Friday, January 4, 2013

සුළු ධනපතීන්ගේ විමුක්තියේ සැබෑ මග

පසුගියදා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කෙරුණු ආකාරයට මෙතෙක් කල් සුළු ධනපති බෙහෙත් වෙළඳුන් විසින් සිදු කල, බෙහෙත් වල සිල්ලර මිල ලකුණු කිරීම එම වෙළදුන්ට අහිමි වේ. මින් පසු එය සිදු කල යුත්තේ බෙහෙත් ආනයනය කරන හෝ නිෂ්පාදනය කරන ධනපති ව්‍යාපාරිකයන්ය.

මෙම පියවර හරහා පාරිභෝගිකයන්ට යම් වාසිදායක තත්වයක් උදා වේයැයි කිවහොත් එහි යම් සත්‍යතාවක් නැත්තේම නොවේ. නමුත් මෙහිදී අවධානය යොමු කලයුතු දේශපාලනිකව වැදගත් වෙනත් පැතිකඩක් තිබේ.       එනම් මේ හරහා සුළු ධනපතින් වන බෙහෙත් වෙළදුන්ට සිදුවන බලපෑමයි.

මෙම සිදුවීම හරහා පැහැදිලි වන්නේ සුළු ධනපතීන්ගේ විමුක්තියේ දිශාව ධනපති පන්තිය දෙසට යොමු වී නැති බවයි. මන්ද සුළු ධනපතීන් විශාල ධනපතීන් හා කරන තරගයේදී පරාජයට පත්වන බැවිනි.මේ සම්බන්ධයෙන් කොමියුනිස්ට් ප්‍රකාශනය තුල කාල් මාක්ස් හා ෆෙඩ්රික් එංගල්ස් ප්‍රකාශ කර ඇත්තේ පහත පරිදිය.

"මධ්‍යම පන්තියේ පහල තට්ටු වන කුඩා කර්මාන්ත හිමියෝද, සුළු වෙළෙන්දෝද, සුළු පොලී කරුවෝද හස්ත කර්මාන්ත කරුවෝ සහ ගොවියෝද යන මේ කොටස් නිර්ධන පන්තිය දක්වා පහත වැටෙති අඩ වශයෙන් මෙසේ වීමට එක හේතුවක් නම් විශාල කම්හලක් පටන් ගැනීමට තරම් ඔවුන්ගේ කුඩා ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවීමය, එමෙන්ම ඔවුන් විශාල ධනපතින් සමග කරන තරගයේදී  පරාජයට පත්වීමයි. අනෙක් හේතුවනම් නවීනතම නිෂ්පාදන ක්‍රම විධි ඔවුන්ගේ ශිල්පමය දක්ෂතාවය නොවටින දෙයක් බවට පත් කරනු ලැබීමය. මේ ලෙස ජනගහනයේ සියලු පන්තීන්ගෙන් නිර්ධන පන්තියට පුද්ගලයන් බඳවා ගනු ලැබේ"

ඉහත සිදුවීම තුලදී ආර්ථික ආධිපත්‍ය හිමි පන්තිය වන ධනපති පන්තියේ වුවමනාවන් වෙනුවෙන් රජය පෙනී සිටින අතර එය සුළු ධනපතීන් හා ධනපතීන් අතර තරගයේ ජයග්‍රහණය ධනපති පන්තියට ලබාදීම සඳහා කටයුතු කරයි. එම නිසා බෙහෙත් අලවි කරන්නා කිසිදු දිනක බෙහෙත් නිෂ්පාදකයෙකු/ආනයනය කරන්නෙකු  තෙක් උසස් නොවී තරගයට මුහුණ දිය නොහැකිව නිර්ධන පන්තියට ඇද වැටේ.

එම නිසා සුළු ධනපතීන්, ධනපතීන් බවට පත්වී ස්වකීය විමුක්තියක් ලබා ගැනීමක් ගැන සිතීම සිහිනයක් පමණක් බව තේරුම් ගත යුතුය. එමෙන්ම තමන්ට සැබෑ විමුක්තියක් ලැබිය හැක්කේ සමාජවාදී හා කොමියුනිස්ට් සමාජයන් යථාර්තයක් බවට පත් කිරීම හරහා පමණක් බවද තේරුම් ගත යුතුව ඇත.

-ප්‍රගාමී ව්‍යාපාරය  

No comments:

Post a Comment