Friday, August 16, 2013

ආගම පීඩිතයන්ගේ සුසුමයි(sigh)..


මෑත කාලීනව ලාංකීය ජන සමාජය තුල සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පැවතී සහ මේ මොහොතේත් පවතින පටු, ප්‍රතිගාමී, වර්ගවාදය අරභයා මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරයක් හැටියට ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 2013/3/15 දින රැස්වූ ප්‍රගාමී ව්‍යාපාරයේ තාවකාලික මධ්‍යම කාරක සභාවට, පවතින පිටුදැකිය යුතු ප්‍රතිගාමී තත්වය පරාජය කිරීම සඳහා, එතෙක් සිදු කරමින් සිටි කාර්යභාරය පුළුල් කරමින්, මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරයක් හැටියට, න්‍යායික පීලි පැනීමකින් තොරව, නව වැඩපිළිවෙලක් නිර්මාණය කරගත යුත්තේ කෙසේද යන්න සම්බන්ධව සිය මතය පැහැදිලි කරමින් පංකජ මිනුෂ ජයවික්‍රම සහෝදරයා ඉදිරිපත් කල වාර්තාව පහත දැක්වේ. මාක්ස්-ලෙනින්වාදී ව්‍යාපාරයක ආගම සම්බන්ධ නිවැරදි න්‍යායික ස්ථාවරය පිලිබඳ සවිඥානික බව ඇති කරගැනීම උදෙසා සාර්ථකව උපකාරී කරගත හැකි ලේඛනයක් ලෙස සලකා අපි එය පල කරන්නන්ට තීරණය කළෙමු.






Tuesday, August 13, 2013

මෙවර සනාථවීම වේදනාබර මාදිලියේය.



පරමාදර්ශී සමාජයක් ගොඩනැගීමේ ක්‍රියාවලියක නියුතු මාක්ස්වාදී ව්‍යාපාරයක, රජය සම්බන්ධ න්‍යායික ස්ථාවරය, වර්තමානය වන විට එම ව්‍යාපාරය නියුතු පරමාදර්ශී සමාජයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය තුල ප්‍රමුඛ භූමිකාවක් හිමිකර ගන්නේ, මාක්ස්වාදී ව්‍යාපාරයන්හී රජය සම්බන්ධ ස්ථාවරය පිලිබඳ වැරදි අඳුරු චිත්‍රයන්, අතීත මාක්ස්වාදී ව්‍යාපාර වල න්‍යායික පීලීපැනීම්, මාක්ස්වාදී න්‍යායික ස්ථාවරයන් සහ න්‍යායික ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයන් ලෙස අර්ථනිරූපනය කරමින්, එම අර්ථ නිරූපනයන් සමාජ ගත කිරීමට සිදුකල දැවැන්ත ප්‍රවර්ධන ක්‍රියාකාරීත්වය හරහා  ධනපති පාලනයන් විසින් කම්කරු පන්තියේ සාමාජිකයන්ගේ විඥානය තුල නිර්මාණය කර, ඒ හරහා පරමාදර්ශී සමාජයක් ගොඩනගන ක්‍රියාවලිය ආපසු හරවමින්, අඩපන කරමින් ඇති  නිසාවෙනුත්, ඒ හැරුණු විට පරමාදර්ශී සමාජයක් ගොඩනැගීමේ ක්‍රියාවලියෙහි අනාගත සාක්ෂාත් කරගැනීම් පිලිබඳ, එම ක්‍රියාවලියෙහි නියුතු මාක්ස්වාදී ව්‍යාපාරය තුල සිටින විප්ලවීය සගයන්ගේ සවිඥානික බව ඇතිකර ගැනීමේ ඇති අවශ්‍යතාව නිසාවෙනුත් (මේ තුල ව්‍යාපාරය අවස්ථාවාදී පීලීපැනීම් වලට ගොදුරු වීමට ඇති ඉඩ ඇහිරීමක් සිදුවීම මෙහි ප්‍රමුඛ, ප්‍රගතිශීලී ප්‍රතිඵලය බවට පත්වේ.) සහ ශ්‍රී ලංකාව සැලකීමේදී මෙරට සිදුවන සිදුවීම් පදනම් කරගෙන මාක්ස්වාදී න්‍යායන් අනුභූතිකව සත්‍යෙක්ෂණය(verification) කර ගැනීමේ හැකියාව මාක්ස්වාදීන් වන සහ නොවන සියලු ලාංකීය සහෘදයන්ට(මාක්ස්වාදී වන සහෘදයන්ට මාක්ස්වාදී න්‍යාය පිලිබඳ විශ්වාසය වැඩිකර ගැනීමටත් මාක්ස්වාදී නොවන සහෘදයන්ට මාක්ස්වාදී න්‍යාය පිලිබඳ විශ්වාසය ඇති කරගැනීමත් සඳහා ) ලැබී, ඒ හරහා පරමාදර්ශී සමාජයක් ගොඩනැගීමේ ක්‍රියාවලියට නව ජවයක් එක්වන නිසාවෙනුත්ය. 

මෙම පසුබිම තුල රජය සම්බන්ධ, නිවැරදි මාක්ස්වාදී න්‍යායික ස්ථාවරයෙහි සුරක්ෂිතභාවය උදෙසා සහ එය කම්කරු පන්තිය තුල ප්‍රචලිත කිරීම උදෙසා කටයුතු කරන ක්‍රියාවලියක මාක්ස්වාදී ව්‍යාපාරයක් හැටියට අපි නියැලී සිටියෙමු.  ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාට අයත් LB Finance ආයතනය විසින් මුදල් අමාත්‍යංශය විසින් වාර්ෂිකව බදු නිදහස් කිරීම යටතේ වාහන ගෙන්වීම සඳහා නිකුත් කරන බලපත්‍රය යටතේ වාහන ගත් අයට ලීසිං පසුකම් සපයා එම ලීසිං වාරික නොගෙවූ වාහන අත්පත් කර ගත පසු ඒවා වෙනත් පාර්ශවයකට පැවරිය නොහැකි වීම හේතුවෙන් LB Finance ආයතනයට  ලක්ෂ 700 ක පමණ පාඩුවක් සිදුවීමට නියමිතව තිබු නිසාවෙන්, එම බලපත්‍රය මගින් ගෙන්වන වාහන, එම බලපත්‍රය නිකුත් කල දින සිට වසර තුනක් යන තෙක් වෙනත් පාර්ශවයකට  පැවරීම හෝ විකිණීමට නොහැකි වනසේ පනවා තිබු නීතිය රජය විසින් ඉවත් කරන ලද අවස්ථාවේද, අප නියැලී සිටි, රජය සම්බන්ධ, නිවැරදි මාක්ස්වාදී න්‍යායික ස්ථාවරයෙහි සුරක්ෂිතභාවය උදෙසා සහ එය කම්කරු පන්තිය තුල ප්‍රචලිත කිරීම උදෙසා කටයුතු කරන ක්‍රියාවලියෙහි දිගුවක් ලෙසට එම සිදුවීම  ධනපති සමාජයෙහි පවතින රජය යනු ධනපති පන්තියේ වුවමනාවන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නකි යන්න සනාථ කරන සිදුවීමක් වග පෙන්වා දුන්නෙමු. දැන් මේ මොහොත වනවිට එම කරුණම නැවතත් සනාථ කරගැනීමට මෙරට ජනතාවට ධනපති පන්තිය නියෝජනය කරමින් නැවත වරක් ධම්මික පෙරේරාත්, ධනපති රාජ්‍ය නියෝජනය කරමින් රාජපක්ෂ ආණ්ඩුව සමග ලොව “විනීතම” හමුදාවත් තවත් උදාහරණයක් සපයා ඇත. ඒ රතුපස්වල සිදුවීමයි. නමුත් කනගාටුවට කරුණ වන්නේ මෙවර සනාථ වීම වේදනාබර මාදිලියේ එකක් වීමයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

Sunday, May 5, 2013

වර්තමානයේ දෘශ්‍යමාන සමාජීය අර්බුධවල ප්‍රභවය.



(පරමාදර්ශී සමාජයක් ගොඩනැගීම උදෙසා ගත යුතු පියවර ලෙස, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ශිෂ්‍ය දෙව්මාල් නිලංක හඳපාන්ගොඩ සහෝදරයා විසින් යෝජනා කරන ලද, ආයතනමය ප්‍රතිස්ථාපනයක් සිදුකිරීමේ යෝජනාවකට, ෆේස් බුක් මාධ්‍යයෙන්, ප්‍රගමී ව්‍යාපාරයේ තාවකාලික මධ්‍යම කාරක සභාවේ සභික පංකජ මිනුෂ ජයවික්‍රම සහෝදරයා දුන් පිළිතුර)

මේකට පිළිතුරක් දෙද්දී මූලිකවම කියන්න ඕනි කාරණා දෙකක් තියෙනවා. ඒකෙන් පලවෙනි එක තමයි, මේකට පිලිතුරක් මෙවැනි මාධ්‍යකින් දීම ලෙහෙසි කාරණයක් නෙවෙයි කියන එක. ඒ හින්ද ඉදිරිපත් කරන පිළිතුර සාරාංශ ගත එකක් වීම වලක්වන්න බැහැ. ඊලග කාරනාව තමයි, මේකට මම දෙන පිලිතුර දෙන්නේ, මම මාක්ස්වාදියෙක් කියන පදනමේ ඉදල. එම නිසා මේක මාක්ස්වාදය මත පදනම් වෙච්ච පිළිතුරක් වීමත් වලක්වන්න බෑ.

දැන් අපි සංවාදය දිහාවට හැරෙමු. සංවාදය ආරම්භයේ ඉදලම බැලුවොත් සංවාදය ඉදිරියට ගලාගෙන ගිහින් තියෙන්නේ යම් කිසි සුවිශේෂී පදනමක් මත කියල අපිට දකින්න පුළුවන්. ඒ තමයි දැනට මෙරට පවතින තත්වය අයහපත්ය, එය යම් කිසි වෙනසකට භාජනය විය යුතුය කියන පදනමේ ඉදල. එතැනදී සහෝදරයා ඒ තත්වයට විකල්පයක් විදිහට පාර්ලිමේන්තුව අහෝසි කිරීම, නව ආයතන ගෙන එම වගේ දේවල් යෝජනා කරා. නමුත් විකල්පයක ඉදිරිපත් කිරීමට පෙර අපි මූලිකවම සිදු කල යුතුදේ වෙන්නේ, වර්තමාන තත්වය අයහපත් වන්නේ ඇයි, වර්තමාන තත්වයේ ඇති අර්බුධ මොනවාද, ඒවායේ මූලයන් මොනවාද යන්න හදුනා ගැනීමයි. ඒ දේ සිදු නොකර විකල්ප ඉදිරිපත් කිරීම අදුරේ අතපත ගෑමක් විතරයි.

ශ්‍රී ලංකාවත් ඇතුළුව අද ලෝකයේම තියෙන ධනවාදී සමාජවල සාමාන්‍ය ජන විඥානයට දෘශ්‍යමානවන ගැටළු සැලකුවොත් ඒවා ප්‍රධාන ප්‍රවර්ග දෙකක් යටතේ ගොනු කරන්න පුළුවන්. ඉන් එකක් තමයි, මිනිසාට හිමි, ස්වකීය ජීවිතයේ කටයුතු වල තීරක බලය සීමා සහිත වීමට අදාළ ගැටළු. අනිත් එක තමයි. සමාජ විරෝධී ක්‍රියාවන්ගේ වර්ධනයට අදාලව මතුවන ගැටළු. මේවා ඉරක් ගහල වෙන්කරන්න බැරි, අන්තර් සබඳතා සහිත ඒවා උනත් සාකච්චා කිරීමේ පහසුව තකා මේ ප්‍රවර්ග දෙක යටතේ සාකච්චා කරමු. අනිත් එක තමයි මෙතනදී සාකච්චා වෙන්නේ ජන විඥානයට ලෙහෙසියෙන් දෘශ්‍යමාන ගැටළු විතරයි කියන එකත් නැවත මතක් කරන්න කැමතියි.

පලවෙනි ප්‍රවර්ගයට අදාල ගැටළු සම්බන්ධව අවධානය යොමු කලොත්, ජීවිතය විඳීමට කාලයක් නොමැති වීම, කුටුම්භය තුල අන්තර් සබඳතා බිඳ වැටීම, ජීවිතය අතෘප්තිකර තත්වයකට පත් වීම, ජීවිතය විඩාවට පත්වීම වගේ දේවල් දක්වන්නට පුළුවන්. අද සමාජයේ බහුතරයකගේ ජීවිත දිහාවට ලංවෙලා බැලුවොත් දකින්න ලැබෙන දේ තමයි, ඔවුන්ගේ සාමාන්‍ය දිනයක් සැලකුවොත් එයින් වැඩි කාලයක් ගතවෙන්නේ මිනිස්සු තමන්ට “අවශ්‍ය නිසා කරන වැඩ” වලට නෙවෙයි කියන එක, ඔවුන්ට වැඩි කාලයක් වැය කරන්න වෙලා තියෙන්නේ තමන්ට “කරන්න සිද්ද වෙලා තියෙන නිසා කරන වැඩ” කරන්න කියන එක. ඒවගේම තමයි තාක්ෂණයේ දියුණුවට, මනුෂ්‍යායාගේ නිදහස් කාලය අනුලෝමව සමානුපාතික විය යුතුව තිබුනත්, එක සිදු වෙලා නෑ කියන එක. මන් මෙතන අවසානයට සඳහන් කරපු අර්බුද දෙක, ඊට ඉහත සඳහන් කරපු අර්බුද ඇති කරන්න හේතුවක් වශයෙනුත් ක්‍රියා කරනවා කියල ඕනිම කෙනෙකුට තේරෙනවා ඇති. පලවෙනි ප්‍රවර්ගයට අදාලව මේ වගේ ගැටළු රාශියක් අපිට මේ සමාජය ඇතුලේ හදුනා ගන්න පුළුවන්.

ඊලගට අපි අනෙක් ප්‍රවර්ගය දිහාවට අවධානය යොමු කලොත්, ඒ සම්බන්ධ කරුණු කාරණා මම මෙතන විශේෂයෙන් සඳහන් නොකලත් සමාජයතුළ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට ඒ ප්‍රවර්ගයට අදාල ගැටළු ගැන ප්‍රාමාණික අවබෝධයක් තියෙනවා. කුලියට මිනී මැරීම, සොරකම් කිරීම, ලිංගික වෙළදාම, මත් ද්‍රව්‍ය වෙළදාම ආදී බොහෝ සමජවිරෝධී ක්‍රියාවන් සමාජය තුල දකින්නට පුළුවන්. නමුත් මෙතැනදී විශේෂ අවධානයක් යොමු වියයුතු කරුණක් තියෙනවා. ඒ තමයි, මේ සියල්ල අද වෙනකොට දැවැන්ත කර්මාන්ත(Industy) තත්වයට පත්ව තිබීම. එම නිසා මේ කර්මාන්ත ප්‍රවර්ධනයට අදාලව නිමක් නැති සදාචාරාත්මක බිඳ වැටීමක් සමාජය තුල දකින්න පුළුවන්. මෑත කාලීන සමාජයේ දකින්න ලැබුන ඝාතන, ස්ත්‍රී දුෂණ මේවට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්.

මේ ප්‍රවර්ග දෙකටම අදාළ ගැටළු දිහා තාර්කිකව බැලුවොත් මේවා සියල්ලටම හේතුව වර්තමාන සමාජයේ තියෙන ආර්ථික සැකැස්ම කියල අපිට පැහැදිලි වෙනවා. පළවැනි ප්‍රවර්ගයට අදාළ ගැටළු දිහා බැලුවොත් ඒවා සියල්ලට හේතුව ශ්‍රම සූරා කෑම. ඒ ශ්‍රම සූරාකෑම ඇතුලේ අපිට අපේ පැවැත්මට විතරක් නෙවයි ධනපතියාගේ පැවැත්ම වෙනුවෙනුත් වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා. ඉතින් කොහෙද අපිට ජීවතේ විඳින්න වෙලාවක්, ඉතින් කොහෙද අපිට කුටුම්භය ඇතුලේ අන්තර් සබඳතා ගොඩ නගන්න වෙලාවක්, ඉතින් කොහෙද අපිට තෘප්තිමත් ජීවිතයක්..

දෙවැනි ප්‍රවර්ගයට අදාළ ගැටළු ගැන සැලකුවත් ඒවයේ හේතුව වෙන්නෙත් වර්තමාන ආර්ථික සැකැස්මමයි. වර්තමාන ආර්ථික ක්‍රමය සමාජයේ ඉන්න මනුෂ්‍යයාගේ මිලදී ගැනීමේ හැකියාව අඩු කරලා තියෙනවා.(ශ්‍රම සැපයුම,ඉල්ලුමට වඩා ඉතා ඉහල මට්ටමක පැවතීම ප්‍රයෝජනයට ගෙන ධනපතියා කම්කරුවාගේ වැටුප අවම මට්ටමක පවත්වා ගැනීම නිසා) ඒ නිසා නිෂ්පාදන වර්ධනය බාධා සිදු වෙලා තියෙනවා (සැබෑ අවශ්‍යතාවය වඩා අඩුවෙන් නිපදවනවා, නිෂ්පාදන අවශ්‍ය මිනිසුන් කොපමණ සිටියත් “විකිණීමට” නොහැකි නිසා ) එම නිසා රැකියා අවස්ථා නිර්මාණය වීම අඩු එල තියෙනවා. එම නිසා විරැකියාව වැඩි වෙලා තියෙනවා(තාක්ෂණයේ දියුණුව, වෙළද අර්බුධ වැනි දේත් මීට හේතු වෙනවා. නමුත් වෙළද පොළ තරගයක් නොමැතිනම් තාක්ෂණයේ දියුණුව විරැකියාවට හේතුවක් වන්නේ නැත. එවිට වන්නේ සේවකයෙකුගේ වැඩ දිනයක පැය ගණන අඩු වීම පමණකි) ඉතින් සමාජයේ කොටසක් විරැකියාවට පිළිතුරක් විදිහට සමාජ විරෝධී කර්මන්ත තෝරා ගන්න එක තමයි මේ තත්වයන්ගේ තර්කානුකූල ප්‍රතිඵලය.

ඉතින් ආර්ථික සැකැස්ම ප්‍රභවය වෙච්ච මේ ගැටළු ගොන්න විසදන්න නව පාලකයෝ, නව ආයතන, ආගමික මැදිහත්වීම් වගේ විකල්ප කොච්චර ඉදිරිපත් කලත් වැඩක් නෑ. ඒ සියල්ල වර්තමාන සැකැස්මටම ගොදුරු වෙලා විනාශ වෙලා යනවා. ඒ හින්ද අපි කල යුත්තේ ආර්ථික සැකැස්ම වෙනස් කිරීමයි. ඒ හරහා තමයි අපිට පරමාදර්ශී සමාජයක් බිහිකරන්න හැකි වෙන්නේ. හොදට මතක තියාගන්න, සමාජයේ බහුතරයක් තව කෙනෙකුට කන්න දෙන්නේ තමන් බඩගින්නේ නැත්නම් විතරයි..

-ප්‍රගාමී ව්‍යාපාරය

නලින් ද සිල්වාගේ මහා විසංවාදය.



වාස්තවිකත්වයට එරහිව නලින් ද සිල්වා සිය ප්‍රබලතම ශාස්ත්‍රීය අවිය ලෙස යොදා ගනුලබන්නේ, වාස්තවිකත්වය මනසින් ස්වායත්තව ඔප්පු කර පෙන්වන්න, යන අභියෝගයයි. මෙහිදී, එසේ කිරීමට නොහැකි වීම තුල වාස්තවිකත්වයක් නැතැයි යන්න ඔප්පුවේයැයි, ඔහුගේ නිගමනයයි. නමුත් එලෙස එම නිගමනයට එළඹීම, චතුෂ්කෝටික තර්ක ක්‍රමය පිළිගන්නා නලින් ද සිල්වාගේම දර්ශනයට, අදාලව විසංවාදී වෙයි. මන්ද එලෙස එම නිගමනයට එළඹීම ද්විකෝටික තර්කන ක්‍රියාවලියක් වන බැවිනි. නලින් ද සිල්වාට, ඔහුගේ අභියෝගයට අදාලව චතුෂ්කෝටික තර්කනය යෙදු විට එක විට "ඇත" හැරුණු විට "නැත" පමණක් නොව, "ඇත-නැත" අවස්ථාවක් සහ "ඇත්තේද නැත-නැත්තේද නැත" අවස්ථාවක් වලංගු වන බව එක්කෝ ඔහුට අමතක වී ඇත. නැත්නම් ඔහු දැන් පිළිගන්නේ ද්විකෝටිකය විය හැක. ඒ පිලිබඳ අපි නොදනිමු. කෙසේ වුවද අපට නම් මෙය නලින් ද සිල්වාගේ මහා විසංවාදයයි.

-ප්‍රගාමී ව්‍යාපාරය