Sunday, May 5, 2013

ත්‍රස්තවාදී ජාතික සංහිඳියාව සහ ආගමානුකූල වර්ගවාදය???????

“මගේ අර්ථදැක්වීම අනුව ඔබ ජාතිද්‍රෝහියෙක්, දේශද්‍රෝහියෙක්, එක්තරා අකාරයකට ත්‍රස්තවාදියෙක්..... සමාවෙන්න තව එකක් අමතක උනා... පැහැදිලිවම මෝඩයෙක්”

ඉහත දැක්වෙන්නේ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පටු, අදූරදර්ශී, ප්‍රතිගාමී වර්ගවාදය සම්බන්ධ සංවාදයකදී වර්ගවාදියෙකු අප සංවිධානයේ සහෝදරයෙකුට බැන වැදුණු කොමෙන්ටුවකින් උපුටා ගත් කොටසකි. අප සංවිධානයේ නියෝජිතයෙකුට මෙසේ බැන වැදීමට හේතු වූ, අප සංවිධානයේ, මෙරට පවතින මුස්ලිම් විරෝධී ක්‍රියාකාරීත්වය පිලිබඳ මතය, ප්‍රධාන කරුණු තුනක් මත පදනම් විය.

ඉන් පලමු කරුණ වුයේ, “සියලු ජාතිකත්වයන් නියෝජනය කරමින් අන්තවාදීන් සිටිනා බව අප පිළිගනිමු” යන්නයි. සිංහල, දෙමල, මුස්ලිම් බේදයක නැතිව සියලු ජාතිකත්වයන් සම්බන්ධයෙන් සලකා බැලූ විට තත්වය එයය.

දෙවැනි කරුණ වුයේ පළමු කරුණට අප ඉදිරිපත් කල විසඳුමය. එනම් “සියලු ජාතිවාදයන්(Racism) පරදමු” යන සටන් පාඨය ජයග්‍රහණය කරවීමය. මෙහිදී අප අවධාරණය කිරීමට උත්සහ කලේ, මෙම සටන් පාඨය ජයග්‍රහණය තුල එකිනෙකාගේ ආගමික නිදහසට බාදා නොවන ආගමික නිදහසක් සර්ව ආගමිකයන්ට හිමි වන බවත්, එතුල බහුතරය රැකීමට හෝ සුළුතරය බහුතරය බවට පරිවර්තනය කිරීමට කඩිමුඩියේ දරුවන් සෑදීම වැනි වර්තමාන, බහුතරයකගේ ආර්ථික තත්වය හා නොගැලපෙන ක්‍රියාකාරීත්වයක යෙදීමට සිදු නොවන බවය.

තුන් වන කරුණ ලෙස අප ඉදිරිපත් කරනු ලැබුවේ, ඕනෑම ආගමිකයෙකු, අන්‍ය ආගමික සාමකාමී ප්‍රවර්ධන කටයුතු වාරණය කිරීම, ස්වකීය ආගමික ප්‍රවර්ධනයේ මගක් ලෙස නොසලකා, ඊට විකල්පය ලෙසට අන්‍ය ආගමික සාමකාමී ප්‍රවර්ධන කටයුතු වලට තරගයක් දිය හැකි සාමකාමී ව්‍යාපාරයක් අරබන ලෙසය.

මේ කරුණු මත පදනම්ව අප සමාජ ව්‍යාපාරයක් ලෙස අපගේ මතය ඉදිරිපත් කරද්දී වර්ගවාදීන් සිදු කලේ භාවිතයට ගත හැකි සියලු ආකාරයේ අපහාසාත්මක වදන් යොදා ගනිමින් අපට බැනවැදීම මිස අප කියන්නට තැත් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට උත්සහ ගැනීම නොවේ.

මේ වන විට සිදුවී ඇත්තේ අපි වැනි සුළුතරයක් වූ ප්‍රගතිශීලී පාර්ශව කිහිපයක විරෝධතාවයන් මධ්‍යයේ ඒවා තුට්ටුවකට මායිම් නොකල මෙම අමන වර්ගවාදී රැලෙහි වර්ගවාදී වියරුවෙහි ප්‍රතිපල එකින් එක අප ඉදිරියට පැමිණීමයි. පසුගිය දා ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ට බොදු බල සේනාවෙන් හිරිහැර වන බව ප්‍රකාශ කරමින් මුස්ලිම් ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිලිබඳ මහලේකම් නවනීදම් පිල්ලේට සහ ජගත් මහා ලේකම් බැන්කී මූන්ට ලිපියක් යැවීම එහි පළමු පියවර ලෙස අපට දකින්නට ලැබුණි.මේ හරහා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පැවතෙන කාලය තුල, එයට ශ්‍රී ලංකාවට එරහි යෝජනාවක් ඉදිරිපත්වීමට නියමිතව තිබෙන මොහොතක, මෙවැනි සිදුවීමක් සිදුවීමට අවශ්‍ය පසුබිම සකස් කරමින්,ඇමරිකන් කෙටුම් පතේ ශ්‍රී ලංකා විරෝධී භාවයට ඔක්සිජන් සපයමින් ලංකාවට සිදු කරන විදේශීය මැදිහත්වීම වලට මග විවරකර දුන් ඊනියා දේශප්‍රේමී වර්ගවාදීන්ට සිය ගෝත්‍රික ක්‍රියාදාමයන්හි අවසාන විනාශකාරී ඵල අතරට මේවාද එකතුවෙයි කල් තියා දැකීමට තරම් දූරදර්ශී බවක් කිසිදාක තිබුනේද, ඇත්තේද, ඇතිවන්නට නියමිතද නැත.

එම සිදු වීමෙන්ද පාඩමක් ඉගන ගත බවක් පෙනෙන්නට නොමැති අමන වර්ගවාදීන් සිය වියරුව තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් දැන් බිත්තර ප්‍රහාර හරහා ඔවුන්ගේ නාමික අවිහින්සාවාදයෙන් එළිපිටම හිංසාවට විතැන් වී ඇත. මෙවාතුල වාසි ලබාගන්නේ අවස්ථාවාදී ව්යාපාරීකයන් බව තේරුම් නොගන්න මෝඩ වර්ගවාදීයෝ ඒවාට හුරේ දමති.

දැන් මේ සියල්ල විමසා බැලූ විට අවසානයේ අපට දැවැන්ත ප්‍රශ්නයක් පැන නැගී. එනම් ජාතික සංහිඳියාව ඒකීය රටක් තුල ගොඩනැගීමට ගන්නා අපේ උත්සාහය ත්‍රස්තවාදී එකක් නම් වර්ගවාදීන්ගේ වර්ගවාදී ක්‍රියාවලිය ආගමානුකුලද?????????? යන්නයි.

-ප්‍රගාමී ව්‍යාපාරය

පෞද්ගලික දේපල අයිතිය අහෝසි කිරීම කාන්තා විමුක්තියේ එකම මාර්ගයයි - ප්‍රගාමී ව්‍යාපාරයේ කාන්තා දින පණිවිඩය.


ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේදී අප ස්ත්‍රී විමුක්තිය හඳුනාගත යුත්තේ පරමාදර්ශී සමාජයක් ගොඩ නැගීමේ ක්‍රියාවලියෙන් වියුක්ත නොවූ දෙයක් ලෙසටය.

මිනිස් ශ්‍රමයේ ඒකක එකක් නිෂ්පාදනය කිරීමට යන මුදලට වඩා වැඩි මුදලක් මිනිස් ශ්‍රමයේ ඒකක එකකින් නිෂ්පාදනය කල හැක. ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලිය තුල කම්කරුවාට සිය ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන මුළු වටිනාකම ලැබෙන්නේ නැත. කම්කරුවා ශ්‍රමය ඒකක එකක් වැය කල පසු ධනපතියා කම්කරුවාට ගෙවන්නේ ශ්‍රමය ඒකක එකක් නිෂ්පාදනයට අවශ්‍ය වියදම මිසක ශ්‍රමය ඒකක එකකින් නිෂ්පාදනය කරන වටිනාකම නොවේ. ශ්‍රමය ඒකක එකකින් නිෂ්පාදනය කරන වටිනාකමෙන් ශ්‍රමය ඒකක එකක් නිෂ්පාදනයට යන මුදල අඩුකළ විට ඉතිරිය “අතිරික්ත වටිනාකම” ලෙස හදුන්වයි. මෙය යන්නේ ධනපතියාගේ සාක්කුවටය. අපි සරලව සූරාකෑම ලෙස හදුන්වන්නේ මෙම ක්‍රියාවලියයි. මෙම තත්වය තුල සිය ආදරණීයයන් ගෙන් සමන්විත පවුලට වඩා යහපත් ජීවන තත්වයක් උදා කරදීම උදෙසා කාන්තාවටද ධනවාදී සමාජය තුල සිය ශ්‍රමය විකිණීමට බල කෙරෙයි. සූරා කෑමට ලක්වීමට බල කෙරෙයි.

අනෙක් අතට, ඉහත විස්තර කල ආකාරයට ශ්‍රමය විසින් නිපදවන මුළු වටිනාකම කම්කරුවෙකු වශයෙන් කාන්තාවට නොලැබීම නිසා දිනකට වැඩි කාලයක් වැඩෙහි යෙදීමට සිදුවීමෙන්, ගතානුගතිකව නිවාස තුල අට පැවරුණු සුවිශේෂී වැඩ කොටස සඳහා කොතරම් නවීන පහසුකම් තිබුනද, උදාහරණයක් ලෙස මිරිස්ගල්, වංගෙඩි වෙනුවට බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර් තිබුනද, දර ලිප් වෙනුවට ගෑස් කුකර්, රයිස් කුකර් තිබුනද වර්තමාන කාන්තාව මෙම ධනවාදී සමාජය තුල දැඩි කාර්ය බහුලත්වයෙන් පිරි, සැනසුම, සතුට,විනෝදය රහිත පීඩිත ජීවිතයක් ගත කරමින් සිටි. ඒ හැරුණු විට යම් ආකාරයකට මෙම සමාජය තුල කිසියම් ස්ත්‍රියක් සිය ශ්‍රමය විකිණීමෙන් වැළකී සිටියහොත් ඇයට සිදුවන්නේ පෞද්ගලික දේපල අයිතියට සම්බන්ධවූ පුරුෂයාට යටත්ව සිටීමටය.

එපමණක් නොව ධනවාදය තුල ඇති අනවරත වෙළද තරගය හේතු කොටගෙන ධනපතියාට සිය භාණ්ඩ හැකිතාක් අඩුවට විකිණීමට සිදුවේ ඒ සඳහා ඔහු නිරන්තරයෙන් දියුණු වන නිෂ්පාදන මාධ්‍ය සඳහා ආයෝජනය කල යුතුය. මේ සඳහා හැකිතාක් ලාබා වැඩිකරගනීමට වැටුප් හැකිතාක් අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා කම්කරුවන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවේ. ධනපතීනට භාණ්ඩ නිපදවුවාට ඒවා විකිණීමට නොහැකිවේ. එවිට කම්හල් වස දැමීමට සිදුවේ. විරැකියාව වැඩිවේ. ඒ හැරුන විට නිරන්තරයෙන් දියුණු වන නිෂ්පාදන මාධ්‍යන් නිසාද රැකියාවන් කප්පාදුවේ. මෙලෙස ඇතිවන විරැකියා තත්වය අවසානයේ කාන්ත්වට සිය ජීවත් වීමේ මාධ්‍යන් උදෙසා ලිංගික ශ්‍රමය විකල්පයක් ලෙස තෝරා ගැනීමටද බල කරයි.

එමෙන්ම ධනවාදයේ වර්තමාන කාර්තුව වන නව ලිබරල් වාදයේ පරිබෝජනයේ ස්භාවය වන පරිබෝජනවාදයේ ප්‍රතිපලයක් ලෙසට ලිංගිකත්වය පරිබෝජනවාදී තත්වයකට පත්කිරීම හරහා ද ස්ත්‍රිය දැවැන්ත ආකාරයෙන් පීඩාවට පත්වෙමින් පවතී. එහි ආසන්නතම උදාහරණය ලෙස පසුගිය සිකුරාදා ඉන්දියානු තරුණියක් දූෂණයට ලක් වීම දැක්විය හැක.

ඉහත දැක්වූ කාන්තව පීඩනයට පත් කරන්නා වූ සියලු ආකාරයන් පිලිබදව විමසා බැලුවහොත් එම ආකාරයන් සියල්ලෙහි මූලය ලෙස හදුනා ගත හැකිවන්නේ ධනවාදයේද පදනම වන පෞද්ගලික දේපල අයිතියි. එබැවින් එය අහෝසිකිරීම හරහා ධනවාදය පරාජයකොට පරමාදර්ශී සමාජයක් ගොඩනගන ප්‍රගතිශීලී අරගලය ජයග්‍රහණය කරීමට අදිටන් කරගෙන ඒවෙනුවෙන් කල හැකි සියලු මැදිහත්වීම සිදු කිරීම මම කාන්තා දිනයේදී මෙන්ම ඉදිරියට එන සියලු කාන්තා දිනයන්හිදී කාන්තා විමුක්තිය අපේක්ෂා කරන සියල්ලන්ගේ ප්‍රමුඛතම කාර්යභාරය බව‍ට පත් වේ.

-ප්‍රගාමී ව්‍යාපාරය

මුස්ලිම් විරෝධීන්ට බොර තෙල් ආශ්‍රිත නිෂ්පාදන කැපද...


ප්‍රධාන වශයෙන් ප්‍රගාමී ව්‍යාපාරය හැටියටත්, පෞද්ගලිකව අපගේ භාවිතාව තුලත් අප දිගින් දිගටම වර්තමානයේ මෙරට ක්‍රියාත්මක ප්‍රතිගාමී මුස්ලිම් විරෝධයට එරහිව ක්‍රියා කළෙමු. විශේෂයෙන්ම, එහිදී අප කියා සිටියේ අන්තවාදීන් සියලු ජාතිකත්වයන් නියෝජනය කරමින් සිටින බව අප පිළිගන්න බවත්, ඊට විසඳුම වන්නේ පටු, ප්‍රතිගාමී මුස්ලිම් විරෝධය නොව “සියලු ජාතිවාදයන් පරදමු” යන සටන් පාඨය ජයග්‍රහණය කරවීම බවත්ය.

ඒ හැරුණු කොට, යම් කිසි ආගමක උන්නතිය උදසා කටයුතු කිරීම යනු, අන්‍යාගමිකයන් ඔවුන්ගේ ආගමේ උන්නතිය උදෙසා සිදු කරන ක්‍රියාකාරීත්වයන්(අප මෙහිදී අදහස් කරන්නේ සාමකාමී ක්‍රියාකාරීත්වයන් පිළිබඳවය. සාමකාමී නොවන ක්‍රියාකාරීත්වයක යෙදේ නම් අප කලින් ප්‍රකාශ කල පරිදි ඊට විසඳුම වන්නේ “සියලු ජාතිවාදයන් පරදමු” සටන් පාඨය ජයග්‍රහණය කිරීමය ) වාරණය කිරීම හරහා නොව ඊට සමකාමී තරගයක් දිය හැකි වැඩ පිළිවෙලක් තම ආගමට අදාලව ගොඩනැගීම බවත් එය වෛරය පදනම් කරගත් මුස්ලිම් විරෝධයට වඩා දස දහස් ගුණයක් වටිනා සහ ඵලදායි ක්‍රියාදාමයක් බවත්, ප්‍රගීත් අරවින්ද සහෝදරයා ගේ “බොදු විලාසිතාව සහ සිංහලය” යන ලිපිය වැනි ලිපි හරහා අපි පැහැදිලි කළෙමු.

කෙසේ වුවද තවමත් මුස්ලිම් විරෝධය සරුවට වැඩෙයි. ආරම්භයේ සිටම රාජපක්ෂ රෙජීමයේ ෆැසිස්ට්වාදය පවත්වා ගැනීමට උදව් කල, රාජපක්ෂ හෙජමොනියේ (රාජපක්ෂ හෙජමොනියේ ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් විරෝධය නිර්මාණය වූ ආකාර "රාජපක්ෂ හෙජමොනියේ ප්‍රථිපල: මුස්ලිම් විරෝධය..","මුස්ලිම් විරෝධීනි, ඔබ සිදුකරන්නේ රාජපක්ෂගේ ෆැසිස්ට්වාදයට මුක්කු ගැසීමකි.."යන ලිපිමගින් අප පැහැදිලි කර ඇත.) ප්‍රතිඵලයක් ලෙසට හට ගත් මුස්ලිම් විරෝධය, ධන ලෝබී ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිය ලාබය වැඩිකර ගැනීමට යොදාගැනීම නිසා සමාජය තුල දැඩිව ව්‍යාප්ත වී මේ වන විට මුස්ලිම් ජාතිය මත ජාතික පීඩනයක් ඇති කරන මට්ටමටම වර්ධනය වී ඇත. දැන් මුස්ලින් විරෝධයේ අලුත්ම ස්වරූපය වී ඇත්තේ හලාල් විරෝධයයි මෙම හලාල් විරෝධය සාධාරණීකරණය කිරීමට මුස්ලිම් විරෝධීන් දක්වන හේතුන් වන්නේ හලාල් සහතිකය ලබාදීමට අයකරනා මුදල් පහත දේ සඳහා යොදා ගැනීමයි.

1.ඉස්ලාම් මතවාද ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට යෙදවීම.
2.මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම.
3.ඉස්ලාම් ආගම අනුව ඉස්ලාම් සුබ සාධක තත්වයන් නැංවීම
4.ඉස්ලාම ආගම පිලිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීම
5.ඇතැම් ත්‍රස්ත සංවිධාන සඳහා යෙදවීම

යන ආදී කරුණුය.

මෙම කරුණු සාරාංශ ගත කලොත් මුස්ලිම් විරෝධීන් ප්‍රකාශ කරන්නේ අන්තවාදී හා අන්තවාදී නොවන මුස්ලිම් ආගමික කටයුතු ප්‍රවර්ධනය සඳහා හලාල් මුදල් යෙදීම හේතුවෙන් හලාල් වර්ජනය කරන බවය.මේ සමබන්ධව පසුගිය දිනක අප සමග සංවාදයක යෙදී සිටි මිතුරෙකු අපූරු ප්‍රකාශයක් කළේය ඔහු කීවේ හලාල් වර්ජනය කරන මුස්ලිම් විරෝධීන් වාහන වල යාමද වර්ජන කල යුතු බවය. මන්ද ඒවාට ඛනිජ තෙක් යොදා ගන්න බැවිනි.

අප ඛනිජ තෙල් මිල දී ගන්න රටවල් බහුතරයක් මුස්ලිම් රටවල් වේ. එම රටවල් අපට ඛනිජ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් අන්තවාදී හා අන්තවාදී නොවන මුස්ලිම් ආගමික කටයුතු ප්‍රවර්ධනය සඳහා යොදවන බව අත දරුවෙකු වුවද දන්නා කරුණකි. ඒ අනුව හලාල් වර්ජනය කරනා පදනමෙන් මුස්ලිම් විරෝධීන්ට බොරතෙල් ආශ්‍රිත සියලු නිෂ්පාදන අකැපය. එබැවින් දර ලිපෙන් පිසූ ආහාර ගෙන, ගොන් කරත්තව වලින් ගමනා ගමන පහසුකම් සපයා ගන්න මුස්ලිම් විරෝධීන් අපට නුදුරු අනාගතයේදීම දැක ගන්නට හැකි වෙනු නොඅනුමානය.

-ප්‍රගාමී ව්‍යාපාරය

Thursday, February 21, 2013

මාක්ස්වාදයට ආධුනිකයන් සඳහා "ප්‍රාග්ධනය"(5) - හුවමාරු වටිනාකම

වටිනාකම පවතින්නේ සහ විද්‍යාමාන වන්නේ හුවමරුවේදී පමණක් නම්, හුවමාරුව යන්නෙහි අර්ථය ග්‍රහණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.නැවතත් ඇරිස්ටෝටල් මහෝපකාරී මර්ගෝපදේශකයෙකි.

“ඇඳන් 5කට නිවසක් හුවමාරු කිරීම සලකමු. මෙම නිෂ්පාදන සමාන වර්ගයේ නොවේ.ඒවාට වෙනස් ලක්ෂණ මෙන්ම වෙනස් භාවිතයන් ඇත.එසේනම් ඒවා සමාන ලෙස හුවමාරු කරන්නේ කෙසේද?ඒවා සැබෑවටම සමානද?හුවමාරුව විසින් ඒවා සමාන ලෙස හඟවනු ලැබුවත් ඒවා සැබවට සමාන නොවේ.එම සමාන ලෙස විද්‍යමානවීම සාවද්‍යය.මිනිස්සු සරලව අසමාන දේ හුවමාරුවට තීරණය කරති.”

කෙසේ වුවත් අවසානයේ ඇරිස්ටොටල්, පාරිභෝගික භාණ්ඩ අතර සැබෑ සමානකමක් නොපැවතිය හැකි බවට තීරණය කරනූ ලැබූවේය. කිසිදු වස්තු යුගලක් සමාන නොවන බවට ඔහු තර්ක කළේය. නිගමනය දෝෂ සහිත වුවත් අඩුම තරමේ ඔහු හුවමාරුවෙහි සමානකම පිලිබඳ ප්‍රශ්නාර්ථයක එල්බ සිටියේය. මෙය, හුවමාරුව සමානකමෙහි නෛසර්ගික මූලධර්මයක් නිරූපණය කිරීමට ඇති ඉඩකඩ සලකාබැලීම පවා ප්‍රතික්ෂේප කළ සමකාලීන ආර්ථික විශේෂඥයන් අතරින් ඇරිස්ටෝටල් ඔසවා තබනු ලැබූවේය.

මිලෙහි පදනම වෙනත් දෙයක් බව, ඉල්ලුම හා සැපයුම අතර සමබරතාවය විසින් පෙන්නුම් කරන විට එය(හුවමාරුව) හුදෙක් පාරිභෝගික භාණ්ඩයේ මිලම පමණක් නොවන බවක් පෙනේ. වස්තූන් දෙකක් සමාන නොවේ යන ඇරිස්ටොටල්ගේ මතය අප පිලිගන්නේ නම් - එය එසේ වුවහොත් අපි කුමකට ඒවා හුවමාරු කරන්නේද? ගැටළුවකි. ලාක්ෂණිකව වෙනස්, භෞතිකව වෙනස් මෙම ද්‍රව්‍ය පිහිටුවාගත් අනුපාතයක් යටතේ හුවමාරු කරන්නේ කෙසේද?

උදාහරණයක් ලෙස දඩයක්කරුවන් දෙදෙනෙක් සතු මුවෙක් හා බීවරයෙක් සලකමු. මුවෙක් ඇල්ලීමට දවසක්ද, බීවරයෙකු ඇල්ලීමට දවස් 7ක්ද ගත වේ යැයි සලකන්න. දඩයක්කරුවන් දෙදෙන තම තම දඩයමෙහි සමසේ දක්ෂයෝ නම්, බීවරයෙකු මුවෙකුට සමාන කිරීම අසාධාරණ ලෙස පෙනේ. දින හතක කම්කරු ශ්‍රමයක නිෂ්පාදනයක් දිනයක නිෂ්පාදනයකට වෙළඳාම් කරන්නේ කෙසේද?

මෙවැනි හුවමාරුවක් කළ හැකිය. කුමකින් එය වළක්වාලයිද? නොදැනුවත්කම හෝ අභිමතය පරිදි නිෂ්පාදකයෙකුට මෙවැන්නක් කළහැකිය. නමුත් කාරණය වෙනස් වන්නේ විධිමත් පාරිභෝගික භාණ්ඩ හුවමාරුව, එනම් ධනවාදයේදීය. මෙහිදී භාණ්ඩ හුවමාරුව යාමනය කරනූ ලබන්නේ කම්කරු ශ්‍රමය යෙදෙන කාලය විසිනි. පාරිභෝගික භාණ්ඩ සම්පූර්ණයෙන් වෙනස් විය හැකිය. එහෙත් ඒවායේ සමානත්වයක් පවතී: එය නිපදවීමෙහි හෝ හිමිකර ගැනීමෙහි ලා මානව පරිශ්‍රමයක් අවශ්ය වී ඇත. හුවමාරුවේ පදනම මෙහිදී සැපයේ. මේ පදනම මත මුවන් හත් දෙනෙක්. එක් බීවරයෙකුට සමාන වේ. එනම් ඒ එක එකක් සමාන කම්කරු ශ්‍රම ධාරිතාවක් දරයි. මෙය ප්‍රශ්නයක් පැන නංවයි.: නිෂ්පාදනය කම්කරු ශ්‍රමය නිරූපණය කරයි යැයි කීමේ තේරුම කුමක්ද?

තේරුම මෙයයි: නිෂ්පාදනයට බොහෝ කම්කරු ශ්‍රමය වැයවේ. නිෂ්පාදනයේදී පෙර පැවති ද්‍රව්‍යමය වස්තු වෙනස් වේ. වස්තුවේ ස්වභාවය ඒ මත යෙදෙන කම්කරු ශ්‍රමය මත වෙනස් වේ. මේ අනුව කම්කරුවා මෙයට මුළුමනින් බලපා ඇත. එය ද්‍රව්‍යමය දෙයක් නිරූපණය කරයි.

වැඩය ආරම්භ වීමට මත්තෙන් වස්තුවකට ස්වභාවයෙන් ලැබුණු තත්වයක් ඇත. කම්කරු ශ්‍රමය එයට ඇතුලත් කර එම තත්වය වෙනස් කරයි.මේ අයුරින් කම්කරු ශ්‍රමය මෙහෙයවිම බලාපොරොත්තුවේ. එය වස්තුව තුළට ගමන් කරයි.

-ප්‍රගාමී ව්‍යාපාරය