Thursday, April 17, 2014

මාක්ස් හරි!!!


වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය කියන කාල් මාක්ස් විසින් සම්පාදිත කෘතියට, තමන් විසින් සපයපු ප්‍රස්ථාවනාව තුළ ෆෙඩ්රික් එංගල්ස් මෙහෙම සඳහන් කරනවා.

“එක අතකින් ගැනුම්කරුවාට මිලදී ගත නොහැකි අතිමහත් ධනයක් සහ අධික වූ භාණ්ඩ තොගයකි. අනික් අතින් සමාජයේ බහු ජනතාව නිර්ධනීන් බවට පැමිණ වැටුප් ලබන කම්කරුවන් බවට පත්වී ඇත. මෙන්න මේ හේතුව නිසාම මේ අධික භාණ්ඩ තොගය මිලදී ගැනීමට ඔවුනට ශක්තියක් නොමැත. ඉමහත් ධනයක් ඇති කුඩා පන්තියකට සහ දේපොළ රහිත වේතන කම්කරුවන්ගේ විශාල පන්තියකට සමාජය බෙදීයාම ස්වකීය සමෘධිමත් භාවය නිසා හුස්ම ගැනීමට බැරි වනසේ හිරවී සිටින සමාජයක විපාක ඵලයෙකි. මේ සමාජයේ සාමාජිකයන්ගේ අධික බහුතරය අත්‍යවශ්‍ය වුවමනාවන්ගෙන් එක්කෝ කොහෙත්ම ආරක්ෂා කැරැ නැත, නැත්තම් ඉතාම අඩුවෙන් ආරක්ෂා කැරැ ඇත. සමාජයේ මෙවැනි තත්වයක් දිනපතාම වඩාත් මුග්ධ දෙයක් බවටත් වඩාත් වුවමනා නැති දෙයක් බවටත් පත් වෙයි. එය අහෝසි කල යුතුයි. එය අහෝසි කල හැකියි.”

(වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය කෘතියේ ප්‍රස්ථාවනාව - ෆෙඩ්රික් එංගල්ස්)

මාක්ස්වාදය විසින් අනාවරණය කරපු ධනවාදයේ අනිවාරණීය අර්බුධයට යෑම සහ එය විසින්ම මතු කරපු එම තත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ, ඉහත දක්වපු  මතය, ඍජුව හෝ වක්‍රව තහවුරු කරන  පිරිස මේ මොහොත වෙනකොට මාක්ස්වාදීන්ගේ ඉදල ධනවාදයේ ඉහල අවධිය වෙච්ච අධිරාජ්‍යවාදයේ වර්තමාන මූලස්ථානය වෙච්ච ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ හිටපු කම්කරු ලේකම්ලා දක්වා පරාසයකට විහිදිලා තියෙනවා.  මෙන්න මේ කියන කරුණ සනාථ කරන සාධකයක් විදිහට තමයි ප්‍රගාමී ව්‍යාපාරයේ මාධ්‍ය අංශය විසින් සිංහල උපසිරසි ගන්වපු, ඉහත වීඩියෝව අපි ඔබට ඉදිරිපත් කරන්නේ. මේ වීඩියෝව මගින් වරක් බිල් ක්ලින්ටන්ගේ කම්කරු ලේකම් විදිහට හිටපු රොබට් රයිච් විසින් ධනවාදයේ අනිවාරණීය අර්බුධය යෑම සහ එම තත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ඉදිරිපත් කරනවා.

මේ වීඩියෝව තුල ඔහු ධනවාදය අර්බුදයට යෑමේ පිළිබිඹු වීම් වන වටිනාකම් සංකේන්ද්‍රණය, එහි ප්‍රතිපලයක් විදිහට ආර්ථික විෂමතාවය ඉහල යෑම සහ  කම්කරු පංතියේ ජීවන තත්වය අර්බුධයට යෑම, එම තත්වයන් සියල්ල පෙරලා පද්ධතියම තුල ගැඹුරු ආර්ථික අර්බුධයන් නිර්මාණය කිරීමට සම්බන්ධ වීම ඉතාම සාරාංශ ගතව ඉදිරිපත් කරනවා. අපි දන්නව ආරම්භයේදී ධනේශ්වර සමාජයක් ඇතුලේ ප්‍රාග්ධනය වැඩෙන්න වැඩෙන්න ධනපතීන්ගේ සංඛ්‍යාව වැඩිවෙනවා. එකේ ප්‍රතිඵලය වෙන්නේ ඔවුන්ගේ අතර තියෙන තරගය වැඩි වෙන එක. මේ තරඟයෙන් දිනන එක කෙසේ වෙතත්, මේ තරඟය ඇතුලේ ඉන්නත් ඔවුනට තව තවත් ආයෝජනා කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ඔවුන්ට ගන්න වෙන පියවර තමයි වටිනාකම් සංකේන්ද්‍රණය.

“එක ධනපතියෙකුට තවත් ධනපතියෙක් ක්ෂේත්‍රයෙන් පන්න දමා ඔහුගේ ප්‍රාග්ධනය අල්ලා ගත හැක්කේ ලාබෙට විකිනීමෙනි. තමා විනාශ නොවී ලාබෙට විකිනීමට නම් ඔහු වඩාත් ලාබෙට ඒවා නිපදවිය යුතුයි.එනම් ශ්‍රමයේ ඵලදායී ශක්තිය හැකි තරම් වැඩි කල යුතුයි. එහෙත් අන් හැමටම පෙර ශ්‍රමයේ ඵලදායී ශක්තිය වැඩි කරන්නේ ශ්‍රමයේ වඩාත් විශාල විභජනයකිනි යන්ත්‍ර සූත්‍ර වඩාත් පුළුල් ලෙස යොදවමින් සහ යන්ත්‍ර නොකඩවාම උසස් කරලීමෙනි.”

(වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය - කාල් මාක්ස්)

මෙම තත්වය තවත් අර්බුධ ගණනාවකට මග පාදනවා.වටිනාකම් වැඩි වැඩියෙන් සංකේන්ද්‍රණය කරගන්න වැඩි වැඩියෙන්  ලාභය අවශ්‍ය වෙන නිසා මතුවෙන වැඩි වැඩියෙන් වියදම් අඩු කර ගැනීමේ අවශ්‍යතාවයේ ප්‍රතිපලයක් තමයි විරැකියාව.

“දැන් අපි සංක්ෂිප්ත ලෙස ධනපතීන් අතර කෙරෙන කාර්මික යුද්ධය ගැන චිත්‍රයක් ඇඳ පෙන්වමු. මෙම යුද්ධයට ආවේනික විශේෂතාවක් නම්, කම්කරුවන් නමැති යුද්ධ හමුදාව බඳවා ගන්නවාට වඩා ඔවුන් ඇස කර දැමීමෙන් යුද්ධය ජය ගැනීමය.යුද්ධ හමුදා සෙනවියන් ධනපතීන්, කර්මාන්ත සෙබළුන් ඇස කර දැමීම වැඩියෙන් කල හැක්කේ කාටද යන්න ගැන එකිනෙකා සමඟ තරඟයක යෙදී සිටිති”

(වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය - කාල් මාක්ස්)
  
මේ තත්වය අධිරාජ්‍යවාදී යුගය දක්වා වර්ධනය වුනහම තත්වය තවත් නරක වෙනවා. නිදහස් වෙළඳ තරඟය එහෙම්පිටින්ම නොනිල මට්ටමෙන් අහෝසි කරලා දානවා. ඒක භාණ්ඩ මිල සම්බන්ධයෙන් නිදහස් තරඟය ලබා දුන්නු සහනයත් අහෝසි වෙන්න හේතුවක් වෙනවා.

“සමාජීය නිෂ්පාදන මාර්ග අතලොස්සකගේ පෞද්ගලික දේපල වශයෙන් තවදුරටත් පවතී. බාහිර පෙඅනුම අතින් නිදහස් තරඟයේ රාමුව එසේම පවතින අතර ජනතාව මත පැටවුන ඒකාධිකාරයන්ගේ ග්‍රහණය සිය ගුණයකින් වැඩි වෙයි, වඩ වඩාත් පීඩාකාරී වෙයි, දැරිය නොහැකි බවට පත් වෙයි”

(අධිරාජ්‍යවාදය-ධනවාදයේ ඉහලම අවධිය-වී.අයි.ලෙනින්)  

නමුත් මාක්ස්වාදීන්ට වෙනස්ව ධනවාදය අර්බුධයට යෑම ධනවාදය තුලම අතික්‍රමණය කිරීමට හැකි ශක්‍යතාවක් ගැන අදහසක් සහ ඒ සඳහා ක්‍රියා මාර්ගයක්, ඔහු විසින් ඉදිරිපත් කරනවා. ඒත් ඒ අදහස සහ ක්‍රියාමාර්ගය පවා අවසානයේදී ධනවාදයේ අනිවාරණීය අර්බුධය යෑම පිලිබඳ ඔහුගේම මතයන් හමුවේ විසංවාදයක් නිර්මාණය කිරීම හරහා එතනදීත්, ඒ අදහස සහ ක්‍රියාමාර්ගයට අදාළ මාක්ස්වාදී මතයම, වක්‍රව වුවත් සනාථ කිරීම සිදු කරනවා

ධනවාදය අර්බුධයට යෑම ධනවාදය තුලම අතික්‍රමණය කිරීමට හැකි ශක්‍යතාවක් ගැන අදහස සහ ඒ සඳහා ක්‍රියා මාර්ගය ඉදිරිපත් කරන්න රොබට් රයිච් පදනම් කරගන්නනේ, මේ අර්බුධ සියල්ලට හේතුව  ආර්ථිකයට බල පැවැත්වෙන ඇමරිකාවේ වර්තමාන නෛතික ස්ථාවරයයි, කියන කරුණයි. ඒ නිසා දැනට පවතින නෛතික තත්වයේ වෙනසක් මගින් මේ අර්බුධයෙන් ගොඩ එන්න පුළුවන් කියල ඔහු මතයක් ඉදිරිපත් කරනවා. නමුත් මේ වීඩියෝව තුළ ඔහුම කියනවා වර්තමාන අර්බුධයට විසඳුම ලෙස ඔහු ගොඩනගන්න යෝජනා කරන තත්වයේ සමාජ සැකැස්මක් වරෙක පවතින්න හේතු වුන  ආර්ථික බලයේ පිහිටුම පහල සහ මධ්‍යම ආදායම් ලාභී  පවුල් වලින්  ධනවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන තැනකට  ප්‍රතිපත්තිමය තීරණයන් මගින් විතැන් කළාය කියල.

“දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක තුන තුල ඇමරිකානු ආදායම වේගයෙන් සහ සමානව වර්ධනය වුණා. නමුත් 1970 අගභාගයෙන් ඇරඹෙමින් මේ දේවල් වෙනස් වෙන්න පටන් ගත්තා. අද ඇමරිකානුවන්ගෙන් සියයට එකක් රටේ මුළු ආදායමෙන් සියයට විස්සක් ගෙදර ගෙනයමින් සිටිනවා සහ ඇමරිකානු ආදායමෙන් සියට තිස්පහකට වැඩි ආදායමක් අයිතිව සිටිනවා. එක ඉබේම සිද්ධ වුනේ නෑ එක තමයි, බදු, අධ්‍යාපනය, වෙළඳාම, ශුද්‍ර ආර්ථිකය සහ මුල්‍ය රෙගුලාසි කෙරෙහි වු, ආර්ථික බලය පහළ පහල සහ මධ්‍යම ආදායම් සහිත සහිත ඇමරිකානු පවුල් වලින් ඉවතට විතැන් කල ප්‍රතිපත්තිමය තීරණයන් සියල්ලගේ ප්‍රතිඵලය”

ඒවගේම ඔහුම මේ මුළු වීඩියොව පුරාවට පෙන්වන දේ තමයි, බදු වලට, වෙළඳ ප්‍රතිපත්ති වලට අදාලව ඉදිරිපත් කරපු සංශෝධන සියල්ල සේවය කරලා තියෙන්නේ ධනවතුන්ගේ අවශ්‍යතා වලට කියන එක. ඒකෙන් පැහැදිලි වෙනවා මේ සංශෝධන වලින් වාසි වෙලා තියෙන්නේ ධනවතුන්ට,එහෙනම් මේ සංශෝධන සේවය කලේ ධනවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කියන එක. ඉතින් රොබට් රයිච් කියනවා වගේ  මේ අර්බුධයෙන් ගොඩ එන්න නෛතික තත්වයේ වෙනසක් කලත් - ඒකට ඉඩක් ලැබෙන්නේ නැතිවග ඉතාම පැහැදිලියි. හොඳම උදාහරණය තමයි ලෝකේ පළමුවැනි ජනාධිපති වෙච්ච චිලී රජයේ හිටපු ජනාධිපති සැල්වදෝර් අයියන්දේගේ ඉරණම - කලින් වගේම ඒක වෙනස් කිරීමේ හැකියාව ධනවතුන්ට තියෙනවා කියන එක ඉතිහාසය විසින්ම ඔප්පු කරලා අවසන්.

-ප්‍රගාමී ව්‍යාපාරය

No comments:

Post a Comment