමයි හෙද හෙදියෝ පුහුණුව ලබා ගැනීම වෙනුවෙන් සටන් කරන්නේ දැනටත් සිද්ධ වෙලා තියෙන ශ්‍රම විභජනය ආපහු හරවා ගැනීමේ අභිප්‍රායෙන්.

මෙතැනදී කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් මේ අර්බුධයට සෞඛ්‍ය ක්ෂේත්‍රය පෞද්ගලිකකරණය කිරීම විසඳුමක් නේද කියල. නමුත් එකට උත්තරය වෙන්නේ නෑ කියන එක. මොකද පුද්ගලික ව්‍යවසාය-අපි කලින් සඳහන් කරපු විදිහට-ඓන්ද්‍රයවම  යොමු වෙන ලාභ වැඩි කර ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් කරන දෙයක් තමයි අධික ශ්‍රම විභජනය සහ රැකියා කප්පාදුව කියන්නේ. මේ තත්වය කිසි සේත්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් ශ්‍රමිකයන්ට විතරක් සුවිශේෂී දෙයක් නෙවෙයි. මේ තත්වය මුළු මහත් කම්කරු පන්තියටම පොදු තත්වයක්. නමුත් මේ දේවල් හරි හැටි තේරුම් අරගන්නවා වෙනුවට ඔවුන් තවමත් සැබෑ සතුරාත්, සැබෑ විසඳුමත් කියන දෙකම හරියට හඳුනා නොගෙන වල්මත් වෙලා අති විශාල විනාශයන්ට මුහුණ දෙමින් ඉදීම කම්කරු පන්ති විඥානය සහිත කොටස් අතින් සිද්ධ වුනු දැවැන්ත අඩුපාඩුවක්.

-ප්‍රගාමී ව්‍යාපාරය.

No comments:

Post a Comment