Tuesday, December 11, 2012

අපේ අරගලයෙන් සමාජය, කොහේ සිට කොහොම කොතැනටද...



පසුගිය කාලය පුරාවට පවතින සමාජ ක්‍රමයට එරහිව, එම ක්‍රමයේ අර්බුදය පිට දමන අවස්ථාවන් වලදී පද්ධතිමය අර්බුදයෙන් වියුක්ත නොවන අර්ථ නිරූපනයන් එම පිට දැමීම් වලට දෙමින්, එමගින් මෙරට ජන විඥානය භාවාත්මක වරණයන්ගෙන් ගලවාගෙන තාර්කික වරණයන් වෙත කැදවාගෙන යෑමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරමින්, දේශපාලනික වශයෙන් පරිණත ජනතාවක් ඇති කිරීම අපගේ යුතුකම හා වගකීම ලෙස සලකා අපි කටයුතු කළෙමු.

සමාජයක් ලෙස විමුක්තියක් ලබනවා විනා, වියුක්ත වූ පුද්ගලයන් ලෙස ස්ථිරසාර වූ විමුක්තියක් ලැබීම මිරිගුවක් මිස අන් කිසිවක් නොවන බව අප තේරුම් ගත යුතු සත්‍යයි. එම නිසා පරමාදර්ශී සමාජයක් ගොඩ නැගෙන තුරාවට, යම් පුද්ගලයෙකු වියුක්තව කිසියම් විමුක්තියක් ලබා ඇතැයි සිතනවානම් එම රැවටිලිකාර විමුක්තියද පමණක් නොව, ඔබ මෙන්ම ඔබේ ආදරණීයයන්ද පවා සිටිනුයේ අති අනාරක්ෂිත තාවකය.

එම නිසා පරමාදර්ශී සමාජය ගොඩනැගීම සදහා අවැසි අරගලය අපි විසින්, සමාජය දැනට පවතින නරා වලේ සිට, සමාජය තුල මතවාදී මැදිහත්වීමක් සිදු කිරීම හරහා පරමාදර්ශී සමාජය දක්වා ගමන් ගන්නා තෙක් සිදු කරමු. මෙතුවක් කාලයක් පුරාවට අප සගයන්ගේ FB wall මත හුදකලාව කෙරුණු එම අරගලයට මෙසේ එකමුතුව හා පුළුල්ව කිරීමට අද දින සිට අත් පොත් තබන බව ඔබට සතුටින් දන්වා සිටින අතර මෙම අරගලයට ඔබේ දෑත්ද දිගුකරන ලෙස සහෝදරාත්මකව ඉල්ලා සිටිමු...

"කෙසේ වුවද වෘත්තියක් තෝරා ගැනීමේදී අපට මග පෙන්විය යුතු ප්‍රධාන මූලධර්මය නම් මනුෂ්‍ය සංහතියේ සුබ සිද්ධිය සහ අපගේම පරිසමාප්තියයි. මෙම උත්සුකතාවන් දෙක එකිනෙක සමග ගැටෙන බව හෝ එකක් විසින් අනික වනසා දැමිය යුතු යයි හෝ නොසිතිය යුතුය. ඊට ප්‍රතිපක්ෂව, තම සමාජයේ පරිසමාප්තිය සහ සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරීම මගින් පමණක්ම තමන්ගේම පරිසමාප්තිය සාධනය කරගත හැකි වන පරිදි මිනිසාගේ ස්වභාවය සැකසී ඇත."
                                                  (Reflection of a youth on choosing an occupation- Karl Marx)

-ප්‍රගාමී ව්‍යාපාරය 

No comments:

Post a Comment