Friday, April 11, 2014

ලාංකීය ජනතා ව්‍යාපාරයන්හී සාංසිද්ධික අවධිය, අතික්‍රමණය කරමු..!!!!




ලංකාවේ ජනතා ව්‍යාපාර ගැන අවධානය යොමු කරද්දී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වුන දෙයක් තමයි, ඒවා තවමත් පසුවෙන්නේ සාංසිද්ධික අවධියේ කියන එක. 

ඒ කියන්නේ මොකක්ද කියන එක ලෙනින්ව උපුටා දක්වමින්ම පැහැදිලි කරනවා නම්, ලංකාවේ ජනතා ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න කොටස් “පලිගැනීම් ස්වරූපයෙන් කරන කඩා පැනීම්” වල ඉදලා, උපරිම වශයෙන්, “නිශ්චිත ඉල්ලීම ඉදිරිපත් කිරීමත්, වැඩ වර්ජන සඳහා සුපරික්ෂාකාරී ලෙස කල්යල් නියම කර ගැනීමත්, දන්නා වෙනත් ස්ථාන වල ඇතිවූ මෙවැනි සිදුවීම් හා අවස්ථා ගැන සාකච්ඡා කිරීමත්” වගේ පියවර අනුගමනය කිරීමක් හැරෙන්න, ඔවුන් සතුව “ස්වකීය වුවමනාවන්, මුළු මහත් දේශපාලන හා සමාජ ක්‍රමයම සමග නොපෑහෙන ලෙසින් පවතින සතුරුතාවය පිලිබඳ විඥානය” නොතිබීමේ තත්වය තමයි, අපි මේ විදිහට හඳුන්වන්නේ. කටුනායක ජනතා ව්‍යාපාරය, හලාවත ජනතා ව්‍යාපාරය, රතුපස්වල ජනතා ව්‍යාපාරය වගේ, ජනතා ව්‍යාපාර පිලිබඳ මෑතකාලීන හැම අත්දැකීමක්ම දිහා බලද්දී ඒක අපට සනාථ වෙනවා.

මේ හින්දම, මේ ජනතා ව්‍යාපාර අනන්ත අප්‍රමාණ දහදිය, කඳුළු, ලේ විතරක් නෙවෙයි, ජීවිත පවා පරිත්‍යාගයෙන් ලගා කරගන්න හදන ජයග්‍රහණ ලඟා කරගන්න කලින් ඒ ව්‍යාපාර දියාරු කරලා දාන්න ප්‍රතිගාමී බලවේග වලට හැකි වෙලා තියෙනවා. ජයග්‍රහණයක් ලඟා කරගන්න අවස්ථාවකදී වුනත්, ඒ ජයග්‍රහණය, ආපසු හැරවීමේ අවධානමක් සහිත, තාවකාලික බවට පත්වෙන, තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කලිනුත් සඳහන් කරපු, මේ ව්‍යාපාර වල දැවැන්ත පරිත්‍යාගයන්ගේ, ඵලදායීතාව, උපරිමයක් කරා ගෙන යන්න නොහැකි වෙලා තියෙනවා. මේ තත්වය ඇතුලෙ මිනිස්සු අධෛර්යයට පත්වීම හින්ද සමාජය ඇතුලේ ජනතා ව්‍යාපාර ගැන විශ්වාසය හීන වෙලා තියෙනවා. මේ තත්වය හින්ද තමයි කටුනායකදි රොෂේන් චානක ජීවිතය පවා පූජා කරලා පුද්ගලික විශ්‍රාම වැටුප් පනත අකුළමින් ලබා ගත්ත ජයග්‍රහණයේ පැවැත්ම, මහින්ද රාජපක්ෂගේ ධනපති ආණ්ඩුව ආපහු වටෙකින් එම පනත ගෙන එනවා කියන ආරංචියෙන් අවධානමකට ලක් වෙලා තියෙන්නේ. හලාවතදී ඇන්ටනී ජීවිතය විතරක් නෙවෙයි, තමන්ගේ දරුවන්ගේ අනාගතෙත් පූජා කරලා දිනා ගත්ත ඉන්ධන සහනාධාරය වෙනුවෙන් ඇන්ටනීගේ මළගමට යාන්තන් දෑවුරුද්දක් පිරෙන කොට, ධීවරයන්ට ආයේම පාරක් සටන් කරන්න වෙලා තියෙන්නේ.

මේ ඔක්කොගෙම ප්‍රතිඵලයක් විදිහට දැන් වෙනකොට ලංකාව ඇතුලේ සමාජ ප්‍රගමන ක්‍රියාවලිය හිරවීමකට ලක්වෙලා තියෙනවා. ඊට එරහිව අපිට අවශ්‍ය වෙන්නේ ඒ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය, මනුෂ්‍යයාගේ සවිඥානික මැදිහත් වීම. වෙනත් විදිහකට කියනවනම් ලංකාවේ ජනතා ව්‍යාපාර වල සාංසිද්ධික අවධිය, විප්ලවවාදී විඥානය සහිත කොටස් වල මැදිහත් වීමෙන් අතික්‍රමණය කිරීම.

-ප්‍රගාමී ව්‍යාපාරය

No comments:

Post a Comment