Saturday, December 22, 2012

කප්පම් දී ආගමට නැඹුරු කිරීමේ රහස..


පසු ගිය දිනක පළවූ පුවතකින් කියැවුණේ දහම් පාසල් ධර්මාචාර්ය විභාගයේ සහතිකයට, රජයේ රැකියාවක් සඳහා පවත්වන සම්මුඛ පරීක්ෂණ වලදී ලකුණු පහක් වත් අවම වශයෙන් පිරිනැමෙන වැඩපිළිවෙලක් රජය විසින් සකස් කරමින් පවතින බවයි. මේ ආකාරයට කප්පම් ප්‍රධානය කරමින් ජනතාව ආගමට නැඹුරු කරවීමට,සමාජය කෙරෙහි ආගමෙහි ආධිපත්‍ය වැඩි කිරීමට, රජය උත්සහ ගන්නේ ඇයි?

අප මීට ඉහතදීත් කිහිප වතාවක්ම සඳහන් කල පරිදි සතුරු පන්ති සහිත සමාජයක රජය දේශපාලන අවියකි. ආර්ථික ආධිපත්‍ය උසුලන, එනම් නිෂ්පාදන මාධ්‍යයන් අයත් කරගෙන සිටින පංතිය පීඩිතයන් හා සූරාකනු ලබන්නන් යටත් කර තබා ගැනීම සඳහා  යොදා ගන්නා බල සම්පන්න අවියකි.

"එක් පංතියක පාලන බලයට තවත් පන්තියක් යට කර තබා ගැනීම සඳහා වූ යන්ත්‍රයකි." ලෙනින් රජය ගැන ලියුවේ එසේය. එය (රජය) පුද්ගලික දේපල අයිතිය අහෝසි කොට පරමාදර්ශී සමාජයක් ඇතිවීම වලක්වයි. ආගම ඒ සදහා ප්‍රයෝජනයට ගත හැකි දෙයකි.

"උඩු ව්‍යුහයේ මූලිකාංගයක් වන ආගම පන්ති ප්‍රතිවිරෝධතා සහිත සමාජයේදී එය රඳා පවතින ආර්ථික පදනම ශක්තිමත් කිරීමටත් සූරා කන ක්‍රමය තහවුරු කිරීමටත් කටයුතු කරයි. සූරාකන්නන්ට කොන්දේසි විරහිතව යටත් වන ලෙසත් ඉරණම ඉදිරියේ හිස නමන ලෙසත් දුෂ්ටත්වයට හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධව නොනැගිටින ලෙසත් දේශනා කරන ආගම එයින් පොදු ජනතාවගේ විප්ලවීය ධෛර්යය සිඳ දමා ඔවුන් හැම දෙයක්ම දේව කැමැත්ත අනුව සිදු වෙන තෙක් බල සිටින අහිංසකයන් බවට පත් කරයි. ස්වර්ග රාජ්‍ය හා මරණින් මතු ලැබෙන ප්‍රීතිමත් ජීවිතය පිලිබඳ කතා මගින් වැඩ කරන ජනතාවගේ සිත් යථාර්ථයේ දැවෙන ප්‍රශ්නවලින්ද, සූරා කෑමට විරුද්ධව හා සාධාරණත්වය සඳහාත්, සැබෑ මානවවාදී සමාජයක් සඳහාත් ගෙන යන විප්ලවවාදී අරගලයෙන්ද ඉවතට යොමු කිරීම ආගම විසින් කරනු ලැබේ."
                                                                           (ඓතිහාසීය භෞතිකවාදය-වී.ජී අපනාසියෙව් )

එම නිසා සමාජය කෙරෙහි ආගමෙහි ආධිපත්‍ය වැඩි කිරීමට රජය ක්‍රියා කරයි. රජය විසින් කප්පම් දී ආගමට නැඹුරු කිරීමේ රහස මෙයයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

No comments:

Post a Comment