Friday, April 11, 2014

ගෝඨාභය මාක්ස්වාදී ස්ථාවරයක් තහවුරුකරයි.!!!!




පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කර තිබුන ආකාරයට, බුද්ධි අංශ පිලිබඳ වර්තමාන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මතය වන්නේ, එම අංශ සාම කාලයෙදීත් වැදගත්ය යන්නයි. 

එය ඔහු විසින් ඉදිරිපත් කෙරෙන්නේ ජාතික සීමාවෙන් පරිබාහිරව අපේක්ෂිත අභියෝගයන් සැලකිල්ලට ගෙනයැයි උපකල්පනය කළහොත්, පැන නගින ගැටලුව වන, එම අභියෝගයන් අරභයා “ස්වයං ක්‍රියාකාරී අවිගත් කණ්ඩායමක” ක්‍රියාකාරිත්වය යෝග්‍ය නොවේද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී සාක්ෂාත් වන ස්වයං අවබෝධය වන්නේ, - පිළිතුර “නොවේ” යන්න බැවින්- රාජ්‍ය විසින් ජාතික සීමාව තුල ගොනු කෙරුණු ප්‍රජාව සැලකු විට එහි සමස්තයේ හෝ අඩුම තරමේ බහුතරයේ අවශ්‍යතාවය, හිර ගෙවල් සහ අනෙකුත් ආයතන තම අණසක යටතට ගෙන සිටින විශේෂ මණ්ඩල වලට අයත් සන්නාහ සන්නද්ධ පුද්ගලයන්ගෙන් නිර්මිත, රාජ්‍යය මගින්, නියෝජනය නොවන බවයි.මෙම ස්වයං අවබෝධයේ වලංගුභාවය, එය සාක්ෂාත් කරගැනීම කරා මෙහෙයවන ප්‍රශ්නයෙහි නිමිත්ත, ජාතික සීමාව තුලට විතැන් වූ අවස්තාවේදී සැලකූ විටද, අහෝසි වීමකට ලක් නොවේ.ඒ හැරුණු විට රාජ්‍යය සමන්විත මර්ධනකාරී ව්‍යුහයක අකාලික වැදගත්කම දක්වන, රාජ්‍යය නියෝජනය කරන පුද්ගලයකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ මෙම අදහස් දැක්වීම, මර්ධනය රාජ්‍යයේ අකාලික අවශ්‍යතාවක් බව සනාථ කරයි.

රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරය සැලකූවිට එමගින් ප්‍රකාශිත අදහස වන්නේද රාජ්‍යය සමස්තය නියෝජනහිලා අසමත් සහ මර්ධනකාරී ප්‍රපංචයක් වන බවය.

“..විසඳිය නොහැකි සේ සමාජය ප්‍රතිවිරෝධී පන්ති වලට බිඳී ගොස් තිබෙය යන ප්‍රධාන මතය හා මූලික අදහස අඳුරු කරවමින් සාමන්‍ය මිනිසාගේ සිත මනහර ලෙස අන් අතකට යොමු කරවීම පිණිස කරන එවැනි ප්‍රකාශනයක් “විද්‍යාත්මක” ලෙස පෙනේ.

මෙවැනි භේදයක් නොතිබුනුනම් දඬු වන්න මිලේච්ඡ මිනිසුන් සමූහයකින් හෝ එසේත් නැත්නම් ගෝත්‍ර සාමාජ සංවිධානයකින් හෝ “ස්වයං ක්‍රියාකාරී අවිගත් ජනතා සංවිධානය” උසස් වන්නේ සිය සංකීර්ණ බව හා උසස් ශිල්ප ඥානය ආදිය නිසාය. එහෙත් එවැනි සංවිධානයක් තවමත් ඇතිවිය හැක.

එහෙත් එවැනි සංවිධානයක් ඇතිවීම නොහැකි වන්නේ සභ්‍ය සමාජය සතුරු ලෙස භේදවී යාම සහ සමාදාන කල නොහැකි සේ සතුරු පන්ති වලට බෙදී යාමත් නිසා “ස්වයං ක්‍රියාකාරී” අවි ගැනීමකින් ඔවුන් අතර අවිගත් සටන් පැතිර යාමට ඉඩ කඩ ඇතිවිය හැකි බැවිනි. රජයක් ඇතිවීම සමග විශේෂ බලයක් නිර්මාණය වෙයි,අවිගත් මිනිසුන්ගේ විශේෂ හමුදා ඇතිවෙයි. තමන්ට සේවය කරන අවිගත් මිනිසුන්ගෙන් යුත් විශේෂ සංවිධාන සෑදීමට පන්තිය යත්න දරන සැටිත්, මර්ධනයට ගොදුරුවී සිටින සූරාකන්නන්ට සේවය නොකරන, සූරා කණු ලබන්නන්ට සේවය කරන, අලුත් පන්නයේ සංවිධානයක් සෑදීමට යත්න දරන සැටිත් රාජ්‍ය යන්ත්‍රය සුනු විසුනු කරමින් සෑම විප්ලවයක්ම අපට පැහැදිලිව පෙන්වයි.”

(රජය හා විප්ලවය - ලෙනින්)

මෙහිදී ගෝඨාභයගේ ප්‍රකාශයෙන් ආවරණය නොකෙරෙන රාජ්‍ය පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරයේ රාජ්‍යය නියෝජනය කරන සමාජ ස්ථරයේ අනන්‍යතාවය ආදී කොටස් සනාථ කිරීම, කටුනායකදී රොශාන චානක ඝාතනය, හලාවත ඇන්ටනී ඝාතනය, රතුපස්වල සිදුවීම ආදී සිදුවීම් තුල රාජ්‍යයයේ භාවිතයෙන් එම ප්‍රකාශයට පෙරම සනාථ කොට ඇත. එබැවින්, ගෝඨාභයගේ උක්ත අදහස් දැක්වීම, රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරය තහවුරු කිරීමක් ලෙස සැලකිය හැක.

-ප්‍රගාමී ව්‍යාපාරය.

මාක්ස්වාදය- මොකක්ද? මොකටද?


ප්‍රගාමී ව්‍යාපාරයේ අධ්‍යාපන අංශය විසින් ප්‍රකාශිත, මාක්ස්වාදය පිලිබඳ සරල සහ මූලික පැහැදිලි කිරීම් සහිත නිබන්ධ පෙළෙහි මුල් නිබන්ධය වන "මාක්ස්වාදය- මොකක්ද? මොකටද?" නිබන්ධයේ PDF පිටපත පහත දැක්වේ.

PDF පිටපත මෙතැනින්

රාජපක්ෂ පාලනයේ ප්‍රවර්ගය


ප්‍රගමී ව්‍යාපාරයේ තාවකාලික මධ්‍යම කාරක සභාවේ සභික පංකජ මිනුෂ ජයවික්‍රම සහෝදරයා එම ව්‍යාපාරයේ අධ්‍යාපන අංශය වෙනුවෙන් රචිත, වර්තමාන ලාංකීය පාලනය පිලිබඳ සිදුකල මාක්ස්වාදී විග්‍රහය අඩංගු, "රාජපක්ෂ පාලනයේ ප්‍රවර්ගය" කෘතියේ PDF පිටපත පහත දැක්වේ.

Saturday, November 16, 2013

2013 නොවැම්බර් 01 තේරුම්ගන්න In Time බලන්න.



පසුගිය නොවැම්බර් පළමු දා සුවිශේෂී දිනයක් බවට පත්වුයේ එකම ක්‍රියාවලියක පියවරයන් දෙකකට උදාහරණයන් ලෙස ගෙනහැර දැක්විය හැකි සිදුවීම් දෙකක් එම දිනයෙදී සිදුවීමයි. එම සිදුවීම් දෙක නම් පෞද්ගලික බස් රථ වල ගාස්තු වැඩි කිරීම සහ පරිපූරක-අතුරු වෛද්‍ය -හෙද සේවක වැඩ වර්ජනයයි. මෙම අවස්ථාවන් දෙක කුමන ක්‍රියාවලියක කුමන පියවරයන් නියෝජනය කරයිද යන්න සහ එම පියවරයන්හී ඇති චක්‍රිය සම්බන්ධය තේරුම් ගැනීම සමාජයක් ලෙසට සැබෑ විමුක්තිය දෙසට යොමුවුනු සැබෑ අරගලය තෝරා ගැනීමෙහිලා මහඟු පිටිවහලක් බවට පත්වේ. අපි මේ කරුණු තේරුම් ගැනීමට පරිපූරක-අතුරු වෛද්‍ය-හෙද සේවක වැඩ වර්ජනයෙන් අරඹමු.

පරිපූරක-අතුරු වෛද්‍ය-හෙද සේවක වැඩ වර්ජනය ක්‍රියාත්මක වුයේ ප්‍රධාන ඉල්ලීම් 6ක් මුල් කරගෙනය. රාජකාරි බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා ලෙස මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබාදීම, වෛද්‍යය සේවාවට දැනට ගෙවන අතිකාල දීමනාවට සමානුපාතිකව ආරම්භක ශ්‍රේණියේ දීමනාව රුපියල් 200ක් වන ලෙස අතිකාල දීමනා වැඩිකිරීම, පළමු හා විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ට රුපියල් 4000ක සන්නිවේදන දීමනාවක් ලබාදීම, පළමු හා විශේෂ ශ්‍රේණි නිලධාරීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම, වැටුප් විෂමතා වහා නිවැරැදි කිරීම එම ඉල්ලීම් ලෙස දැක්විණි. ඕනෑම සේවක පිරිසක් වැඩි වැටුප් ඉල්ලන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට මහා ආර්ථික විද්‍යා දැනුමක් අවශ්‍යය නැත. මිනිසුන් වැටුප් වැඩි වීමක් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ක්‍රය ශක්තිය, එනම් මිලදී ගැනීමේ හැකියාව අඩු වූ විටය. මේ කරුණ තව දුරටත් පැහැදිලි කළහොත් මීට අවුරුදු දහයකට පමණ පෙර පාන් ගෙඩිය රුපියල් 8 -9 අතර මිලකට ගත හැකි යුගයක් තිබුණි. නමුත් දැන් එය අලෙවි වන්නේ රුපියල් 55-60 අතර මුදලකටය. යම් කිසි සේවකයෙකුට පාන් ගෙඩිය 8-9 අතර තිබු යුගයේ ලැබුණු පඩිය හේතුවෙන් ලැබුණු මිලදී ගැනීමේ හැකියාව මේ වන විට අහිමි වී ඇත. එබැවින් ඔහුට වැටුප් වැඩි වීමක් අවශ්‍ය වෙයි. 

සේවකයන්ට වැඩි වැටුපක් ඉල්ලීමට බල කෙරෙන භාණ්ඩ හා සේවා මිල ඉහල යෑමේ ක්‍රියාවලිය ආර්ථික විද්‍යාවේ හැදින්වෙන්නේ උද්ධමනය නමිනි. මෙය අපේ එදිනෙද ජීවිතය තුල ඉතා සුලභව හමුවන ආර්ථික විද්‍යාවේ පාරිභාෂික වචනයකි. පෞද්ගලික බස් රථ වල ගාස්තු වැඩිවීම අපි ඉහතින් සඳහන් කල චක්‍රීය සම්බන්ධ වන්නේ මෙතනටය. දැන් අපි මීට හේතු සොයා බලමු. සාමාන්‍යයෙන් ධනපති නිෂ්පාදකයන් සිය නිෂ්පාදන ක්‍රියාවලිය තුල දැවැන්ත වෙළඳ තරගයකට මුහුනදීමට සිදුවේ. එහිදී ඔහුට සිය පැවැත්ම ස්ථාවර කර ගත හැක්කේ හැකිතාක් අඩු මිලට සිය නිෂ්පාදන අලෙවි කිරීම තුලය. මේ සඳහා නිෂ්පාදන වියදම අඩු කර ගත යුතු වේ. ඒ සඳහා කාර්යක්ෂම උපකරණ භාවිතය, නව තාක්ෂනය සිය කර්මාන්තශාලාවට හදුන්වා දීමට සිදුවීම වැනි පියවරයන් ගැනීමට සිදුවේ. ඒ සඳහා ඔහුට සිය ව්‍යාපාරයට ආයෝජනය කිරීමට සිදුවේ. එහිදී ආයෝජන රැස් කර ගැනීම සඳහා ගත හැකි එක පියවරක් ලෙස ඔවුන් උද්ධමනය ප්‍රයෝජනයට ගනී(භාණ්ඩ සැඟවීම, වැඩි තොග විනාශ කිරීම ආදියෙන් සැපයුමට වඩා ඉල්ලුම වැඩි කිරීම වැනි පියවර භාවිතයෙන්). සේවකයන් වැටුප් ඉල්ලා අරගල කිරීම සහ උද්ධමනය චක්‍රීය ආකාරයට සම්බන්ධ වන්නේ මෙතනදීය. උද්ධමනය වැඩි වීම දරාගත නොහැකි සීමාවට පැමිණි විට සේවකයෝ නැවතත් වැඩි වැටුප් ඉල්ලා අරගල කරති. එවිට නැවතත් ධනපතියන් ලබන ලාභය අඩුවී වෙළද තරගයේ රැදී සිටීමට ඔවුනට අවැසි අඛණ්ඩ ආයෝජන ප්‍රවාහය අඩුවේ. එවිට ඔවුන් තව දුරටත් උද්ධමනය පවත්වාගෙන යයි. මේ හැරුන විට උද්ධමනයට වෙළඳ ඒකාධිකාර පැවතීමද හේතුවක් වෙයි. ඔවුහු වැඩි ලාභ අපේක්ෂාවෙන් භාණ්ඩ හා සේවා මිල ඉහල දැමීමක් සිදු කරයි. මෙවර බස් රථ ගාස්තු ඉහල යාමට හේතු වන්නේ මෙම තත්වයය. ධනවාදයේ වර්ධනයත් සමග සිදුවන ප්‍රාග්ධනය කිහිප දෙනෙකු ත සංකේන්ද්‍රණය වීම නිසා ඉල්ලුම සැපයුම මත මිල තීරණය වීමට ඉඩ නොලැබීම මෙම තත්වයට හේතුවයි. මේ ක්‍රමය උද්ධමනයට හේතු වුවද ප්‍රතිඵල පෙර ලෙසමය. සේවකයෝ වැඩි පඩි ඉල්ලති. පඩි වැඩි වූ විට ධනපතියන් වැඩි ලාභ සඳහා උද්ධමනය පවත්වා ගනිති. 

දැන් බොහෝදුරට ඔබට මෙම අවස්ථාවන්හී සම්බන්ධයන් පිලිබඳ සම්පූර්ණ චිත්‍රයක් දකින්නට හැකියාව ලැබෙන්නට ඇති. උද්ධමනය වැඩි වැටුප් ඉල්ලා කරන අරගලය හේතුවීම, එම අරගලය ජයග්‍රරණය නැවතත් උද්ධමනයට හේතු වීම යන මේ අවස්ථාවන් විශාල චක්‍රීය ක්‍රියාවලියක කුඩා කොටස් දෙකක් පමණි. එම ක්‍රියාවලිය “ධානවාදී ආර්ථික ක්‍රියාවලියයි” මේ අවස්ථාවෙහි එම සමස්ත ක්‍රියාවලියම පැහැදිලි කිරීමා අපගේ අරමුණ නොවේ. අපේ අරමුණ වන්නේ මෙම ක්‍රියාවලිය නිසා ඔබ මුහුණ දෙන ගැටළු වලට ස්ථිර විසඳුම චක්‍රය බිදීම බව පෙන්වීමයි. මෙහිදී මෙම තත්වය තවත් හොදින් තේරුම් ගැනීමට උපයෝගී කර ගත හැකි චිත්‍රපටයක් ලෙසට In Time නරඹන ලෙස අපි ආරාධනා කරමු. සටන් මගින් කම්කරු පන්තිය දිනා ගන්නා දේ නැවත උද්ධමනය භාවිතාකර ඊනියා නීත්‍යානුකූල විදිහට ධනපතින් උදුරා ගන්නා ආකාරය එවිට ඔබට වැටහේවි. එපමණක් නොව ධනපති ආර්ථික යාන්ත්‍රණයේ බොහෝ තැන් ඒ හරහා ඔබට අවබෝධ කරගත හැකි වනු ඇත. එලෙසම මේ වන විටත් චිත්‍රපටය නැරඹා ඇති අය චිත්‍රපටය ඉදිරිපත් කරන ආකෘතිය තුල ධනවාදී යාන්ත්‍රනය තේරුම් ගැනීමට උත්සහයක් ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිමු. 

-ප්‍රගාමී ව්‍යාපාරය.