Friday, April 11, 2014

සුඛෝපභෝගී වෙළඳ සන්නාම - ධනේශ්වර අර්බුදයේ පිළිබිඹුවක් ලෙස




කොළඹ කොටුවේ ඉදන් ගෝල් ෆේස් එක දිහාවට ඇවිදන් එද්දී දකුණු අත පැත්තෙන් අපිට පෙන්නේ ලංකාවේ ධනවාදයේ උපරිමය. හිල්ටන්, ගලදාරි හෝටල් වගේම, ආපනශාලාවන් කිහිපයකින්ම සමන්විත පරණ ලන්දේසි ඉස්පිරිතාලේ ඇතුලෙ තියෙන, සංගක්කාර මහේල සුසංයෝගය හිමිකම් කියන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් වගේ සුඛෝපභෝගී ආපනශාලා වෙළඳ සන්නාමත්, ඒ අස්සෙන් අපිට දකින්න පුළුවන්. ඒවා පාමුලම තියෙන ගෝල් ෆේස් එකට, යන එන සියගානක් මිනිස්සු අතරින් කීයෙන් කීයටද ඒ තැන් වලින් එකකට ගිහින් කෑම වේලක් ගන්න පුළුවන්? අපි දන්නවා බහුතරයකට බෑ කියල. එහෙම බැරි වෙන්න හේතුව තමයි මේ සන්නාමයන්, එහෙම නැත්තම් සුඛෝපභෝගී සන්නාමයන්(Luxury Brands) විෂයෙදී “මිල” පන්ති පෙරනයක් (filter) විදිහට ක්‍රියාත්මක වීම. සුඛෝපභෝගී වෙළඳ සන්නාම, මේ පන්ති පෙරනයක් විදිහට ක්‍රියා කරන මිල, දැරීමේ හැකියාව ඇති පන්තිය සහ නොහැකි පන්තිය කියන ප්‍රතිවිරෝධතාවන්ගේ ඒකත්වයක් විදිහට තමයි පවතින්නේ. මේකට අපිට කියන්න පුළුවන් සුඛෝපභෝගී වෙළඳ සන්නාමයන් දයලෙක්තික පැවැත්මක පවතිනවා කියලා.

අපි දන්නවා දැනට පවතින ආර්ථික ක්‍රමයේදී, ඒ කියන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයේදී වෙළඳ තරඟය අනිවාර්ය දෙයක්. මේ හින්ද සෑම ප්‍රාග්ධන හිමියෙකුට- අපි සරල අර්ථයෙන් කියමුකො ව්‍යාපාරිකයෙකුටම කියල- ඔහුට හෝ ඇයට සිද්ධ වෙනවා ව්‍යාපාරය ප්‍රසාරණය කරන එක කෙසේ වෙතත්, තියෙන තත්වය රැක ගන්න පවා තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කරන්න. මේක උදාහරණයකින් පැහැදිලි කරනවානම්, අපි සලකමු පරිඝණක මෘදුකාංග කර්මාන්තය. මේ කර්මාන්තයේ යෙදී සිටින සමාගම් වලට තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට මෘදුකාංග නිර්මාණය සඳහා භාවිතා කෙරෙන මෘදුකාංග, පරිගණක යන්ත්‍ර වගේ දේවල් අවශ්‍ය වෙනවා. දැන් අපි දන්නවා, කාලෙන් කාලෙට ඕනෑම වර්ගයක මෘදුකාංග වල නව සංස්කරණයන් එලි දැක්වෙනවා. මෘදුකාංග නිර්මාණය කරන්න භාවිතා කරන මෘදුකාංග වලටත් මේක අදාලයි. ඒ විතරක් නෙවෙයි කාර්යක්ෂමතාව වැඩි පරිගණක යන්ත්‍ර වෙළඳපොලට පැමිණෙනවා.කොයි කර්මාන්ත අංශ සැලකුවත් ඕනෑම කර්මාන්තකරුවෙක් උත්සහ කරන්නේ ලාභය වැඩි කරගන්න. ඒ සඳහා මූලිකව නිෂ්පාදන වියදම අඩුකරගන්න සහ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න අවශ්‍යයි. මෘදුකාංග කර්මාන්තය සැලකුවහම ඒ වෙනුවෙන් නව සංස්කරණ, නව පරිඝණක යන්ත්‍ර යොදා ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආයෝජනය කරන්න වෙනවා. එතකොට කවුරු හරි මෘදුකාංග සමාගම් හිමියක් හිටියත් ව්‍යාපාරය ප්‍රසාරණය කරන්න ඕනි නැති, එයාටත් සිද්ධ වෙනවා අර නව සංස්කරණ, නව පරිගණක යොදාගන්න. මොකද එහෙම නැත්තම් එයාගේ තරඟකරුවෝ ඒ නව සංස්කරණ, නව පරිගණක යන්ත්‍ර භාවිතයෙන් ගුණාත්මකව ඉහල, සහ ලාභ මිල නිෂ්පාදන ඉදිරිපත් කරන කොට එයාට වෙළඳ තරඟයේදී පරාජයට පත්වෙලා වෙළඳ පොලෙන් ඉවතට විසි වෙලා යනවා. දැන් පෙන්වා ඇති කෙනෙකුට ව්‍යාපාරය ප්‍රසාරණය කරන්න ඕනි වුනේ නැතත් ආයෝජනය කිරීම මග හරින්න බෑ කියල. මෙන්න මේ හින්ද සෑම නිෂ්පාදකයෙකුටම සිද්ධ වෙනවා අඩුම තරමේ නොනැසී පැවැත්ම උදෙසා හෝ වැඩි වැඩියෙන් ලාභය හඹාගෙන යන්න.

මෙහෙම ලාභය හඹාගෙන යද්දී නිෂ්පාදන වියදම අඩුකරාට, කාර්යක්ෂමතාව වැඩිකරාට, විතරක් මදි. නිෂ්පාදන සඳහා වෙළඳ පොළකුත් අවශ්‍ය වෙනවා. නමුත් ධනවාදය වර්ධනයත් එක්ක සිද්ධ වෙන තව දෙයක් තමයි, බහුතරයකගේ ක්‍රය ශක්තිය අඩු වීම. මේ තත්වය ඇති වෙන්නේ ව්‍යවසායකයෝ තමන්ගේ නිෂ්පාදාන වියදම අඩු කරන්න ගන්න උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට. මේ කියන තත්වය සංඛ්‍යා දත්ත ඇසුරෙන් පැහැදිලි කරනවනම් ලංකාවේ පොහොසත්ම ගෘහ ඒකක 20% ලංකාවේ සමස්ත ගෘහ ඒකක ආදායමෙන් 54% ආසන්න කොටසක් හිමි කරගන්නවා. ඉතුරු 80%ටම ලැබෙන ආදායම සමස්ත ගෘහ ඒකක ආදායමෙන් 46% විතරයි. ඉතින් ජනගහනයේ බහුතරය සතු ආර්ථිකයේ පංගුව කුඩා වීමත්, විශාල ආර්ථික පංගුව සතු ජනගහනය ඉතා කුඩා වීමත් කියන මේ තත්වය තුල නිෂ්පාදකයාගේ වෙළඳපොළ පටු වෙනවා. මේක තවත් පැහැදිලි කරනවානම්. කොට්ට නිෂ්පාදකයෙක් සලකන්න. ඔහු තමන්ගේ ඉලක්ක ගත පාරිභෝගික ප්‍රජාව විදිහට ලංකාවේ සමස්ත ගෘහ ඒකක සංඛ්‍යාවම තෝරා ගත්තොත්, සමස්ත ගෘහ ඒකක ආදායමෙන් 46% පමණක් හිමි කරගන්න 80% සැලකුවහම ඔහුන් අතර කුඩා ආදායමක් වැඩි පිරිසක් අතර බෙදිලා ගිහින්, ඔවුන්ගේ ක්‍රය ශක්තිය අඩු මට්ටමක තියෙන හින්ද ඊට ගැලපෙන මිලකට තමයි නිෂ්පාදනය අලෙවි කරන්න වෙන්නේ. එතකොට 54% හිමිකරගත්ත 20% කොට්ටයක් ගන්නේත් අර මිලටමයි. ඒ ඇරුනහම ඒ කණ්ඩායම මිලට ගන්න මාධ්‍යන කොට්ට සංඛ්‍යාවත් අනිත් කොටසේ අගයම තමයි. 

දැන් ඔබට පේනවා ඇති යම් කිසි නිෂ්පාදනයක් ධනවාදය ඇතුලේ විකුණන කොට පන්ති පදනමෙන් විකුණුවේ නැතොත් එම භාණ්ඩයට අදාළ වෙළඳපොළ පුළුල් වෙන්නේ නෑ. මොකද එන්න එන්න බහුතරයේ ක්‍රය ශක්තිය ධනේශ්වරයේ අර්බුධකාරී ස්වභාවයේ ප්‍රතිඵලයක් විදිහට අඩු වෙන හින්ද. ධනවාදයේ ප්‍රතිඵලයන්ම වෙච්ච බහුතරයගේ ක්‍රය ශක්තිය අඩුවීම, සුළුතරයක් අත ධනය සංකේන්ද්‍රණය වීම කියන මෙන්න මේ හේතු හින්දා වෙළඳපොළ පුළුල් වීමට ඇති වෙන බාධාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි සුඛෝපභෝගී වෙළඳ සන්නාම ධනේශ්වර වෙළඳ පොල තුල පැන නගින්නේ. ලංකාවේ තත්වය සැලකුවොත් පොහොසත්ම 20% සතු සමස්ත ගෘහ ඒකක ආදායමෙන් 54%ක් වුනු ආර්ථිකයේ, පිවිසෙන්න පුළුවන් කොටස වැඩි කරගන්න ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි මේ සුඛෝපභෝගී වෙළඳ සන්නාම කියන්නේ.

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ විදිහට සුඛෝපභෝගී වෙළඳ සන්නාම බිහි වීම හොද දෙයක්ය. මේක හින්ද ධනපති සුළුතරයක් අතර සංකේන්ද්‍රණය වෙලා තියෙන ධනය විසිරිලා යනවය කියල. නමුත් කරුණු දෙකක් හින්ද එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. එකක් තමයි, ධනය සංකේන්ද්‍රණයට උත්තේජනයක් වෙමින්, සුඛෝපභෝගී වෙළඳ සන්නාම වල පැවැත්ම සහතික කරන අසමානතාවයේ පැවැත්ම, පෙරලා සහතික කරන අනොන්‍ය සබැඳියාවක් අසමානතාව සහ සුඛෝපභෝගී වෙළඳ සන්නාම අතර තිබීම කියන කාරණය. අනිත් එක තමයි, මේ සුඛෝපභෝගී වෙළඳ සන්නාම වල හිමිකාරීත්වය සතු වෙන්නේ ඉහත සඳහන් 20%ටම වීම. එක හින්ද සංකේන්ද්‍රණය වුනු ධනයේ විසිරීමක් සිදු වෙනවා වෙනුවට එතන සිද්ධ වෙන්නේ බල්ලෝ රංචුවක් මස් කට්ටකට පොර කන දර්ශනයේ මිනිස් සංස්කරණය (Human Version) ප්‍රදර්ශනය කෙරෙන එක විතරයි. 

-ප්‍රගාමී ව්‍යාපාරය.

ගෝඨාභය මාක්ස්වාදී ස්ථාවරයක් තහවුරුකරයි.!!!!




පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කර තිබුන ආකාරයට, බුද්ධි අංශ පිලිබඳ වර්තමාන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මතය වන්නේ, එම අංශ සාම කාලයෙදීත් වැදගත්ය යන්නයි. 

එය ඔහු විසින් ඉදිරිපත් කෙරෙන්නේ ජාතික සීමාවෙන් පරිබාහිරව අපේක්ෂිත අභියෝගයන් සැලකිල්ලට ගෙනයැයි උපකල්පනය කළහොත්, පැන නගින ගැටලුව වන, එම අභියෝගයන් අරභයා “ස්වයං ක්‍රියාකාරී අවිගත් කණ්ඩායමක” ක්‍රියාකාරිත්වය යෝග්‍ය නොවේද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී සාක්ෂාත් වන ස්වයං අවබෝධය වන්නේ, - පිළිතුර “නොවේ” යන්න බැවින්- රාජ්‍ය විසින් ජාතික සීමාව තුල ගොනු කෙරුණු ප්‍රජාව සැලකු විට එහි සමස්තයේ හෝ අඩුම තරමේ බහුතරයේ අවශ්‍යතාවය, හිර ගෙවල් සහ අනෙකුත් ආයතන තම අණසක යටතට ගෙන සිටින විශේෂ මණ්ඩල වලට අයත් සන්නාහ සන්නද්ධ පුද්ගලයන්ගෙන් නිර්මිත, රාජ්‍යය මගින්, නියෝජනය නොවන බවයි.මෙම ස්වයං අවබෝධයේ වලංගුභාවය, එය සාක්ෂාත් කරගැනීම කරා මෙහෙයවන ප්‍රශ්නයෙහි නිමිත්ත, ජාතික සීමාව තුලට විතැන් වූ අවස්තාවේදී සැලකූ විටද, අහෝසි වීමකට ලක් නොවේ.ඒ හැරුණු විට රාජ්‍යය සමන්විත මර්ධනකාරී ව්‍යුහයක අකාලික වැදගත්කම දක්වන, රාජ්‍යය නියෝජනය කරන පුද්ගලයකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ මෙම අදහස් දැක්වීම, මර්ධනය රාජ්‍යයේ අකාලික අවශ්‍යතාවක් බව සනාථ කරයි.

රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරය සැලකූවිට එමගින් ප්‍රකාශිත අදහස වන්නේද රාජ්‍යය සමස්තය නියෝජනහිලා අසමත් සහ මර්ධනකාරී ප්‍රපංචයක් වන බවය.

“..විසඳිය නොහැකි සේ සමාජය ප්‍රතිවිරෝධී පන්ති වලට බිඳී ගොස් තිබෙය යන ප්‍රධාන මතය හා මූලික අදහස අඳුරු කරවමින් සාමන්‍ය මිනිසාගේ සිත මනහර ලෙස අන් අතකට යොමු කරවීම පිණිස කරන එවැනි ප්‍රකාශනයක් “විද්‍යාත්මක” ලෙස පෙනේ.

මෙවැනි භේදයක් නොතිබුනුනම් දඬු වන්න මිලේච්ඡ මිනිසුන් සමූහයකින් හෝ එසේත් නැත්නම් ගෝත්‍ර සාමාජ සංවිධානයකින් හෝ “ස්වයං ක්‍රියාකාරී අවිගත් ජනතා සංවිධානය” උසස් වන්නේ සිය සංකීර්ණ බව හා උසස් ශිල්ප ඥානය ආදිය නිසාය. එහෙත් එවැනි සංවිධානයක් තවමත් ඇතිවිය හැක.

එහෙත් එවැනි සංවිධානයක් ඇතිවීම නොහැකි වන්නේ සභ්‍ය සමාජය සතුරු ලෙස භේදවී යාම සහ සමාදාන කල නොහැකි සේ සතුරු පන්ති වලට බෙදී යාමත් නිසා “ස්වයං ක්‍රියාකාරී” අවි ගැනීමකින් ඔවුන් අතර අවිගත් සටන් පැතිර යාමට ඉඩ කඩ ඇතිවිය හැකි බැවිනි. රජයක් ඇතිවීම සමග විශේෂ බලයක් නිර්මාණය වෙයි,අවිගත් මිනිසුන්ගේ විශේෂ හමුදා ඇතිවෙයි. තමන්ට සේවය කරන අවිගත් මිනිසුන්ගෙන් යුත් විශේෂ සංවිධාන සෑදීමට පන්තිය යත්න දරන සැටිත්, මර්ධනයට ගොදුරුවී සිටින සූරාකන්නන්ට සේවය නොකරන, සූරා කණු ලබන්නන්ට සේවය කරන, අලුත් පන්නයේ සංවිධානයක් සෑදීමට යත්න දරන සැටිත් රාජ්‍ය යන්ත්‍රය සුනු විසුනු කරමින් සෑම විප්ලවයක්ම අපට පැහැදිලිව පෙන්වයි.”

(රජය හා විප්ලවය - ලෙනින්)

මෙහිදී ගෝඨාභයගේ ප්‍රකාශයෙන් ආවරණය නොකෙරෙන රාජ්‍ය පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරයේ රාජ්‍යය නියෝජනය කරන සමාජ ස්ථරයේ අනන්‍යතාවය ආදී කොටස් සනාථ කිරීම, කටුනායකදී රොශාන චානක ඝාතනය, හලාවත ඇන්ටනී ඝාතනය, රතුපස්වල සිදුවීම ආදී සිදුවීම් තුල රාජ්‍යයයේ භාවිතයෙන් එම ප්‍රකාශයට පෙරම සනාථ කොට ඇත. එබැවින්, ගෝඨාභයගේ උක්ත අදහස් දැක්වීම, රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරය තහවුරු කිරීමක් ලෙස සැලකිය හැක.

-ප්‍රගාමී ව්‍යාපාරය.

මාක්ස්වාදය- මොකක්ද? මොකටද?


ප්‍රගාමී ව්‍යාපාරයේ අධ්‍යාපන අංශය විසින් ප්‍රකාශිත, මාක්ස්වාදය පිලිබඳ සරල සහ මූලික පැහැදිලි කිරීම් සහිත නිබන්ධ පෙළෙහි මුල් නිබන්ධය වන "මාක්ස්වාදය- මොකක්ද? මොකටද?" නිබන්ධයේ PDF පිටපත පහත දැක්වේ.

PDF පිටපත මෙතැනින්

රාජපක්ෂ පාලනයේ ප්‍රවර්ගය


ප්‍රගමී ව්‍යාපාරයේ තාවකාලික මධ්‍යම කාරක සභාවේ සභික පංකජ මිනුෂ ජයවික්‍රම සහෝදරයා එම ව්‍යාපාරයේ අධ්‍යාපන අංශය වෙනුවෙන් රචිත, වර්තමාන ලාංකීය පාලනය පිලිබඳ සිදුකල මාක්ස්වාදී විග්‍රහය අඩංගු, "රාජපක්ෂ පාලනයේ ප්‍රවර්ගය" කෘතියේ PDF පිටපත පහත දැක්වේ.