Friday, April 11, 2014

කියා කට ගත්තා පමණි - ලාංකීය ජනතා ව්‍යාපාරයන්හී සාංසිද්ධික අවධිය, අතික්‍රමණය කරමු..!!! - II





ලංකාව ඇතුලේ වැඩකටයුතු සිද්ධවෙන ආකාරය දිහා බැලුවහම පැහැදිලි වෙන දෙයක් තමයි, රාජපක්ෂ ආණ්ඩුව කල්පනා කරනවා, මේ රටේ තියෙන අර්බුධ වලට හේතුව ලංකාවේ ධනවාදයේ තිබෙන ඌන සංවර්ධනය කියල. මේ තත්වයේ ප්‍රතිඵලයක් විධියට තමයි අපිට එස්. බී. දිසානායක මහත්තය හැම තිස්සෙම කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න දීල ඒවායින් සියට පහක කෝටාවක් ශිෂ්‍යත්ව විදිහට ඉල්ලා ගැනීමක් ගැන කතාව එහෙමත් අහන්න වෙලා තියෙන්න. මොකද අපි කලිනුත් කියපු විදිහට සුබසාධන සඳහා අතිරික්තයක් නොමැතිවීමත් “ධනවාදයේ ඌන සංවර්ධනයේ” ප්‍රතිඵලයක් විදිහට ඔවුන් දකිනවා. නමුත් රට ඇතුලේ උද්ගත වෙලා තියෙන අර්බුධ වලට ඇත්තම හේතුව වෙන්නේ ලංකාවේ ධනවාදයේ “ඌන සංවර්ධනය” නෙවෙයි, “පසුගාමී සංවර්ධනය”. සරලව කියනවනම්, ධනේශ්වර සංවර්ධන ක්‍රියාවලියෙදී ලංකාව දියුණු ධනේශ්වර රටවලට සාපේක්ෂව පස්සෙන් සිටීම. කෙනෙකුට මේ දෙකේම තේරුම එකක් වගේ පෙන්න පුළුවන්. නමුත් මේ දෙක දෙකක්. ලංකාවේ අර්බුධ වලට හේතුව වෙන්නේ ලංකාවේ ධනවාදයේ ඌන සංවර්ධනය නම්, මුලිකවම, පසුකාලීනව හරි ඒ ඌන සංවර්ධිත තත්වය පිටු දකින්න පුළුවන් වෙන්න ඕනි. අනිත් කරුණ තමයි. එසේ පිටු දැකල ධනවාදය එහි දියුණුවෙම ප්‍රතිඵලයක් විදිහට අනිවාර්යය අර්බුධයට යන්න කලින් තාවකාලිකව හරි ලංකාව ඇතුලේ දැන් තියෙන අර්බුධ වලට විසඳුම් ලැබෙන කාල සීමාවක් නිර්මාණය වෙන්න ඕනි. නමුත් ආර්ථිකය දිහා හොඳට බැලුවොත් හීනෙකින්වත් එහෙම තත්වයක් උදා වෙන්නේ නෑ කියල ඔබට පැහැදිලිව පෙන්න පටන් ගනියි. 

යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ ධනවාදයේ ආරම්භය විදේශීය ප්‍රාග්ධනයෙන් සිද්ධවීම හින්ද, ඒ ප්‍රාග්ධනය හිමිවුනු රටවලට සාපේක්ෂව ලංකාවේ ධනවාදයේ සංවර්ධනය පසුගාමී තත්වයකට පත් වුනා . ලංකාවේ ධනවාදය එහෙම පසුගාමී තත්වයක පැවතීම, තවදුරටත් එම පසුගාමී තත්වය විසින්ම නඩත්තු කිරීමක් මේ දක්වාම සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ සරලව කියනවනම් ධනවාදී සංවර්ධනය කියන රේස් එක ලංකාවයි, යටත් විජිත පවත්වාගෙන ගිය රටවලුයි දුවන්න පටන්ගත්තේ එකම ආරම්භක ස්ථානයක ඉදන් නෙවෙයි. යටත්විජිතවාදය හින්ද යටත්විජිත පවත්වාගෙන ගිය රටවල් තරගය පටන්ගන්න කලින්ම ලංකාවට සෑහෙන තරම් දුරකින් ලීඩ් එකක් තියල තිබුනා. පසුගාමී තත්වයක පැවතීම තවදුරටත් පසුගාමී තත්වය විසින්ම නඩත්තු කරනවා කියන්නේ, හිතන්න මෙහෙම තරඟ කරන්නෙ මිනිස්සු දෙන්නෙක් කියල. එතකොට පස්සෙන් ඉන්න එක්කෙනාගේ හිතට “තමන් කොහොමත් පස්සෙන් ඉන්නේ”, “තමන්ට දිනන බැරිවෙයි” වගේ හැගීම් හිතට එනවා ඒ නිසා ඒ පමා වෙලා සිටීමේ තත්වය තව දුරටත් ඔහුව පහු කරන්න හේතුවක් වෙනවා. මීට සමානවම යටත්විජිතවාදී රටවල් ධනේශ්වර සංවර්ධනය අතින් ඉදිරියෙන් සිටිමින් අධිරාජ්‍යවාදී යුගයෙදී ජාත්‍යන්තර සංගත ව්‍යාපාර, කාටල සහිත ඒකාධිකාර තත්වෙට පත් වීම හින්ද දේශීය ප්‍රාග්ධනයට ප්‍රසාරණය වෙන්න වෙළඳ පොලක් නැති වෙනවා. තියෙන වෙළඳ පොළවල් වලදීත්, ජාත්‍යන්තර සංගත ව්‍යාපාර, කාටල සහිත ඒකාධිකාර වල ලාබ මිල හින්ද දේශීය ප්‍රාග්ධනය වෙළඳ තරගයෙන් පරාජයට පත් වෙනවා. මේ හින්ද වගේම, මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අඩුවීම, වෙළඳ පොළ ක්ෂේත්‍ර අල්පවීම වගේ හේතු හින්ද වෙළඳ පොළ කුඩා වීමෙන් දේශීය ප්‍රාග්ධනයේ ස්වයං ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ අඩුවෙන්. තවත් සරලව කිව්වොත් එක අතකින් වෙළඳ පොලක් නෑ. අනික් අතින් ප්‍රාග්ධන සංචිත වීම සිද්ධ වෙන්නේ අඩුවෙන්. ඒ හින්ද තමයි ආණ්ඩුව තමන්ගේ ආයෝජන අභිලාශයන් වල විදේශීය ආයෝජන වලට සැලකිය යුතු ඉඩක් වෙන් කරන්නෙ. 

විදේශීය ආයෝජන කොටස් දෙකක් යටතේ සිදු කරනවා එකක් තමයි තමන්ගේ වෙළඳ පොළ ප්‍රසාරණය කිරීම වෙනුවෙන්. අනිත් එක ලාබ ශ්‍රම ශක්තිය වෙනුවෙන්. කලින් දේශීය ප්‍රාග්ධනය ගැන කතා කල අවස්ථාවේදී වගේම, තමන්ගේ වෙළඳ පොළ ප්‍රසාරණය කිරීම කියන කාරණයේදී ඔවුනුත් ආයෝජනය කරන්නේ යම්කිසි සීමාවක් ඇතුලේ මොකද ලංකාවේ ධනවාදයේ පසුගාමී සංවර්ධනය නිසා මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අඩුයි. ඒ හින්ද ලංකාව ඇතුලේ පුළුල් වෙළඳ පොලක් නෑ. මෙතැනදී කියන ඕනි කාරණයක් තමයි. මෙහෙම අඩුවෙන් ආයෝජනය කිරීම නැවත වරක් ලංකාවේ ක්‍රය ශක්තිය අඩුවෙන්න හේතුවක් වෙනවා කියන එක. මොකද ඒ හින්ද නව රැකියා උත්පාදනය සිද්ධ වෙන්නේ අඩුවෙන් වීම. ශ්‍රම ශක්තිය මිලට ගැනීම වෙනුවෙන් ආයෝජනය ගැන කතා කරද්දී ඒ ආයෝජනයත් මිනිසුන්ගේ අඩු ක්‍රය ශක්තියත් කියන දෙක අනොන්‍ය වශයෙන් පරායත්තයි. මිනිස්සුන්ගේ ශ්‍රම ශක්තිය අඩුවට මිලට ගන්න පුළුවන් තාක්කල් තමයි ඔවුන් ඒ වෙනුවෙන් මෙහෙ ආයෝජනය කරන්නේ. ක්‍රය ශක්තිය වැඩි වෙන්නනම් ශ්‍රම ශක්තියේ මිල වැඩිවෙන්න ඕනි. නමුත් ඒක වැඩි වුනහම ඊට වැඩිය අඩුවෙන් ශ්‍රම ශක්තිය ලබා ගන්න පුළුවන් දිහාවල ඔවුන් ආයෝජනය කරනවා මිසක ඔවුන් ලාබෙට ශ්‍රම ශක්තිය මිලට ගන්න පුළුවන් තැන් තියෙද්දී මෙහෙ වැඩි මුදලට ශ්‍රම ශක්තිය මිලට ගන්න නවතින්නේ නෑ. මෙතැනදී තව දෙයක් කියන්න ඕනි. කවුරු හරි හිතන්න පුළුවන් විදේශීය ප්‍රාග්ධනය ලාභ ශ්‍රම ශක්තිය වෙනුවෙන් ලංකාවේ ආයෝජනය කිරීම පුළුල්ව සිද්ධ කරොත් පුද්ගලයෙක් සැලකුවහම ඔහුගේ ක්‍රය ශක්තිය වැඩි නොවුනත් සේවා නියුක්තිය වැඩි වෙන එකේ ප්‍රතිපලයක් විදිහට වෙළඳ පොළ පුළුල් වෙලා, එකේ ප්‍රතිඵලයක් විදිහට වෙළඳ පොළ ඌනතාවෙන් පෙලෙන දේශීය වගේම විදේශීය ප්‍රාග්ධනය සම්බන්ධ කරගෙන (involve) සිදුවෙන ආර්ථික ක්‍රියාකාරකම් වැඩිවෙලා, ලංකාවේ ධනවාදයට තවත් දුර යාගන්න පුළුවන් කියල. නමුත් අපි අමතක කරන්න හොඳ නෑ, 2007 - 2008 කාල සීමාවේදී ලෝක පරිමානෙන් ආර්ථික අර්බුධයක් ආවා කියන එක. ඒක අපිට පෙන්නුවා අපේ රටේ ආයෝජනය කරන විදේශ ප්‍රාග්ධනය හිමි රටවල ධනවාදයට තවත් “සංවර්ධනය” වෙන්න බෑ කියල. වෙනවනම් වෙන්න පුළුවන් විනාශයට පත් වෙලා “නැවත ගොඩනැගෙන්න(rebuild)” විතරයි කියල. ඉතින් ආර්ථික අර්බුධය එන මොහොත වෙන කොට ලාභ ශ්‍රම ශක්තිය වෙනුවෙන් ආයෝජනය කරලා ලංකාවේ ආයෝජන ඇතුලේ විදේශීය ආයෝජන හිමි කරන හිටපු අනුපාතය වැඩිවෙයි කියල හිතන එක විහිළුවක්. මොකද එහෙම කරලා නිෂ්පාදනය වැඩි කරගෙන ඔවුන් ඒවා විකුනන්නේ කාටද. ආර්ථික අර්බුධය හින්ද ක්‍රය ශක්තිය අඩුවෙලා, මෙච්චර කල් නිරත වෙලා හිටපු ආර්ථික ක්‍රියාකාරකම් වලවත් නිරත වෙන්න බැරුව ඉන්න තමන්ගේ රටවල ආර්ථික වශයෙන් ආබාධිත ජනතාවටද. මේ ඔක්කොම ඇරුනහම ලංකාවේ ඔවුන්ගේ ආයෝජනයන් මගින් නිපදවන සියලුම වටිනාකම් ලංකාව ඇතුලේ ඉතුරු වෙන්නේ නෑ. ඒවා එකතු වෙන්නේ රටින් පිට. ඒක නැවතත් රට ඇතුලේ ආයෝජන අඩුවෙන්න හේතුවක් වෙනවා. දැන් ඔබට තේරෙන ව ඇති ලංකාවේ ධනවාදයට යන්න පුළුවන් උපරිම දුර මේකයි කියල. මීට වැඩිය මේ ආර්ථිකයේ කොතැනට මුක්කු ගහල උස්සන්න ගියත් වෙන තැනකින් කඩාගෙන වැටෙනවා. නිෂ්පාදන තව වර්ධනය කරන්න ගියොත් අඩු ක්‍රය ශක්තිය හින්ද ඒවා මිලදී ගන්න මිනිස්සු නැතුව අධි නිෂ්පාදනයක් ඇති වෙලා වෙළඳ පොළ තුල නිෂ්පාදන වල මිල පහල වැටිලා ආර්ථක අර්බුධයක් කරා ගමන් කරන්න පුළුවන්, නැත්තම් හානි අඩුම පියවර විදිහට ඒ නිශ්පාදන විනාශ කරලා ස්ථාවර මිලක් කරා ගෙන එන්න පුළුවන්. ඒ ඇරුනහම මොන ක්‍රමයකින් හරි ක්‍රය ශක්තිය වැඩි වුනොත් ඒ කියන්නේ ලාබ ශ්‍රම ශක්තිය වෙනුවෙන් සිද්ධ කරන ආයෝජනය කඩා වැටුන කියන එක. එකේ ප්‍රතිථලයක් විදිහට ක්‍රය ශක්තිය තවත් අඩුවෙනවා. ඒ තත්වයේ බලපෑම වෙළඳ පොළටත් බලපානවා.වෙළඳ පොළ තුල අවපාතයක් නිර්මාණය වෙනවා. ආයෝජකයෝ අධෛර්යමත් වෙනවා. රැකියා අවස්ථා නිර්මාණය වීම අඩු වෙනවා. ආපහු ක්‍රය ශක්තිය අඩු වෙනවා. නැවතත් මුලට එනවා. එක හින්ද අපිට පැහැදිලියි ලංකාවේ ධනවාදයට විනාශය කරා මිසක තව දුර යන්න බෑ, තව දුර යන්නේ නෑ කියන එක. 

මෙන්න මේ තත්වය තේරුම් ගන්න අසමත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හිතනවා, තමන් කල්පනා කරන විදිහට ලංකාවේ ධනවාදයේ තියෙන ඌන සංවර්ධිත තත්වය පිටු දකින්න පුළුවන් වුනොත්. සරලව කිව්වොත් වැඩි වැඩියෙන් ආයෝජන සිද්ධ වුනොත් මේ හැම අර්බුධයකටම විසඳුම් ලැබෙනවා කියල. ඒ සඳහා අවශ්‍ය මූලික දෙයක් තමයි ආයෝජකයන්ට අවශ්‍ය ඉඩම්. ප්‍රගාමී ව්‍යාපාරය හැටියට, ලාංකීය ජනතා ව්‍යාපාරයන් පසුවන සාංසිද්ධික අවධිය, අතික්‍රමණය කිරීමේ අවශ්‍යතාවය මතු කරමින් සිටින මොහොතක, ඊට අදාලව අපිට මග හැරයා නොහැකි සුවිශේෂී සිදුවීමක් තමයි වනාතමුල්ල නිවාස ඉවත් කිරීමේ සිදුවීම පාදක කරගෙන පැන නැගුනු ජනතා ව්‍යාපාරය. මේ ජනතා ව්‍යාපාරය අපි කලින් සඳහන් කරපු, ආයෝජකයන්ට අවශ්‍ය ඉඩම් ලබාදෙන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව දරන වෑයමේ ප්‍රතිඵලයක් විදිහට තමයි පැනනගින්නේ. ලංකාවේ ජනතා ව්‍යාපාර සාංසිද්ධික අවධියේ පසුවීමේ විපාක සම්බන්ධයෙන් අපි - සාමන්‍යය වහරෙන් කියනවනම් -කියල කටගන්නත් කලින්, මෙන්න මේ කියන වනාතමුල්ල ජනතා ව්‍යාපාරයේ ගමන් මග, ඒවා සනාථ කරන්න පටන් අරන් තියෙනවා. 

ගිය සති අන්තය වෙන කොට අපි දැක්ක මේ ජනතා ව්‍යාපාරයේ නායකත්වය අරන් සටන් කරපු සුනිල් කියන පුද්ගලයා මේ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙමින් තියෙන අතරතුර එක්තරා මොහොතක පැහැරගැනීමකට ලක්වෙනවා. ඒ පැහැරගැනීමෙන් පැය කිහිපයකට පස්සේ ඔහු නැවත පැමිණෙනවා. එහෙම ඇවිත් ඔහු මාධ්‍යයට අදහස් දක්වන අතරතුරේදී, තමන් මත් කුඩු අලෙවි කිරීමේ නිරත වෙලා හිටි බව අනාවරණය කෙරෙන ප්‍රකාශයක් සිදුකරනවා. දැන් මේ වෙනකොට ස්වාධීන රූපවාහිනිය වනාතමුල්ල ජනතා ව්‍යාපාරය දියාරු කරන්න, විශේෂයෙන්ම ඒ ව්‍යාපාරයට බහුජන සහය අහිමි කරල හුදකලා කරන්න මේ ප්‍රකාශය භාවිතා කරමින් සිටිනවා. මේ සිදුවීම් පෙළගැස්ම විසින් අපිට නැවත නැවතත් සනාථ කරන දේ තමයි ප්‍රතිගාමී බලවේග වලට මෙහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ව්‍යාපාර සාංසිද්ධික අවධියේ පැවතීම හින්ද කියන එක. මොකද එහෙම නොවුනානම් සුනිල් කුඩු විකිණීම කියන කාරණය වනාතමුල්ල ජනතා ව්‍යාපාරයට එරහි අවියක් විදිහට පාවිච්චි වෙනවා වෙනුවට, වනාතමුල්ල ජනතා අරගල විදිහට පුපුරා ගිය, ජනතාව පීඩාවට පත් කරපු වාස්තවික තත්වයන්ගෙන් එකක් විය යුතුව තිබුන. නමුත් අපි ඉතා පැහැදිලිව කියපු විදිහට, සාංසිද්ධික අවධියේ පවතින ජනතා ව්‍යාපාර විනාශයන්, දියාරු වී යෑම් හැරුණු විට, උපරිම වශයෙන් තාවකාලික, ලාභ ජයග්‍රහණ වලින් එහාගිය දෙයක් සාක්ෂාත් කර ගන්න අසමත් කියන කාරණය සනාථ කරමින් සිද්ධ වුනේ ඊට සම්පූර්ණයෙන් ප්‍රතිපක්ෂ දෙයක්. මේ මොහොතේදී එහෙම වුනේ, ලංකාවේ විදේශීය රූපවාහිනී කතා මාලාවන් බලන අය අතර මෑත ඉතා ජනප්‍රිය වුනු කතා මාලාවක් වෙච්ච, Breakig Bad කියන කතා මාලාවේ Walter White ට වගේ වනාතේ සුනිල්ටත්, මත් ද්‍රව්‍ය වෙළඳාමට යොමු වෙන්න බල කෙරුනේ, අවාසි සහගත ගනුදෙනුවක් හරහා වනාතමුල්ලේ ජනතාව තමන්ගේ ගෙවල් වලින් එලියට ඇදල දාන්න වලිකන, පණ අදින ධනවාදී ආර්ථික ක්‍රමය විසින්මයි කියන කාරණ අවබෝධ කරගන්න ලංකාවේ ජනතා ව්‍යාපාරයන් අසමත් වීම හින්ද. කෙටියෙන් කිව්වොත් ලංකාවේ ජනතා ව්‍යාපාර සාංසිද්ධික අවධිය අතික්‍රමණය කරන්න අසමත් වීම හින්ද.

-ප්‍රගාමී ව්‍යාපාරය

No comments:

Post a Comment